සූතිකාගාරයේ රාජකාරියට හෙදියන් ආවොත් කියන්න
- වෛද්‍ය සංගමය කියයි

ඒමන්ති මාරඹේ

වෛද්‍යවරයකු හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක (වින්නඹු) හැරෙන්නට හෙදියන් රජයේ රෝහල් සූතිකාගාර තුළ දරු ප්‍රසූතීන් පිළිබඳව රාජකාරිය ඉටු කළහොත් ඒ සම්බන්ධව වහාම රෝහල් ප්‍රධානියා වෙත පැමිණිලි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සියලු ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් වෙත ලිතව දැනුම්දී තිබේ.

ඉකුත් 21 වැනිදා සිදුකර ඇති මෙම දැනුම්දීම ඇතුළත් ලිපි රෝහල් ප්‍රධානීන් වෙතද යොමුකර තිබේ.

වෛද්‍යවරයකු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක හැරෙන්නට වෙනත් කිසිදු සෞඛ්‍ය කාර්ය මණ්‌ඩල සාමාජිකයකුට සූතිකාගාරවල දරු ප්‍රසූතීන් සිදු කිරීම වෛද්‍ය ආඥ පනතේ 54 වැනි වගන්තිය යටතේ තහනම් කර ඇති බව පෙන්වා දෙන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නීති විරෝධී අයුරින් දරු ප්‍රසූතිය සිදු කිරීමට යන හෙදියක අතින් ගැබිනි මවුවරුන්ට හෝ ළදරුවන්ට අත්වැරදීමකින් හානි සිදුවුවහොත් එහි නීතිමය වගකීම වෛද්‍යවරුන් විසින් නොදරන බව අවධාරණය කර සිටී.

එසේම එවැනි හානියක්‌ සිදුවූ අවස්‌ථාවකදී ඒ පිළිබඳව නීත්‍යනුකූල පැමිණිල්ලක්‌ ඉදිරිපත් වුවහොත් එයට වන්දි ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සමන් අබේවර්ධන මහතා පවසයි.

යම් හෙදියක වෛද්‍ය පරිපාලකයකුගේ අනුමැතිය ඇතිව සූතිකාගාරයක දරු ප්‍රසූතියකට සහභාගි වුවහොත් එහි නීත්‍යනුකුල වගකීම අදාළ පරිපාලකයා විසින් දැරිය යුතු අතර ඔවුන් ආරක්‍ෂා කිරීමට සංගමය ඉදිරිපත් නොවන බව වෛද්‍ය අබේවර්ධන මහතා කීවේය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.