හෙදියන්ගේ සූතිකා  පුහුණුවට එරෙහිව
සටනට පෙළ ගස්‌සනවා
පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය

චමින්ද සිල්වා

හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීමට උත්සාහ කළහොත් පවුල් සෞඛ්‍ය සේවයේ (වින්නඹු) නිරත 12,000 ක්‌ දෙනා සිය කාර්යයෙන් ඉවත්වන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය 18 වැනිදා පැවැසුවාය.

හෙද පුහුණුව අවසන් කළ 1100 ක පිරිසකගෙන් අඩකට තවත් වසරක්‌ සූතිකා පුහුණුව (වින්නඹු පුහුණුව) ලබාදීම සඳහා හෙද විදුහල්වල ලියාපදිංචි කිරීමට ගෙන ඇති තීරණය 20 වැනිදා වහාම ඉවත්කර ගන්නා ලෙසද ඇය අවාධාරණය කළාය.

හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සුනිල් ද අල්විස්‌ මහතා දැනුම්දී ඇති බව දැනගන්නට ලැබුණත් පුහුණුව අවසන් කළ හෙදියන් පසුගිය සිකුරාදා (17 වැනිදා) හෙද විදුහල්වලට කැඳවා තාවකාලික ලියාපදිංචියක්‌ සිදුකර 20 වැනිදා සිට හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීම ආරම්භ කරන බව එක්‌තරා සංගමයක හිමිනමක්‌ ප්‍රකාශ කර ඇතැයිද ඇය පෙන්වා දුන්නාය.

රෝහල් රැසකම හෙදියන්ගේ හිඟයක්‌ පවතින බව හෙද සංගම් ප්‍රකාශ කරද්දී පුහුණුව අවසන් කළ හෙදියන් එම රෝහල්වලට අනුයුක්‌ත නොකර තවත් වසරක්‌ වෙනත් සේවාවක නිරත පිරිසකගේ වෘත්තියන් ආක්‍රමණය කිරීමට උත්සාහ දරන්නේ කාගේ අවශ්‍යතා සපුරා ගැනීමටදැයි ඇය ප්‍රශ්න කර සිsටියාය.

වින්නඹු මාතාවන්ට අයත් සූතිකා පුහුණුව හෙදියන්ට ලබාදීමට ගෙන ඇති තීරණය වහා ඉවත් කරගනු නොලැබුවහොත් දැනට සේවයේ නිරත පවුල් සෞඛ්‍ය සේවාවේ පිරිස දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ කරා පෙළ ගස්‌වන බව ඇය කියා සිටියාය.

තෙවසරක පුහුණුව සිවු වසරක්‌ දක්‌වා දීර්ඝ කිරීමට රජය අවසර ලබා දුන්නොත් පුහුණුවෙන් පසු එම පිරිස්‌ විධායක ශේ්‍රණියේ වැටුප් ඉල්ලා සිටීමට අදහස්‌ කරගෙන ඇති බවට දැනගන්නට ඇතැයිද ඇය කියා සිටියාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.