පොලොන්නරුවේ වෛද්‍ය වර්ජනයක්‌ අද

කරුණාරත්න ගමගේ

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ රජයේ රෝහල්වල සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන් අද (27) සඳුදා පෙරවරු 8.00 සිට හෙට (28) අඟහරුවාදා පෙරවරු 8.00 දක්‌වා සංකේත වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීමට තීරණය කොට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

හිඟුරක්‌ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ලෙස කටයුතු කළ ඒ. එම්. එස්‌. බණ්‌ඩාර මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම මෙම වැඩවර්ජනයට හේතුව බවද එම සංගමය කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කළ විමර්ශනවලට අනුව බරපතළ චෝදනා ගණනාවකට වරදකරු බවට ඔප්පුවී සිටින හිඟුරක්‌ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ලෙස කටයුතු කළ ඒ. එම්. එස්‌. බණ්‌ඩාර මහතාට එරෙහිව විනය ක්‍රියා මාර්ග නොගෙන ඔහු ආරක්‍ෂා කිරීම සඳහා උතුරු මැද පළාත් සෞඛ්‍ය ලේකම්වරිය විසින් අනුගමනය කරන වැඩපිළිවෙළ කූට සහ පහත් එකක්‌ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විසඳුමක්‌ නොලැබුණොත් නැවත දැනුම්දීමකින් තොරව අඛණ්‌ඩව වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සමන්. අබේවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.