ජාතික රෝහලේ උගුර, කන නාසය
පිළිබඳ ඒකකය තත්ත්ව සහතික ලබයි


කොළඹ ජාතික රෝහලේ කන, නාසය හා උගුර පිළිබඳ ඒකකය විසින් රෝගී ජනතාවට සපයන ගුණාත්මක බවින් ඉහළ සේවාව නිසා එම ඒකකයට ISO 9001 : 2008 තත්ත්ව සහතිකය හිමි වී තිබේ. රෝගී සක්‌කාරක සේවාවන් සැපයීමේ දී එම ඒකකය විසින් ක්‍රියාත්මක කරන ගුණාත්මක කළමනාකරණ පද්ධතිය නිසා මෙම තත්ත්ව සහතිකය හිමි වී ඇත.

එම ජයග්‍රහණය සමරමින් සහ සාක්‌ කලාපීය රටවල කන, නාසය හා උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ 09 වැනි කොංග්‍රසය '9th SAARC ENT Congress, නිමිත්තෙන් ඊයේ (07 දා) නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහරිනු ලැබීය. මේ සඳහා වූ කෙටි උත්සවයක්‌ ඊයේ පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ ශල්‍ය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සිරිල් සිල්වා සහ කන, නාසය හා උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රd ජයසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්‌ එම අවස්‌ථාවට සහභාගි වූහ.

කන, නාසය හා උගුර පිළිබඳ ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කර තිබිණි. කන, නාසය හා උගුර පිළිබඳ 09 වැනි සාර්ක්‌ සම්මේලනය මෙම මස 09 දින කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.