ආරක්‍ෂක විවරණය
නව ගුවන් හමුදාපති පත්වීම සහ
බංකොලොත් දේශපාලනය




ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විශ්‍රාම ගන්වා නව ගුවන් හමුදාපති වශයෙන් එයාර් වයිස්‌ මාර්ෂල් කෝලිත ගුණතිලක පත් කිරීමට රජය ගත් තීරණය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත්විය.

පසුගිය 09 වැනිදා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම තීරණය දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම පෙබරවාරි මස 28 වැනිදා විශ්‍රාම යන අතර වත්මන් ගුවන් හමුදා මාණ්‌ඩලික ප්‍රධානී (Chief of staff) එයාර් වයිස්‌ මාර්ෂල් කෝලිත ගුණතිලක නව ගුවන් හමුදාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතය.

එයාර්Êමාර්ෂල් අබේවික්‍රම 2011.02.28 වැනිදා සිට ගුවන් හමුදාපති ධුරයට පත් කිරීමට රජය තීරණය කළ අවස්‌ථාවේ වසර දෙකක්‌ ඇවෑමෙන් මීළඟ ගුවන් හමුදාපති ධුරයට එයාර්Êවයිස්‌ මාර්ෂල් කෝලිත ගුණතිලක පත්කරන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කර ඇත. එහෙත් එයාර් මාර්ෂල් අබේවික්‍රමට වසර දෙකක්‌ නොව තුනක්‌ම ගුවන් හමුදාපති ධුරය ඉසිලීමට අවස්‌ථාව හිමිවිය.

කෙසේ වෙතත් වසරක්‌ ප්‍රමාද වී හෝ එයාර්Êවයිස්‌ මාර්ෂල් කෝලිත ගුණතිලකට ගුවන් හමුදාපති ධුරය ලබාදීමට සේනාධිනායක හා රාජ්‍ය නායක වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අනුමැතිය ලබාදීම නිසා ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට තෙවසරකට පෙර දුන් පොරොන්දුව ඉටු කිරීමේ අවස්‌ථාව හිමිවිය.

බඳවා ගැනීම් අංක 08 (Intake 08) යටතේ 1981 වසරේ එකට ගුවන් හමුදාවට බැඳී ගුවන් නියමුවන් ලෙස එකට සේවය කළ වත්මන් ගුවන් හමුදාපති සහ මාණ්‌ඩලික ප්‍රධානී යන දෙදෙනාම ගුවන් හමුදාපති ධුරය ඉසිලීමට සුදුසු දක්‍ෂ නිලධාරීන් දෙදෙනකු වූහ. එහෙත් ජ්‍යෙෂ්ඨත්වයට අනුව එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඉහළින් සිටි නිසා ඔහු ප්‍රථමයෙන් ගුවන් හමුදාපති ධුරයට පත්කර ඊළඟට එයාර්Êවයිස්‌ මාර්ෂල් කෝලිත ගුණතිලක එම ධුරයට පත්කර දෙදෙනාගේම දක්‍ෂතා අගයමින් සාධාරණයක්‌ ඉටු කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව දෙදෙනාටම වසර දෙක බැගින් අවස්‌ථාව ලබාදීම රජයේ අදහස විය.

ඒ අනුව එයාර් මාර්ෂල් අබේවික්‍රමගේ ගුවන් හමුදාපති නිල කාලය 2013.02.28 වැනිදා අවසන් විය යුතු විය. ඒ ඔහුගේ වයස අවුරුදු 55 සපිරීම නිසා නොව වසර දෙකකට පසුව එම තනතුර එයාර් මාර්ෂල් ගුණතිලකට ලබාදීමට අවස්‌ථාව සලසා දීම වෙනුවෙනි. නමුත් එය එසේ සිදු නොවීය. දෙවසරක කතාව යටපත් වී තවත් වසරක්‌ ගුවන් හුමුදාපති ධුරය ඉසිලීමේ වාසනාව ගුවන් හමුදාපතිවරයාට හිමිවිය.

එම තත්ත්වය යටතේ සියල්ල උපේක්‍ෂාවෙන් දරාගෙන ඉවසිලිවන්තව තම රාජකාරිය නිසි ලෙස ඉටුකළ මාණ්‌ඩලික ප්‍රධානී එයාර් වයිස්‌ මාර්ෂල් ගුණතිලක තෙවසර අවසානයේ හෝ තමාට ගුවන් හමුදාපති ධුරය හිමිවී සාධාරණයක්‌ ඉටුවනු ඇතැයි සිතුවේය.

එහෙත් ගුවන් හමුදාපතිවරයාගේ තෙවන වසර වන විට ඔහුගේ ක්‍රියාකාරකම්වලට අනුව වසර තුනකින් සෑහීමකට පත්වීමට සූදානමක්‌ නැති බව පෙනී යන්නට විය. 2015.11.28 වැනි දිනට වයස අවුරුදු 55 සපිරෙන තුරුම ගුවන් හමුදාපති ධුරය ඉසිලීම ඔහුගේ ඉලක්‌කය වූවා විය හැකිය. එසේ නොහැකි වුවහොත් 2015.02.28 දක්‌වා සිව්වැනි වසරටත් ගුවන් හමුදාපති ධුරයේ සිටීම ඔහුගේ අභිලාෂය වන්නට ඇත. එසේ වුවහොත් එයාර් වයිස්‌ මාර්ෂල් ගුණතිලක 2015.01.18 වැනිදා වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යන බැවින් ගුවන් හමුදාපති ධුරයට තිබෙන තරගය නිමාවනු ඇත.

ගුවන් හමුදාපතිවරයා ඉදිරි වසරත් කෙසේ හෝ රැඳී සිටීමට ප්‍රබල උත්සාහයක නිරත වූ බව මේ වන විට සමස්‌ත ගුවන් හමුදාව පමණක්‌ නොව රටම දන්නා ප්‍රකට කරුණකි.

ගුවන් හමුදාපතිවරයා ඉවත් කරන්නේ ඇයි...? කියා බංකොළොත් විපක්‍ෂ දේශපාලනඥයන් ලවා රජයෙන් ප්‍රශ්න කරවීමට තරම් ගුවන් හමුදාපතිවරයා කිසිසේත්ම අසරණ විය යුතු නැත. එය රණවිරුවකුට හමුදාපතිවරයකුට නොවටිනා තරම් දෙයකි. ත්‍රිවිධ හමුදාපතිවරුන් පත්කිරීමේ සහ ඉවත් කිරීමේ පූර්ණ අයිතිය රජය සතු දෙයකි. ඉතිහාසය පුරා එවන් දෑ සිදුවී ඇත. පැවැති සෑම රජයක්‌ම එසේ ත්‍රිවිධ හමුදාපතිවරු පත්කිරීම සහ ඉවත් කිරීම කාලීන අවශ්‍යතාවයන්ට අනුව සිදුකර ඇත.

එසේ නම් මෙවර ගුවන් හමුදාපතිවරයාගේ විශ්‍රාම යැමේ සිද්ධිය අරබයා පමණක්‌ මෙවන් විපක්‌ෂ දේශපාලන අතපෙවීමක්‌ සිදුවීමට තරම් සාධාරණ හේතුවක්‌ ඇත්දැයි ප්‍රශ්න කිරීමට සිදුවී ඇත. මෙය ගුවන් හමුදාපතිවරයාගේ අනුදැනුම මත සිදු වන්නක්‌ද, එසේ නැතිනම් බංකොලොත් විපක්‌ෂය එක්‌වී මෙය තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා රජයට එරෙහි චෝදනා එල්ල කිරීමට යොදා ගන්නක්‌ද යන්න පුළුල්ව විමසා බැලිය යුතුව ඇත.

ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය ලෙස නම් දරා සිටි එල්.ටී.ටී.ඊ. ය සම්පූර්ණයෙන්ම විනාශ කර තිස්‌ වසරක කුරිරු යුද්ධය නිමාකර ශ්‍රී ලංකාවට ස්‌ථිර සාර නිදහස හා සාමය උදාකර දීමට එඩිතර දේශපාලන නායකත්වය දුන් සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ එම යුද විජයග්‍රහණය උදෙසා නිවැරැදි මඟපෙන්වීම හා මෙහෙයවීම සිදුකළ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ යන මහත්වරුන් ත්‍රිවිධ හමුදා පතිවරයකු පත්කිරීම වැනි වගකිව යුතු කාර්යයකදී ඉතා නිවැරැදි සුදුසු තීරණයක්‌ ගනු විනා කිසිවකුටත් අසාධාරණයක්‌ සිදුවන වැරැදි නුසුදුසු තීරණයක්‌ ගනු නොලබන බව නිසැකය. එසේ නම් එම තීරණය නිහතමානීව පිළිගෙන ඊට එකඟව කටයුතු කරනවා මිස මෙය දේශපාලන ප්‍රශ්නයක්‌ කර ගැනීමට සූදානම් විය යුතු නැත.

ගුවන් හමුදාපති මාරුව පිළිබඳ තීරණය දැනුම් දීමට පෙර දින එනම් ඉකුත් 08 වැනිදා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යාපනයේ සංචාරයක නිරතවිය. යාපනය අර්ධ ද්වීපයේ යුද හමුදා විවෘත කිරීම් කීපයක්‌ ඔහු අතින් සිදු විය.

එම සංචාරයේ මාධ්‍ය ආවරණය සඳහා ගුවන් මගින් යාපනයට යැමේ අවස්‌ථාව අපටද හිමි වූ අතර, එදින පැවැති අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ පැය කීපයක ප්‍රමාදයකින් පසු කටුනායක සිට අප රැගෙන පියාසර කළ ගුවන් හමුදාවට අයත් ගුවන් යානය පෙරවරු 10.30 ට පමණ පලාලි ගුවන් තොටුපල වෙත ළඟා විය.

අප මාධ්‍යවේදීන් කණ්‌ඩායම එහි සිට ගොඩබිම් මාර්ගය ඔස්‌සේ මිරුසුවිල් දක්‌වා යන විට මිරුසුවිල්හි අලුතින් ඉදිකළ යුද හමුදා 52 වැනි සේනාංක මූලස්‌ථානයේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමට කටයුතු සූදානම්ව තිබිණි.

ඒ වනවිට කොළඹ සිට ගුවන් මගින් කිලිනොච්චියට පැමිණ සිටි ආරක්‍ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා අප සිටි ස්‌ථානයට පැමිණෙනතුරු එහි රැඳී සිටි යාපනය ආරක්‍ෂක සේනා ආඥපතිව සිටි මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ අප සමග සුහද පිළිසඳරක නිරත විය.

මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ

උතුරෙන් සමුගනී

යාපනය ආරක්‍ෂක සේනා ආඥපති (Security Force Commander Jaffna) වශයෙන් ඔහු රාජකාරි කළ අවසන් දිනය එය විය. යාපනයේ ආඥපති වශයෙන් පුරා වසර 04 ක්‌ මහත් කැපවීමකින් රාජකාරි කළ ඔහු පසුදින (10 දා) සිය තනතුර මේජර් ජෙනරාල් උදය පෙරේරා වෙත භාරදිය යුතු විය. වන්නි මානුෂීය මෙහෙයුමේ යුද විජයග්‍රහණයෙන් මාස කීපයකට පසු 2009 නොවැම්බර් මස යාපනය ආරක්‍ෂක සේනා ආඥපති තනතුර භාර ගත් මේජර් ජෙනරාල් හතුරුසිංහ යාපනයේ ආරක්‍ෂාව හා සාමය ස්‌ථාපිත කර ජන ජීවිතය ගොඩනැගීම, ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කිරීම සහ යුද හමුදාව ප්‍රමුඛ ආරක්‍ෂක හමුදා ප්‍රතිසංවිධානය කිරීම වැනි අභියෝග රැසක්‌ ජය ගැනීමට සමත් විය. එහි අවසන් අදියර ලෙස ඔහුගේ මෙහෙයවීමෙන් සාර්ථකව ක්‍රියාත්මක වූ යාපනය අර්ධද්වීපයේ හමුදා කඳවුරු පෞද්ගලික ඉඩම් සහ ගොඩනැගිලිවලින් ඉවත් කර රජයේ සහ රජයට පවරා ගත් ඉඩම්වල පිහිටුවීම යටතේ නව කඳවුරු 02 ක්‌ විවෘත කිරීම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් එදින සිදු විය.

ඒ අනුව වරණි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය 52 වැනි සේනාංක මූලස්‌ථානය මිරුසුවිල් ප්‍රදේශයේද, උඩුවිල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය 513 වැනි බලසේනා මූලස්‌ථානය කීරමලේ ප්‍රදේශයේ ද විවෘත කරන ලදී. ඒ සමගම පලාලි යුද හමුදා රෝහලේ නව වාට්‌ටු සංකීර්ණය සහ කන්කසන්තුරේ zතල් සෙවනZ යුද හමුදා නිවාඩු නිකේතනයේ නව කාමර ගොඩනැගිල්ල ද ආරක්‍ෂක ලේකම්වරයා අතින් විවෘත විය.

යාපනයේ හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් අප සමග අදහස්‌ දැක්‌වූ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ කියා සිටියේ යාපනය අර්ධ ද්වීපයේ සිටින යුද හමුදා භට පිරිස්‌ සහ කඳවුරු උපරිමව අඩු කර ඇති බැවින් දැන් යාපනයෙන් ඉවත් කිරීමට තරම් හමුදා කඳවුරක්‌ නැති බවයි.

"2009 වසරේ යුද්ධය ජයග්‍රහණයෙන් නිමාවට පත්වන විට යාපනය අර්ධ ද්වීපයේ යුද හමුදාව 26,406 ක පිරිසකගෙන් සමන්විත වුණා. අපි එම පිරිස 13,152 දක්‌වා අඩු කළා. සේනාංක 03 ක්‌, බලසේනා 09 ක්‌ සහ බළඇණි 36 ක්‌ යටතේ එම පිරිස සිටිනවා. ඒ වගේම කඳවුරු පැවැති ඉඩම් අක්‌කර 26,000 ක්‌ ආපසු ඒවායේ මුල් අයිතිකරුවන්ට භාර දුන්නා. අවතැන් වූවන් නැවත පදිංචි කරවීම සම්පූර්ණයෙන්ම අවසන් කළා. නිවාස නැති අයට නිවාස සාදා දුන්නා. යුද හමුදාවේ දායකත්වයෙන් නිවාස 1889 ක්‌ සාදා දීමට හැකි වුණා.

මම මගේ රාජකාරි කාලයේ යාපනයේ ජනතාවට උපරිම සේවයක්‌ කළා. ඒ වගේම හමුදා සාමාජිකයන්ගේ සුබ සාධනය ද නගාසිටුවන්න කටයුතු කළා. යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම සර්ව ආගමික හා සංස්‌කෘතික කටයුතු නගාසිටුවා සංහිඳියාව ශක්‌තිමත් කිරීමට පියවර ගත්තා. මගේ සිව් වසරක රාජකාරි සමය ගැන මම හරිම තෘප්තිමත්."

මේජර් ජෙනරාල් හතුරුසිංහ එසේ පැවසුවේ ද තෘප්තිමත් හැඟීමකිනි.

පුරා සිව් වසරක්‌ යාපනය ආරක්‍ෂක සේනා ආඥපති වශයෙන් කටයුතු කරමින් යාපනය නඟාසිටුවාලීමට ඔහු දැරූ ප්‍රයත්නය සාර්ථක වී තිබෙන අන්දම අපි දුටුවෙමු.

යාපනය ආරක්‍ෂක සේනා ආඥපති තනතුරින් සමුගත් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ යුද හමුදා මූලස්‌ථානයේ නව විධායක ජෙනරාල් වශයෙන් ඊයේ (16 දා) වැඩභාර ගනු ලැබීය.

* සිරිමෙවන් කස්‌තුරිආරච්චි

ඡායාරූපය - නිමල් දයාරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.