මන්නාරම් රදගුරු රැප්ට බොරු කියති
ශ්‍රී ලංකා රජය චෝදනා ප්‍රතික්‍ෂේප කරයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා හමුදාව යුද මුක්‌ත කලාපයට හා රෝහල් රැසකට විෂ බෝම්බ එල්ල කළ බවට මන්නාරමේ රදගුරු රායප්පු ජෝශප් විසින් ඇමරිකානු යුද අපරාධ පිළිබඳ විශේෂ තානාපති ස්‌ටීවන් රැප්ට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන ලදී.

මෙය අමූලික බොරුවක්‌. ගුවන් හමුදාව කිසිදිනෙක විෂ බෝම්බ ප්‍රහාර එල්ල කළේ නැහැ යයි ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

මන්නාරම් රදගුරු කළ ප්‍රකාශය ගැන ආරක්‌ෂක බලධාරීහු විස්‌මයට පත්ව සිටිති.

රදගුරු කළ ප්‍රකාශයේ අරමුණ ශ්‍රී ලංකා හමුදාව වරදකරු කිරීම යෑයි ඉහත ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියා පැවැසීය.

යුද අපරාධ පිළිබඳ සෙවීමේ ඇමරිකානු තානාපති ස්‌ටීවන් රැප් සමග සාකච්ඡාවක්‌ පැවැත්වූ මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් යුද මුක්‌ත කලාපයට ශ්‍රී ලංකා හමුදාව විෂ බෝම්බ ප්‍රහාර එල්ල කළ බවත් එකී කලාපයේ කොටි නොසිටිය බවත් සඳහන් කර ඇත.

මේ හැර ශ්‍රී ලංකා ප්‍රහාරක යානා බෝම්බ දැමීමෙන් සිවිල් වැසියන්ගේ ජීවිත විනාශ වූ බවත් රායප්පු ජෝශප් තවදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චි පුදුකුඩිඉරිප්පු ධර්මපුරම්, පුතුමාතලන් රෝහල්වලට බෝම්බ දැමූ බවත් ඒ නිසා සිවිල් වැසියන් මරුමුවට පත්වූ බවත් මන්නාරම් රදගුරුවරයා එම සිදුවීම සියෑසින් දුටුවාක්‌ මෙන් දක්‌වා ඇත.

මේ හැර වල්ලිපුරම් හි පාසල් සිසුන් 200 ක්‌ සිටි ස්‌ථානයකට ගුවන් ප්‍රහාර එල්ල වූ බවත් යුද මුක්‌ත කලාපය තුළ සිsවිල් වැසියන් විශාල පිරිසක්‌ ඝාතනය වූ බවත් මන්නාරම් රදගුරුවරයා විසින් රැප් වෙත ප්‍රකාශ කර තිබේ.

මේ හැර 1990 දී යුද හමුදාව චෙට්‌ටිකුලම්හිදී තරුණයන් 500 දෙනකු මරා වළ දැමූ බවද රායප්පු ජෝශප් රදගුරු සඳහන් කර ඇත.

මන්නාරම රදගුරුගේ අතිශයෝක්‌තියෙන් යුත් මෙම ප්‍රකාශ යුද හමුදා බලධාරීන් විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මන්නාරම රදගුරු නිවසේ සිටි රායප්පු ජෝශප් රදගුරු වන්නියේ සිදුවීම් දුටු බව පැවැසීම පුදුමයක්‌. ඔහුගේ මේ ප්‍රකාශ කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීම මත සිදුවූවක්‌ යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.