කුණු වූ බාස්‌මතී කිලෝ 21,000ක්‌
මාබෝලේ ගබඩාවකින් අල්ලයි


නැවත ශුද්ධ කර වෙළෙඳපොළට යෑවීමට සූදානමින් ඉඳලා

ලසිත දුමින්ද

වත්තල, මාබෝල ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තිබූ පරිභෝජනයට නුසුදුසු බාස්‌මතී සහල් කිලෝ 21,000 ක්‌ ඊයේ (07 වැනිදා) ගම්පහ දිස්‌ත්‍රික්‌ පාරිභෝගික අධිකාරි කාර්යාලය මගින් සොයාගෙන ඇත.

මෙම බාස්‌මතී සහල් තොගය පාකිස්‌තානයෙන් ආනයනය කර ඇති අතර, මෙහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්‍ෂ 40 ක්‌ පමණ වේ.

මෙසේ සොයාගනු ලැබූ සහල්වල ගුල්ලන් ඇතුළු වෙනත් සතුන් ද අඩංගු වී ඇති අතර,  ඒවා දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලකින් නැවත ශුද්ධ කොට වෙළෙඳ පොළට යෑවීමට සූදානම් කරන බවට ද හෙළිවී ඇත.

පරිභෝජනයට නුසුදුසු බාස්‌මතී සහල් ටොන් 18 ක්‌ පසුගිය වසරේ (2013) වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවට මෙම වැටලීමෙන් පසු තොරතුරු අනාවරණය වූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

එම පරිභෝජනයට නුසුදුසු බාස්‌මතී සහල් ටොන් 18 ද මෙලෙස ශුද්ධ කොට නැවත වෙළෙඳ පොළට නිකුත් කර ඇතැයි ද පාරිභෝගික අධිකාරිය පවසයි.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත සිදුකළ එම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු භාණ්‌ඩ ළඟ තබා ගත් ව්‍යාපාරිකයාට එරෙහිව වත්තල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

පරිභෝගික අධිකාරි ගම්පහ දිස්‌ත්‍රික්‌ කාර්යාලයේ ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදුකළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.