යුද හමුදාව අපකීර්තියට පත්කළ නිලධාරියා
සිර දඬු`වම් ද සමඟ හමුදාවෙන් නෙරපයි


යුද හමුදාවට අපකීර්තියක්‌ ගෙන දෙමින් කටයුතු කිරීමේ චෝදනාව මත හමුදා නිලධාරියකු වසර 2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ සමඟ යුද හමුදාවෙන් අපකීර්තිමත් සහගතව නෙරපා හැරි බව හමුqදා මූලස්‌ථානය නිවේදනය කර සිටී.

මුස්‌ලිම් කාන්තාවක ලෙස වෙස්‌ වලාගෙන 2013 පෙබරවාරි මස 06 වැනිදා මහනුවර මහයියාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කොල්ලකෑමට තැත්කරමින් යුද හමුදාවට අපකීර්තියක්‌ ගෙන දුන් ශ්‍රී ලංකා ස්‌වේච්ඡා බළසේනාවේ කපිතාන් ඒ. එම්. යූ. සමරකෝන් හට වසර 2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ පනවා යුද හමුදාවෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැරීමට යුද අධිකරණයක්‌ මගින් තීන්දු කොට තිබේ.

සිදුකිරීමට උත්සාහ ගත් අපරාධය හුදෙක්‌ යුද හමුදාමය දෘෂ්ටියෙන් තක්‌සේරු කර එය විමර්ශනය කළ අතර පොලිසිය මගින් අපරාධ දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ මහනුවර අධිකරණයේ නඩු පවරා තිබියදීම සිවිල් අපරාධයන්ට අදාළව හමුදා නිලධාරියකුට එරෙහිව චෝදනා විභාග කර දඬුවම් පැමිණවූ හමුදා ඉතිහාසයේ ප්‍රථම අවස්‌ථාව මෙය වේ. පසුගිය නොවැම්බර් මස යුද හමුදා පනතේ විධිවිධාන (109 හා 129 යටතේ) කැඳවන ලද මෙම යුද අධිකරණය දින 05 ක්‌ පුරා එම නඩුව විභාගයට ගන්නා ලදී.

මෙම යුද අධිකරණයේ සභාපති ලෙස බ්‍රිගේඩියර් එන්. ඩී. වන්නිආරච්චි කටයුතු කළ අතර කර්නල් එම්. ඒ. ඒ. ඩී. සිරිනාග, ලුතිනන් කර්නල් ආර්. ඒ. ඩී. එස්‌. ශාන්ත සහ මේජර් ඡේ. එම්. අයි. ගුණසේකර, එහි සෙසු සාමාජිකයෝ වූහ. නීති සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රංජිත් රාජපතිරණ ගේ උපදෙස්‌ මත යුද අධිකරණ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ලුතිනන් කර්නල් ඡේ. වෛද්‍යදාස පෙනී සිටි අතර බ්‍රිගේඩියර් උපාලි වීරසිංහ, විනිසුරු අධිනීතිඥ ජෙනරාල් ලෙස යුද අධිකරණය පවත්වන අවස්‌ථාවේදී කටයුතු කරන ලදී. නීතිඥ රණබාහු පෙරේරා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.