මෛත්‍රීගේ සිගරැට්‌ එක නිමල් සිරිපාල පත්තු කරයි

අජිත් අලහකෝන්- අකිත පෙරේරා

සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද අඩංගු කළ යුතු නියෝග සහිත අති විශේෂ ගැසට්‌ නිවේදනය ඊයේ (24 දා) සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත යටතේ මෙම නියෝග ඉදිරිපත් කරන ලදී.

අදාළ ගැසට්‌ නිවේදනය මගින් පෙන්වාදී තිබෙන රූපමය සෞඛ්‍ය අවවාද සිගරැට්‌ අඩංගු සෑම පැකැට්‌ටුවක, පාර්සලයක හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්‌ටියක දෙපැත්තේම මුද්‍රණය කළ යුතු වන අතර එය එම පැකට්‌ටුවේ ඉඩ ප්‍රමාණයෙන් සියයකට අසූවකට වඩා අඩු නොවන ලෙස දෙපැත්තේම ඉහළ මතුපිට මුද්‍රණය විය යුතු බවට ද නියෝග පනවා තිබේ.

එමෙන්ම සිගරැට්‌ පෙට්‌ටිවල, පාර්සලවල හෝ ලේබලවල දුම්කොළ නිෂ්පාදනයේ භාවිතය මගින් පිටවන දුමාරය මගින් සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳ අසත්‍ය, නොමග යවන සුළු පණිවුඩ ඇතුළත් නොකළ යුතුය.

රූපමය අවවාද නොමැති කිසිදු සිගරැට්‌ පැකට්‌ටුවක්‌ නිෂ්පාදකයකු, ආනයනකරුවකු, සිල්ලර වෙළෙන්දකු හෝ නියෝජිතයකු විසින් විකිණීම නොකළ යුතු අතර එම සෑම සිගරැට්‌ පැකට්‌ටුවකම දුම්කොළ නිෂ්පාදනයේ අඩංගු නිකොටින්, තාර, ෙµdaමල්ඩිහයිඩ් හා අනෙකුත් විෂ ද්‍රව්‍ය පිළිබඳ විස්‌තර අඩංගු කළ යුතුය. එමෙන්ම අදාළ අවවාද භාෂා තුනෙන්ම මුද්‍රණය කළ යුතු බවද රූපමය සෞඛ්‍ය අවවාද වෙනත් පින්තූර මගින් සැඟවීම නොකළ යුතු බවද, එම සෞඛ්‍ය අවවාද කළු පසුබිමෙහි සුදු අකුරින් හෝ සුදු පසුබිමෙහි කළු අකුරින් මුද්‍රණය කළ යුතු බව ද එහි දැක්‌වේ.

මෙම රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රභේද අතුරින් එක්‌ වර්ගයක්‌ පමණක්‌ සිගරැට්‌ පැකැට්‌ටුවේ මුද්‍රණය කිරීමට හැකි අතර සෑම මාස හයකට වරක්‌ම එම රූපය වෙනස්‌ කර හඳුන්වාදී තිබෙන වෙනත් රූපයක්‌ එහි මුද්‍රණය කළ යුතු බව ද ගැසට්‌ නියෝගයේ දැක්‌වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.