මසකට දරුවන් 150ක්‌ ලිංගික අපයෝජනයට ලක්‌වෙනවා
- සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

අජිත් අලහකෝන්

ලිංගික අතවරයන්ට ලක්‌වූ දරුවන් එකසිය පනහක්‌ පමණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාසිකව රෝහල් වෙත පැමිණෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහයට" ප්‍රකාශ කළේය.

අවුරුදු දොළහ සිට පහළොව අතර වයස්‌ කාණ්‌ඩයේ පසුවන මෙම දරුවන් අතරින් සියයට අසූවක්‌ ගැහැනු දරුවන් බවද හෙතෙම කීය.

මෙසේ ලිංගික අතවරයන්ට ලක්‌වන දරුවන්ගෙන් බහුතරයක්‌ ඊට ගොදුරුවන්නේ සිය පියා අතින් සහ අසල්වැසියන් අතින් බවද අනාවරණය වී ඇත.

කොළඹින් බැහැර දුෂ්කර ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි බවද අතවරයට ලක්‌වන දරුවන් බොහෝ දෙනකුගේ මව විදේශගතව හෝ පවුල හැර ගොස්‌ ඇතැයිද ඉහත නිලධාරියා කීවේය.

මෙසේ අතවරයට ලක්‌වන දරුවන් ප්‍රතිකාර සඳහා ඒ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත පැමිණෙන බවද හෙතෙම කීය. වැලිකන්ද ප්‍රදේශයේ ගැහැනු දරුවන් දෙසීයකට පමණ පසුගිය කාලයේ අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්‌වීම සඳහා උපත් පාලන ඖෂධ ලබා දීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට සිදුවූ බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.