මුස්‌ලිම් කොංග්‍රසයේ ඉල්ලීම

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් විසින් මේ රටේ උතුරු නැගෙනහිර පළාත්වල සිදු කරන ලද මුස්‌ලිම් ජන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කොමිසමක්‌ පත්කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙන බව සඳහන් පුවතක්‌ "දිවයින" ඊයේ (16 දා) පළකර තිබිණි.

මුස්‌ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා සඳහන් කරන අන්දමට කොටින් විසින් අතුරුදන් කරන ලද හා ඝාතනය කරන ලද මුස්‌ලිම්වරුන්ගේ සංඛ්‍යාව 30,000 කට නො අඩුය. තවද ඒ ප්‍රදේශවල ජීවත් වූ මුස්‌ලිම්වරුන් පැය 48 ක්‌ වැනි කාලයක්‌ ඇතුළත ගම්බිම්වලින් පන්නා දමා ඇති බවද ඔහු සඳහන් කර තිබේ. මෙසේ සාහසික ලෙස පන්නා දමන ලද මුස්‌ලිම්වරුන්ගෙන් ඇතැමෙක්‌ අදටත් පුත්තලම ප්‍රදේශයේ අවතැන් වූවන් සේ සිsටිතියිද හෙතෙම අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන මොරදෙන කිසිවෙක්‌ මේ ගැන කතා කරත්ද? බටහිරට වී එල්.ටී.ටී.ඊ. යේ මානව හිමිකම් ගැන ඝෝෂා කරන අය හෝ ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ ගැන රෑ නිදි නැතිව සෙම්, සොටු හූර හූරා "අනේ අපොයි" කියන්නෝද ඒ මුස්‌ලිම්වරුන් ගැන වචන මාත්‍රයක්‌ කියත්ද?

බටහිර රටවලින් යෑපෙන මානව හිමිකම්කාරයෝද, දෙමළ ඩයස්‌පෝරාවේ කුලීකාරයෝද කිසි දිනක මුස්‌ලිම්වරුන්ට වූ අසාධාරණයක්‌ ගැන කියත්ද? නැත. ඒ හැම කෙනකුටම මානව හිමිකම් යනු කොටින්ට මෙන්ම ඊනියා බෙදුම්වාදීන්ට වරදාන ලබාදීමය.

එල්.ටී.ටී.ඊ. යේ දැඩි ප්‍රහාරයට ලක්‌ වූ ජන වර්ගයක්‌ ලෙස මුස්‌ලිම්වරුන් හැඳින්විය හැකිය. ප්‍රභාකරන්ගේ නියෝගයෙන් උතුරේ හා නැගෙනහිර ගම්බිම් ශුද්ධ කරද්දී මුස්‌ලිම්වරුන්ට අත් වු ඉරණම ද අතිශය ෙ€දවාචකයක්‌ විය. ඔවුන්ටද ඔවුන්ගේ පාරම්පරික ඉඩම්, ගෙවල් අහිමි විය. ඔවුන්ගේ මහජන නියෝජිතයන්ද ඝාතනයට ලක්‌ විය. කාතන්කුඩි මුස්‌ලිම් දේවස්‌ථානයේ දී පමණක්‌ යාඥ කරමින් සිටි මුස්‌ලිම් බැතිමතුන් 178 ක්‌ පමණ අමු අමුවේ ඝාතනයට ලක්‌ විය.

මේ සියලු තතු මේ රටේ ජනතාවත්, බටහිර කොටි හිතවාදීනුත් ඉඳුරා දනිති. එහෙත් පුදුමයකට මෙන් මේ කිසිදු ජීවිතයක අගයක්‌ ඔවුහු නොදකිති. ඔවුන්ට අනුව මේ මිහිතලයේ සිදුවූ බරපතළම අපරාධය ප්‍රභාකරන් හා ඔහුගේ මිනීමරු හමුදාව විනාශ කිරීමය. මේ රටේ හැම ජීවිතයකටම මරණයේ අනතුර එල්ල කළ බිහිසුණුම µeසිස්‌ට්‌වාදියාට දක්‌වන අනුකම්පාව අනිත් කිසිම මිනිසකුට, ජන වර්ගයකට නොදැක්‌වීම මේ අපූර්ව මානව හිතවාදයේ පදනම වී තිබේ.

අපගේ අදහස නම් මානව හිමිකම් යනු හැම මිනිසකුටම හිමිවිය යුතු පරම අයිතියකි. එය ජන වර්ගය අනුව හෝ ආගම, කුලය, වර්ණය යනාදී කිසිදු භේදයකට යටත් නොවූ මුළුÊමානව සංහතියටම පොදු උරුමයක්‌, අයිතියක්‌ බව අපි හඟිමු. එහෙත් මේ හිමිකම වෙනුවෙන් පෙනී සිටීම සිය බඩ රස්‌සාව කරගත් අය ඒ පොදු මූලධර්මය අමතක කරති.

අනෙක්‌ අතට මානවයන්ට තිබෙන ජීවත්වීමේ අයිතිය සියලු සතුන්ටද තිබෙන බව බොහෝ විට, බොහෝ දෙනෙක්‌ අමතක කරන්නාහ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිරයන් විසින් සිය අපකීර්තිමත් ඉතිහාසය මුළුල්ලේ කරන ලද මානව ෙද්‍රdaහිකම් කොතරම්ද? අදත් මුස්‌ලිම් රටවලට මේ මහත්වරුන් කරන විනාශය කොතරම්ද? ඉරාකයේ, ඇµaගනිස්‌ථානයේ සිදුකළ සංහාරයන් ගැන මේ අය ලැඡ්ජා විය යුතු නොවෙත්ද?

අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කළ යුගයේ දෙමළ කම්කරුවන්ගේ තේ කූඩය මත නැග ගිය සුදු මහත්තයා අද දෙමළ ජනතාවට මානව අයිතිය ලබාදීමට මහන්සි වෙන හැටි· එබඳු තුච්ඡ ඉතිහාසයක්‌ තිබෙන මිනිස්‌කම තුට්‌ටුවකට මායිම් නොකළ එහෙව් මහත්තුරුන්ගේ මානව දයාව, මානව භක්‌තිය ගැන කුමන කතාද?

ඇත්තම කියනවා නම් මේ කාටවත් මානව හිමිකම් ගැන කතා කිරීමට ශුද්ධ වූ අයිතියක්‌ නැත. ප්‍රභාකරන්ගේ ලේ තැවරුණු අත් පිරිසිදු කිරීමට මානව හිමිකම් නමැති පාරිශුද්ධ ජලය භාවිත කිරීම අපරාධයකි. ජන ඝාතක, ජන පීඩක µeසිස්‌ට්‌වාදියකු වෙනුවෙන් ජීනීවාවල හඬ නගන කවුරුන් වුවද කරනු ලබන්නේ උත්තරීතර මානව හිමිකම්වලට අවමානයකි. මානව සංස්‌කෘතියේ යහපැවත්මට හානිදායක වූ ෙද්‍රdaහීන්ට මානව හිමිකම් ලබාදීම යනු අපරාධයකි.

තතු මෙසේ හෙයින් මේ රටේ එල්.ටී.ටී.ඊ. යේ ශාපයට ලක්‌ වූ අනෙක්‌ සියලු ජනතාවට මෙන්ම මුස්‌ලිම් ජනතාවටද සිදු වු අයුක්‌තියට, අසාධාරණයට එරෙහිව නැඟී සිටීම අපිදු අනුමත කරමු. මේ රටේ සිංහලයාට, දෙමළාට තිබෙන අයිතිය මුස්‌ලිම්වරයාටද තිබෙන බව පිළිගන්නා අතරම අන්තවාදී සියලු ක්‍රියාකාරකම් ප්‍රතික්‌ෂේප කරන බවද සඳහන් කළ යුතුය.

ඉතිහාසයේ හැමදාමත් අප සමග සිටි දෙමළ හා මුස්‌ලිම් මිතුරන් සමග සිංහල ජනතාව සමගියෙන් සහෝදරත්වයෙන් සිටීමද අපි අගයමු. එනිසා මේ රටේදී අපගේම සහෝදර ජන කොටසක්‌ වන මුස්‌ලිම්වරුන්ගේ එම මානව හිමිකම් වෙනුවෙන් ගෙන යන අරගලයටද අපි සුබ පතමු. තවමත් කාලයේ වැලි තලාවට යට වී වැසී තිබෙන එම මුස්‌ලිම් ප්‍රජාවගේ දුක්‌ගැනවිලි විමසා බැලීම කාලීන පියවරක්‌ බවද අපි හඟිමු.

දෙමළ බෙදුම්වාදීන් වෙනුවෙන් හඬ නඟන කිසිවකුට මුස්‌ලිම් ජනතාව වෙනුවෙන් කරනු ලබන ඒ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළ නොහැක. සත්තකින්ම එල්.ටී.ටී.ඊ. ය මුස්‌ලිම්වරුන්ට කළ ඓතිහාසික අපරාධය ලෝක ප්‍රජාවට අනාවරණය කිරීමද ඔවුන්ට යුක්‌තිය ඉටු කිරීමක්‌ බවද අපි හඟිමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.