'ආවා ගෲප්' නම් උතුරේ බිහිසුණු පාතාලය වටලති
කොස්‌තාපල්ගේ අත කැපුවේත් මේ කණ්‌ඩායම බව හෙළිවෙයි
අත්බෝම්බ, කඩු කිණිසි සහ යතුරුපැදිත් සමඟ අත්අඩංගුවට


හේමන්ත රන්දුණු

උතුරු පළාතේ දෙමළ ජනතාව භීතියට පත්කරගෙන දරුණු අපරාධවල නිරතවෙමින් සිටි "ආවා ගෲප්" නමැති පාතාල කණ්‌ඩායම කෝපායි සහ අච්චුවේලි පොලිසි මගින් ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සන්නද්ධ පාතාල කල්ලිය සතුව තිබී අත්බෝම්බ, කඩු, කිනිසි ඇතුළු ආයුධ කීපයක්‌ සහ යතුරුපැදි 7 ක්‌ ද පොලිසිය භාරයට ගෙන තිබේ.

දකුණු ඉන්දියාවේ දෙමළ චිත්‍රපටවල පෙන්වන පාතාල කණ්‌ඩායම් ලෙස රංගනයේ යෙදී ඇති මෙම පාතාල කල්ලිය යතුරුපැදිවලින් ගොස්‌ යාපනය අර්ධද්වීපයේ විවිධ ප්‍රදේශවල අපරාධ සිදුකර ඇත.

කප්පම් ගැනීම්, කොල්ලකෑම්, කපාකොටා තුවාල සිදුකිරීම්, විරුද්ධවාදීන්ට පහරදීම් ඇතුළු විවිධ දරුණු අපරාධවල නිරත වෙමින් සිටි "ආවා ගෲප්" නමැති පාතාල කල්ලියේ සාමාජිකයන් 07 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මෙම කල්ලිය මෙහෙයවන පාතාල කල්ලි නායක කුමකේෂන් විනෝදන් නොහොත් "ආවා" නමැත්තා ද අත්අඩංගුවට ගෙන සිටී.

ළාබාල දෙමළ තරුණයන් විසිදෙනකුගෙන් සැදුම්ලත් මෙම පාතාල කල්ලිය යතුරුපැදිවලින් ගොස්‌ විවිධ අපරාධ සිදුකරන බව පොලිසිය පවසයි.

මෙම පාතාල කල්ලියට දක්‌වන බිය නිසා ඔවුන් අතින් හිංසනයට පත්වන කිසිවකු ඒ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කර නොමැති බව ද වාර්තා වේ.

මීට මාස කීපයකට උඩදී මානිප්පායි නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ අත කපා දමා බරපතළ තුවාල කර පලාගියේ ද මෙම සන්නද්ධ කල්ලිය බව පරීක්‍ෂණවලදී හෙළිවිය.

යාපනය දිස්‌ත්‍රික්‌ භාර නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අච්චුවේලි, චුන්නාකම් සහ කෝපායි පොලිසි මගින් මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර එම කල්ලියේ තවත් සාමාජිකයන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.

වසරකට වැඩි කාලයක සිට මෙම පාතාල කල්ලිය ක්‍රියාත්මක වන අතර මීට පෙර අවස්‌ථා කීපයකදීම මොවුන්ගෙන් කිහිපදෙනෙක්‌ අත්අඩංගුවට පත්වූහ.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ ක්‍රියාත්මක වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.