යාපනය හෙල්ලූ අමුතුම දාමරික කල්ලිය
ආවා... ඇවිත් හදපු ආවා ගෲප

* කඩු පොලු අරගෙන අමුතු නලා ගහගෙන පාර පුරා..
* හැම සාමාජිකයෙක්‌ම වයස 25 ට අඩුයි!
*දෙමළ චිත්‍රපට බලා පිස්‌සු හැදුනු කල්ලියක්‌ !

පසුගියදා යාපනයෙන් ඇසුණු පුවතකින් මේ රටේ මිනිස්‌සු තිගැස්‌සුණෝය. ඒ යුද්ධයෙන් අනතුරුවත් වඩාත් වැඩි ආරක්‌ෂක අවධානයක්‌ සහිතව පවත්වාගෙන යන උතුරේ යාපනය කේන්ද්‍ර කරගෙන ගොඩනැඟෙමින් තිබුණු සන්නද්ධ පාතාල කල්ලියක්‌ ගැන තොරතුරු වාර්තා වීමත් සමගය.

මේ සන්නද්ධ පාතාල කල්ලියේ නායකත්වය දරා තිබුණේ කුමරේෂන් රත්නම් විනෝදන් නැමැති මැරයෙකි. ඌ යාපනය අවට පෙනී සිටියේ ආවා යන නමිනි. ආවා නම් මේ මැරයාට යන්තම් අවුරුදු 21 පිරුණා පමණය. හේ පදිංචිව සිටියේ බටහිර චුන්නාකම්හි ඉනුවිල් ගමේය. ඒ වන විට හෙතෙම මිනිස්‌සුන්ව කපා කොටා දැමීම, පහර දීම, කොල්ලකෑම ඇතුළු හිංසන ක්‍රියා නිසා හිරේ විලංගුවේ වැටී තිබුණේය. හෙතෙම කලක්‌ සිටියේ යාපනය හිර ගෙදරය. ආවා ගෲප් නැමැති මේ සන්නද්ධ කල්ලිය නිර්මාණය වන්නේ මේ යාපනයේ හිරගෙදර සිටින කාලය තුළ හමුවන සුළු අපරාධකාර තරුණ පිරිසකගෙන්ය.

මෙසේ ගොඩනැගෙන ආවා ගෲප් සංවිධානයේ සාමාජිකයෝ 20 ක්‌ පමණ වූහ. මේ කණ්‌ඩායමේ සෑම සාමාජිකයෙක්‌ම අවුරුදු 25 ට අඩු උන්ය.

මොවුන් සියලු දෙනාගේම විශේෂ මානසිකත්වයක්‌ තිබුණේය. ඔවුන් දෙමළ චිත්‍රපට පිස්‌සන්ය. උදේ සිට රෑ එළිවනතුරුත් කට්‌ටිය දෙමළ චිත්‍රපට බලන්නෝය. ඔවුන්ගේ මැර කණ්‌ඩායම හැදෙන්නේ ඒ චිත්‍රපටවල ඉන්නා චණ්‌ඩින් අනුකරණය කරමින්ය. එමෙන්ම මොවුන්ගේ වීරයා ප්‍රභාකරන්ය.

තම ජංගම දුරකථන පුරවාගෙන ඇත්තේ ප්‍රභාකරන්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන හා ගුණ ගායනා සහිත ගීතවලිනි. ඔවුන් ආවා ගෲප් එක පටන් අරන් තිබුණේත් එල්.ටී.ටී.ඊ. සංවිධානය හැත්තෑ ගණන්වල පටන් ගත් ආකාරයේ මැර කල්ලියක්‌ ලෙසය.

ආවාගේ ගෙවල් ඇති ඉනුවිල් ප්‍රදේශයේ ජිම් එකක්‌ තිබෙන්නේය. කණ්‌ඩායම හමුවන්නේ මේ ජිම් එකේය. කණ්‌ඩායමේ සියලු දෙනාම කාය වර්ධන ව්‍යායාම කර ඇඟපත හදාගත් උන්ය. අතපයවල පච්ච කොටා ගෙන ඇත්තේය. කොණ්‌ඩා අමුතු විදිහට සකසාගෙන තිබෙන්නේය. කොටින්ම දෙමළ චිත්‍රපටවල හීන චණ්‌ඩින් පණ පිටින් චුන්නාකම්වලට ඇවිත් තිබුණේය.

කණ්‌ඩායමේ සෑම දෙනෙක්‌ ළඟම අලුත්ම අලුත් අමුතු විදිහේ මෝටර් බයිසිකල් ඇත්තේය. මේ බයිසිකල්වලට ආවා කණ්‌ඩායමට විශේෂිත හෝන් එකක්‌ සවිකර තිබිණි. කණ්‌ඩායම පාරට බහින්නේ කඩු, බෝම්බ, පොලු අරගෙන මේ අමුතු හෝන් එකත් ගසාගෙනය. මේ පිරිස ළඟ බ්‍රසීලයෙන් ගෙන්නූ කඩු කීපයක්‌ තිබුණේය. ඒ ආයුධ ලංකාවට ගෙනත් තිබුණේ දකුණු ඉන්දියාවේ සිටය. උන් අපරාධ කළේත් දෙමළ චිත්‍රපටවල සිදුකරන ආකාරයටය. කණ්‌ඩායම බයිසිකල්වල යන්නෝය. දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නෝය. ඒ කප්පම රුපියල් දස දහසේ සිට රුපියල් ලක්‌ෂය දක්‌වා පරාසයක විහිදෙන්නේය. කප්පමේ ප්‍රමාණය ව්‍යාපාරිකයාගේ ධනවත්කමේ හැටියටය. කොන්ඩාවිල්, චුන්නාකම්, කෝපායි, මානිප්පායි, යාපනය ඇතුළු ප්‍රදේශ රැසක මේ කල්ලියේ අපරාධ ක්‍රියාත්මක වී තිබුණේය.

කප්පම් නොදෙන ව්‍යාපාරිකයන්, තම අභිමතයට එකඟ නොවන මිනිසුන් ප්‍රසිද්ධියේ කපා කොටා දැමීම ආවා කල්ලියේ ස්‌වරූපය වූයේය. ආවාට හිත ගිය තරුණියක්‌ වේ නම් ඇය ඔහු හා යහන්ගත විය යුතුය. නැතිනම් පවුල් පිටින් කපා කොටා දැමෙන්නේය. ඔහුට හිත වැටෙන බයිසිකලයක්‌ තිබුණොත් හිමිකරුවාට සිදුවන්නේ බයිසිකලය ආවාට දී පයින් ගෙදර යන්නටය. කැමති කඩවලට ගිහින් කණ්‌ඩායමම කෑම කන්නෝය. ශත පහක්‌ ගෙවන්නේ නැත. වරෙක මේ කල්ලිය විවේචනය කළ මනුස්‌සයෙක්‌ මහ පාරට ඇදගෙන විත් නැගිට ගන්නට බැරිවනතුරු පහරදී කණ්‌ඩායමේ සියල්ලන්ටම ඔහු ලවා ප්‍රසිද්ධියේ වැන්දවීය.

එමෙන්ම කණ්‌ඩායම තුළ ආවාට විරුද්ධ වන උන් වෙත් නම්, ඔහුගේ නියෝග පිළිනොපදින උන් වෙත් නම් උන්ටත් අත්විඳින්නට සිදුවුණේ දරුණු ඉරණමකි. එසේ තම අණ පිළිනොපැදි තම සාමාජිකයන් කීප දෙනකුටම කපා කොටා දඬුවම් දීමට ආවා කටයුතු කළේය.

මේ කණ්‌ඩායමට මෙවැනි පාදඩකම් කිරීම සඳහා අවශ්‍ය දේශපාලන බලය ඕනෑවටත් වඩා තිබුණේය. ටීඑන්ඒ එක සිටියේ ආවා කණ්‌ඩායමේ සාක්‌කුවේය. පසුගිය මැතිවරණයේදී දෙමළ ජාතික සංධානය දිනවීමට පුරෝගාමී මෙහෙවරක්‌ කරනු ලැබුවේ ආවාගේ කල්ලියය. මුදල් හා ප්‍රදේශයේ දේශපාලන බලය සහිතව පාරට බැස සිටින, චිත්‍රපට බලා ඔළුව අවුල් කරගත් මේ මනෝ විකෘතික කල්ලියට යාපනයේ අසරණ මිනිස්‌සු අප්‍රමාණව බිය වූහ. ඒ බිය නිසාම කිසිවෙක්‌ මේ අපරාධකාරයන්ට විරුද්ධව පැමිණිල්ලක්‌වත් ඉදිරිපත් කිරීමට එඩිතර නොවූහ. දේශපාලන රැකවරණත් සහිත මේ මැරයන්ට පොලිසියේ බොහෝ නිලධාරීහු බිය වූහ. කොටින්ම ආවා කල්ලිය කඩු පොලු සහිතව තම බයිසිකල්වල නැගී හෙඩ් ලයිට්‌ දමාගෙන, තමන්ට විශේෂ වූ අමුතු නලාව ශබ්ද කරගෙන එන විට මිනිස්‌සු පාරක තොටකවත් නොසිටියහ. චුන්නාකම් පැත්තේ මිනිස්‌සු ඒ නලා හඬ ඇසෙන විටත් පාරක නොසිට දුවන්නට පුරුදු වූහ. ඒ හරියටම දෙමළ චිත්‍රපටයක රූප රාමු පෙළගැසෙනා ආකාරයටය.

මීට මාස කීපයකට ඉහතදී පොලිස්‌ නිලධාරියෙක්‌ මනිපායි නගරයේ රාත්‍රි රාජකාරි කරමින් සිටිනා විට සන්නද්ධ මැර කල්ලියක්‌ විසින් ඔහුව කපා කොටා දමාගොස්‌ තිබුණේය. මේ කණ්‌ඩායම බයිසිකල්වලින් පැමිණි බව දැනගන්නට ලැබිණි. මේ මාස ගණන ඇතුළත බයිසිකල්වලින් යන කණ්‌ඩායමක්‌ යාපනය පුරා කරන කොල්ලකෑම් හා අපරාධ ගැන පොලිසියට වාර්තා වන්නට විය. දින කීපයකට උඩදී පිරිසක්‌ කෝපායි ප්‍රදේශයේ නිවසකට ගසා නිවස කුඩුකර තිබිණි. මේ අපරාධයට එරෙහිව කතා කළ පුද්ගලයකුට ඇටකටු කැඩෙන තෙක්‌ පහර දී තිබිණි. එහෙත් පැමිණිලි තිබුණේ නැත.

මේ ආකාරයට ආවාගේ කල්ලිය උතුරු පළාත පුරා නොයෙකුත් අපරාධ කරන්නට වූහ. ඒ සියලු අපරාධ ඉදිරියේ පීඩාවට පත්වූ අහිංසක ජනතාව මුණිවත රැක්‌කහ. ආවාට එරෙහිව පැමිණිල්ලක්‌ කළහොත් අත්විඳින්නට සිදුවන අමිහිරි අත්දැකීම මේ සියලු දෙනා දැන සිටියහ.

මේ සියලු අපරාධ කරන්නේ ආවා ගෲප් එකෙන් බව පොලිසිය පවා දැන සිටියේය. එහෙත් ඔවුන්ට එරෙහිව නැගී සිටින්නට පොලිසියට ශක්‌තියක්‌ තිබුණේ නැත.

එහෙත් මෙවර ආවා කල්ලියට වැරදුණේය. පොලිසිය පිටකොන්දක්‌ සහිතව රාජකාරි කරන්නට පටන් ගත්තේය. උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර, යාපනය ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ "ආවා ගෲප්" මර්දනය කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

මෙහෙයුම භාර කෙරුණේ කෝපායි පොලිසිය වෙතටය. කෝපායි පොලිස්‌ ස්‌ථානාධිපති ශ්‍රීනික ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් ආවා ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමේ වැටලීම් ආරම්භ කෙරිණි.

ආවා නමැති මේ මැරයා ඔහුගේ ප්‍රදේශයේදීම හසුකරගැනීම පහසු කටයුත්තක්‌ නොවීය. එහෙත් ඔහුගේ කාන්තා ඇසුරට ඇති ලොල්කම උපයෝගී කරගෙන ඔහුව හසුකර ගැනීමට සැලසුම් සැකසිණි. පොලිස්‌ කාන්තාවක්‌ ආවාට කැමති සුරතලියක සේ රඟමින් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබා දුන්නාය. ඔහුට ප්‍රේම කර මුසපත් වූ පෙම්වතියක සේ ඇය අපූරුවට දුරකථන සංවාද රැගෙන ගියාය. අවසානයේදී ඇය ඔහුව හමුවන්නට අවශ්‍ය බව කීවාය. ආවා ප්‍රමෝදයෙන් පිනා ගොස්‌ සිටියේය. දෙමළ චිත්‍රපට පුරාම ඇත්තේ මෙවැනි ජවනිකාය. කෙල්ලව හමුවන්නට ඔහු දිනයක්‌ දමා ගත්තේය.

කෙල්ල එන්නේ චුන්නාකම් ෂෙඩ් එක අසලටය. ආවා සිය පෙම්වතිය දකින්නට පැමිණ වැඩ දමා බයිසිකලය නතර කළේය. පොලිස්‌ වාහන ආවාගේ බයිසිකලය වට කළේය. හේ පොලිස්‌ අත්අඩංගුවට පත් වුණේය.

අනතුරුව ඔහු වටේ සිටි ඔහුගේ අනුචරයින් එකොලොස්‌ දෙනෙක්‌ අත්අඩංගුවට ගැනුණි. කපිලන්, කයිලාසම්, රාසයියා, අන්නලිංගම්, දිවාහරන්, ආදිත්‍ය, ජයචන්ද්‍රන්, සින්නා, සන්නා, ඩයිල් ටීබන්, ගෝකුලන් යන එකොළොස්‌ දෙනා පොලිස්‌ අත්අඩංගුවට පත්වූහ.

ආවා කණ්‌ඩායම ගැන දැන් වැඩිදුරටත් පොලිස්‌ පරීක්‌ෂණ පැවැත්වෙන්නේය. දකුණේ වාගේමය. උතුරේදීත් උතුරේ දේශපාලනය මේ පරීක්‌ෂණවලට බාධා කරන්නේය. අප කල්පනා කළ යුත්තේ මේ මතුවෙමින් ඇති මෙවැනි බිහිසුණු ප්‍රකාශනවල ස්‌වරූපය ගැනය. මේ කණ්‌ඩායමේ නොමේරූ තරුණයන් කිසි කෙනෙක්‌ පස්‌විසි විය ඉක්‌මවා නැත. ඔවුන් තිස්‌ අවුරුදු යුද්ධය හා කරදඬු උස්‌මහත් වන ඒ යුද්ධයේ නිෂ්පාදනයන්ය. දෙමළ චිත්‍රපට වීරයන් චුන්නාකම්වල පහළ කරගන්නට හීන දකින මේ නොමේරූ තරුණයන් අවසානයේදී ටී.එන්.ඒ. එකේ පරිණත දේශපාලන නායකයන් විසින් ස්‌වකීය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කරන්නේය. ත්‍රස්‌තවාදීන් හෝ අපරාධකාරයන් බිහිවන්නේ එසේය. උන් සියලුදෙනාම මේ රටේ බලවතුන්ගේ නිෂ්පාදනයන්ය. නියපොත්තෙන් කඩා දැමීමට හැකිදේ පොරොවෙන් කපා දමන තත්ත්වයට පත්වනතුරු සිටීම භයානකය. අතීතයේදී අපට අත්විඳින්නට සිදු වූයේද එවැනි තත්ත්වයකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය එදා පහසුවෙන් මට්‌ටු කිරීමට අවස්‌ථාව තිබුණේය. එහෙත් විවිධ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත ප්‍රභාකරන් පෝෂණය වුණේය. එහි ප්‍රතිඵලය වූයේ වසර තිහක්‌ තිස්‌සේ මුළු ශ්‍රී ලංකා වාසීන්ටම භීතියෙන් ගැහෙමින් ජීවත් වීමට සිදුවීමය.

ප්‍රභාකරන් නමැති ඝාතකයා එදා ආරම්භ කළ ඒ භීෂණය හෙට දිනයේ "ආවා" කල්ලිය ඉදිරියට රැගෙන යැමට පිළිවන.

අශ්වයා පලා ගිය පසු ඉස්‌තාලය වසා දැමීමෙන් ඵලක්‌ නැත. මෙවැනි සන්නද්ධ කණ්‌ඩායම්වලට පෝෂණය වීමට ඉඩ නොදී එය උපන් ගෙයිම වළ දැමිය යුතුය. එසේ නොකළහොත් අපට අනාගතයේදී නැවත පශ්චත්තාප වීමට සිදුවනු නොනුමානය.

හේමන්ත රන්දුණු

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.