අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ පැරණි විහාරයක නටබුන් පුරාවිද්‍යා කැණීම්වලින් මතුවෙයි

බළපිටිය - අනුර යසමිත්



අහුන්ගල්ල ගල්වෙහෙර මළුව විහාරස්‌ථාන භූමියේ මේ දිනවල පුරා විද්‍යා දෙපර්තමේන්තුව මගින් සිදුකරන කැණීම්වලදී අනුරාධපුර යුගයට අයත් බව කියන බෝධි ඝරයක්‌ සහ පැරණි විහාර මන්දිරයක නටබුන් හමුවී තිබේ.

දේවානම්පියතිස්‌ස රජ කාලයේදී රෝපණය කරන ලද දෙතිස්‌ ඵලරුහ බෝධීන් වහන්සේලාගෙන් අවසන් බෝධිය මෙම විහාර භූමියේ හෝ ඊට යාබද මාදු ගඟේ පිහිටි කොත්දූවේ රෝපණය කළ බවද කියති.

බළපිටිය මාදුගඟ රජ දවසේ වැලිගඟ නමින් හැඳින්වූ බවද එම ගඟ මුහුදට වැටෙන ස්‌ථානය වැලිතර යනුවෙන් හැඳින් වූ බවද කියවෙන අතර වාලුකා නදිය ලෙසද නම් කර ඇත.

රුහුණේ මහානාග රජුගෙන් පසු රජ පදවියට පත් තුන්වැනි පාලකයා වන ගෝඨාභය රජතුමා මාදුගං නදිය හෙවත් වාලුකා නදියේ විහාරයක්‌ කරවා එය වාලුකා තිත්ථ විහාරය ලෙස නම් කළ බවත්, එය මෙම විහාරස්‌ථානය ලෙසත් ඉතිහාසයේ සඳහන් වේ.

එකල ඇඹලව රහත් ගල්වෙහෙර ලෙසින්ද හඳුන්වා ඇති අතර එකල රහතන් වහන්සේලා මෙම භූමියේ වැඩ විසූ බවද කියති.

දඹදෙණි යුගයේ රජකම් කළ දෙවැනි පැරකුම් රජසමයේ දකුණු ලක සංවර්ධනය කළ දේව පතිරාජ ඇමැතිවරයා විසින් මෙම ස්‌ථානයේ කළුගල්වලින් වෙහෙරක්‌ කරවූ බවත්, ඒ නිසා එම ප්‍රදේශයට 'ගල්වෙහෙර' යනුවෙන් හඳුන්වන බවත් කියති.

ඓතිහාසික වටිනාකමකින් යුතුව මෙම විහාරභූමිය වසර ගණනාවක්‌ තිස්‌සේ වල්බිහිවී කැලෑවෙන් වැසී යමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් ශ්‍රමදාන මට්‌ටමින් පවිත්‍ර කොට විහාරයක්‌ ගොඩනැංවීමට පියවර ගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී දේශමාන්‍ය කරුණාදාස කුමාරසිංහ මහතා විසින් තම පෞද්ගලික ධනය වැය කරමින් විහාරය සංවර්ධනය කෙරේ.

විහාර භූමිය සහ අවට ඉඩම්වල මෙම විහාරයට අයත් බව කියන පැරණි ගල් කණු ගල් අඩිතාලම් සහ ශෛලමය වැසිකිළි කටවල් ආදිය විසිරී තිබෙන බවද දැකගන්නට තිබේ.

වසර පනහකට අධික කාලයක සිට මෙම විහාර භූමිය කැනීම් කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළත් ඔවුන් එය ඉටු නොකළ බැවින් කරුණාදාස කුමාරසිංහ මහතා පෞද්ගලික ධනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කොට ඔවුන් ලවා කරවන ලද කැණීම්වලදී මෙම නටබුන් හමුවී තිබේ.

තුන් දිසාවකින් බෝධිය වන්දනා මාන කිරීමට සකස්‌ කර තිබෙන බව පැරැණි බෝධි ඝරයෙන් පැහැදිළිව පෙනෙන්නට තිබේ.

මෙයට අමතරව වසර තුන්සියයක්‌ පමණ පැරණි විහාර භූමියක්‌ද හමුවී තිබේ. හිරිගලෙන් නිර්මාණය කරන ලද බුදු පිළිමයක කොටස්‌ ඇතුළු පැරණි කාසි හා ඇණ රාශියක්‌ද හමුවී තිබේ.

මේ ස්‌ථානය භාරව කටයුතු කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා මේ ගැන පවසා සිටියේ මෙය පැරණි බෝධිඝරයක්‌ බවත් දෙතිස්‌ ඵලරුහ බොධීන් වහන්සේ මෙම ස්‌ථානයේ රොපණය කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව කීය.

මෙම බෝධි ඝරය ඉතා පැරණි එකක්‌ වන අතර ඒ ගැන මෙතෙක්‌ සටහන් වී තිබෙන බෝධිවංශය ඇතුළු පැරණි ග්‍රන්ථ අධ්‍යයනය කොට ඉදිරියේදී කටයුතු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්‌ත්‍රික්‌ භාරව කටයුතු කරන කොමසාරිස්‌වරිය වන වසන්තා අලහකෝන් මහත්මිය අප කළ විමසුමකදී කීවාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.