සැණකෙළි නිමිති සැදූ මැටි කළය

මැටි කර්මාන්තයේ ආරම්භය මිනිස්‌ ශිෂ්ටාචාරයේ ආරම්භය තරම්ම පැරණිය. මැටි මෙවලම් භාවිතය ගැන තොරතුරු මොහන්දජාරෝවෙන් හමුවන්නේය. හරප්පාවෙන් හමුවන්නේය. ඉන්දු නිම්නයෙන් හමුවන්නේය. ලෝකයේ පැරණිම මානව ශිෂ්ටාචාර ගොඩනැඟෙන්නේ මැටි කර්මාන්තයේ දියුණු ලක්‍ෂණද සහිතවය.

අපේ රටේ මැටි කර්මාන්තය සම්බන්ධවද බොහොම පැරණි ඉතිහාසයක්‌ තිබෙන්නේය. අනුරාධපුර ඇතුළු නුවර කළ කැණීම්වලදී හමුවන මැටි බඳුන් කැබලි වල ඉතිහාස කතාව විජය කුමාරයා ලංකාවට එන්නට පෙර වකවානුව තෙක්‌ ඈතට දිවෙන බව තහවුරු වුණේය. එමෙන්ම පුරාවිද්‍යා කැණීම් වලදී අපට හමුවන පූර්ණ මැටි බඳුන් හා මැටි බඳුන් අවශේෂ අපේ කෞතුකාගාර වල තැන්පත්ව ඇත්තේය. අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය, ඡේතවන ව්‍යාපෘති කෞතුකාගාරය, කොළඹ ජාතික කෞතුකාගාරය තුළ තවමත් ප්‍රදර්ශනය වන සමහර මැටි බඳුන් නිපදවූ අතීත තාක්‍ෂණය අපට පුදුම කරවන්නේය.

පසුගියදා සීගිරිය අවට භූමියේ කරන ලද කැණීම් වලදී පුරාවිද්‍යා නිලධාරීහු විශාල මැටි කළයක්‌ සොයාගන්නා ලදහ. එය මෙතෙක්‌ ලංකාවේ කළ කැණීම්වලින් සොයාගන්නා ලද විශාලම මැටි කළය ලෙස හැඳින්වේ. එම නිසා ඒ පිළිබඳව විශාල කතිකාවතක්‌ මිනිසුන් තුළ ගොඩනැඟුණි.

ප්‍රධාන කැණීම් පරීක්‍ෂක කේ. පී. කේ. කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් සීගිරි උතුරු ඇතුල් දිය අගලෙහි කරන ලද කැණීම් කටයුතු වලදී මෙම ඓතිහාසික වටිනාකමකින් යුතුමැටි කළය සොයා ගත්තේය. ඒ පසුගිය නොවැම්බර් මස පළමු වැනිදාය. පොළව මතුපිට සිට මීටර් 4 ක්‌ පමණ යටට වෙන්න මෙම මැටි කළය තිබී ඇත. මෙය මෙතෙක්‌ සොයාගත් කළවලට වඩා වෙනස්‌ එකකි.

මෙම සීගිරි මැටි කළය කාශ්‍යප රජු කාලයේ භාවිත කරන්නට ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු දැනට නිගමනය කරති. සීගිරි කැටපත් පවුරේ ඇති කුරුටු ගී වල කිසිම තැනක කළ ගැන කිසිදු සටහනක්‌ නොමැත. ටර්මෝ ලොමිනේෂන් හෙවත් තාප සන්ධිපතා පරීක්‍ෂණයෙන් මෙම කළය කිනම් කාලවකවානුවකට අයිති එකක්‌ද යන්න ඉදිරියේදී නිවැරදිව දැනගැනීමට හැකිවේ. දැනටමත් ඒ පිළිබඳ පරීක්‍ෂණ රසායන විද්‍යාඥයෝ සිදුකරගෙන යති.

මෙම කළය එකල කාන්තාවන් දිය නෑම සහ ගෙන යැම සඳහා භාවිත කළ එකක්‌ බවට පුරාවිද්‍යා නිලධාරීහු නිගමනය කරති. ඒ සඳහා සාධක කිහිපයක්‌ ඔවුන් ඉදිරිපත් කරති. මෙම කළේ කට අනිත් කළ වලට වඩා අඟල් හත අටක්‌ උසය. එසේ උසට තනා ඇත්තේ කාන්තාවන්ගේ උකුලේ රඳවා සුරක්‍ෂිතව අල්ලාගෙන යැම සඳහා යෑයි ඔවුහු නිගමනය කරති. තවද සීගිරි සිතුවම්වල සිටින සමහර ළඳුන් පිදුරන්ගල රජමහා විහාරය දෙස නෙත් යොමා සිටින ලෙස සිතුවම්කර තිබේ. එම චිත්‍ර තුළ එකල ළඳුන් දිය නෑමට යැමේදී ඒ සඳහා වූ ආම්පන්න රැගෙන යන පැසද සිතුවම් කර ඇත.

සීගිරිය හා පිදුරන්ගල රජමහා විහාරය අතර සීගිරි භූමියේ මෙම කළය හමුවූ නිසාත් සීගිරි සිතුවම්වල ඉහත සඳහන් ආකාරයට සිතුවම් ඇඳ ඇති නිසාත් මෙම කළය දියනෑම සඳහා භාවිත කරන්නැතැයි මතකයක්‌ද තිබේ.

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම සීගිරි මැටි කළය මෙම මස 12 වැනිදා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

දැන් මේ මැටි කළය හමුවීම සම්බන්ධව රට තුළ ඇත්තේ බෙහෙවින්ම පහත් හැඟීමකි. කතා කළොත් අවමංගල කාරණාවක්‌ ගැනම කතා කරන්නට වන, දූෂණයක්‌, වංචාවක්‌ හෝ වෙනත් අසංස්‌කෘතික කටයුත්තක්‌ ගැනම කතා කරන්නට වන මධ්‍යම සංස්‌කෘතික අරමුදලට සැණකෙළි පැවැත්වීම නිමිත්තක්‌ කොට මැටි කළයක්‌ හමුවීම රටේ මිනිසුන්ව ප්‍රහර්ෂයට පත් කරන්නේය. එබැවින් මේ මැටි කළය ප්‍රදර්ශනය සඳහා කරන සැණකෙළිය විසිතුරු ආරාධනා පත්‍ර ඇතුළු සන්තෝෂ නිමිති සටහන මෙවන් ශාස්‌ත්‍රීය පරීක්‍ෂණ ගණනාවක්‌ සඳහා වැය කෙරෙන මුදල් වියදම් කළාට මිනිස්‌සුන්ට තරහ යන්නේ නැත.

එමෙන්ම දැන් පුරාවිද්‍යාඥයන්ට සොඳුරු ශාස්‌ත්‍රීය සිනහ දකින්නට පුළුවන. මේ කාශ්‍යපගේ කළය ය.. නැත.. මිගාරගේ වන්නටත් පුළුවන.. සීගිරි ලළනාවෝ දියනෑවේ මේ කළයෙනි.. සමහරවිට කාශ්‍යගේ බිසව හෝ නෑනා මේ කළයෙන් දිය කෙළින්නට ඇත.... ආදී වශයෙන් වන ඒ සොඳුරු ශාස්‌ත්‍රීය සිතිවිලි ඔවුන්ව කුල්මත් කරවනු දැකීමත් මිනිස්‌සුන්ට සතුටකි.

එහෙත් සමහර නොසන්ඩාලයො මෙසේ අසනු ඇසේ. පරණ කළයක්‌ හම්බුවෙලා මෙහෙම... බැරිවෙලාවත් මේ ඇත්තන්ට බරණියක්‌ එහෙම ලැබුණොත්.....

ගයාන් සමරසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.