දකුණු පළාත් මැතිවරණයේ සන්ධානයෙන්
තරග කිරීමට වෛද්‍යවරුන්ට ආරාධනා


ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

එළඹෙන දකුණු පළාත් සභා මැතිවරණයේදී සන්ධානය නියෝජනය කරමින් තරග කිරීමට වෛද්‍යවරුන් කිහිදෙනකුට ආරාධනා ලැබී ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මින් වෛද්‍යවරුන් දෙදෙනකු මාතර දිස්‌ත්‍රික්‌කයෙන්ද තවත් වෛද්‍යවරයකු හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන්ද තරග වදිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දිගින් දිගටම ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් සිදුකරන අක්‍රමිකතා නිසා මේ වන විට රටේ උගත් බුද්ධිමත් සාමාන්‍ය ජනතාව දේශපාලන යාන්ත්‍රණය කෙරෙහි කලකිරී සිටින බැවින් මෙවන් උගත් බුද්ධිමතුන් දේශපාලන ප්‍රවාහයට කැඳවාගෙන ඒමට සන්ධානයේ බිම් මට්‌ටමේ සාමාජිකයන් විශාල උනන්දුවක්‌ දක්‌වන බව මෙසේ වෛද්‍යවරුන් කිහිදෙනකුට පළාත් සභා ඡන්දයට ආරාධනා ලැබීමෙන් පෙනී යයි.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් මෙසේ තරග වැදීමට බිම් මට්‌ටමේ සාමාජිකයන්ගෙන් ආරාධනා ලද වෛද්‍යවරයා මෙරට විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දශක දෙකකට ආසන්න කාලයක්‌ පුරා නමක්‌ද රඳවාගෙන සිටින ජාතික මට්‌ටමේ සම්මාන රැසක්‌ද ලද ජනප්‍රිය තරුණ ලේඛකයකුද වෙයි. පසුගිය සතියේදී අදාළ දිස්‌ත්‍රික්‌කවල ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මෙම වෛද්‍යවරුන් අතර කෙටි හමුවීම්ද සිදු වී ඇත. කෙසේ වුවද පළාත් සභා මැතිවරණයට ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ නම් රැසක්‌ද යෝජනා වී ඇති බැවින් තවමත් මෙම වෛද්‍යවරුන්ට නාම යෝජනා ලැබීම තහවුරු වී නැත.

පක්‍ෂ විපක්‍ෂ දේශපාලකයන්ගේ ක්‍රියා නිසා මෙරට ප්‍රාදේශීය දේශපාලන යාන්ත්‍රණය කෙරෙහි කලකිරීමට පත්ව පාවෙන ඡන්ද පදනමක්‌ නිර්මාණය වෙමින් පවතින වර්තමානයේදී මෙවන් උගත් බුද්ධිමතුන්ට අවස්‌ථාව ලබා දීම හරහා එම පාවෙන ඡන්ද ද සන්ධානය තුළ රඳවාගත හැකි බැව් සන්ධානයේ ඇතැම් ග්‍රාමීය නායකයන්ගේ මතය වී ඇත. එසේ නොවී මුදල් සහ බලය මත පමණක්‌ සලකා නියෝජිතයන් තෝරාගතහොත් අලුතින් මතුවන විපක්‍ෂයේ නව පක්‍ෂවලට සැලකියයුතු ඡන්ද පදනමක්‌ කෙමෙන් ඇතිවීම වැළැක්‌විය නොහැකි බවත් සන්ධානයට සම්බන්ධ ඇතැම් ග්‍රාමීය නායකයන්ගේ මතය වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.