කුවේට්‌වලදී ජීවිතයට සමුදුන්
එක්‌ දරු මවගේ මරණය අභිරහසක්‌

සැමියා සහ එකම පුතු සාධාරණ පරීක්‍ෂණයක්‌ ඉල්ලති

වැලිමඩ - අර්නි දඹදෙණිය

වැලිමඩ කැප්පෙටිපොල පෙල්ලිවින්න ගම්මානයේ එස්‌. ඒ. ආර්. බන්දුල කුමාර (40) හා එන්. එම්. චන්ද්‍රිකා නිශ්සංක යුවළ නාලක හරිත කුමාර (17) නම් එක්‌ පුත්‍රයකු පමණක්‌ සිටි පවුලකි.

එහෙත් එතරම් පවුල් බරක්‌ හෝ නොතිබුණද බන්දුල කුමාරගේ එළවළු ගොවිතැනින් ඔවුනට ආර්ථිකය සරිකර ගැනීමට අසීරු විය.

ඒ නිසාමදෝ නාලක හරිත කුමාරට යන්තම් වයස අවුරුදු තුනක්‌ පිරෙන විටම චන්ද්‍රිකා මැද පෙර දිග රන් කහවනු සොයා ගියාය.

මේ අයුරින් දෙවාරයක්‌ම යළි යළිත් මැද පෙර දිගට ගිය ඇය නිවසේ ඉතිරි වැඩ කොටසද නිම කිරීමේ බලාපොරොත්තුවෙන් තුන්වැනි වරටත් කුවේට්‌ බලා ගියේ පසුගිය මැයි මාසයේදීය.

එහෙත් චන්ද්‍රිකාගෙත් බන්දුල කුමාර ඇතුළු පවුලේ සැමගේ එම බලාපොරොත්තු සියල්ල සුළගේ පා කර හරිමින් චන්ද්‍රිකා පසුගිය 25 දින යළි නිවසට ආවේ පෙට්‌ටියක්‌ තුළ නිහඬ වෙමින්ය. මේ වන විටත් වැලිමඩ ප්‍රදේශයම කම්පාවට පත් කරනු ලැබූ මේ ශෝක ජනක පුවත පිටුපස විවිධ රාවයන් පැතිර යමින් තිබිණි.

කෙසේ වුවද එහි සත්‍ය අසත්‍යතාව දැන ගැනීමට 26 දින අප කැප්පෙටිපොල පෙල්ලි වින්න නම් දුෂ්කර ගම්මානයට ගියෙමු.

බන්දුල කුමාර හා චන්ද්‍රිකාගේ නිවසට ගොඩවන විටම ඔවුන් පෙර සිටි අබලන් නිවසද අපට දැකගත හැකි විය.

ඒ සමගම ඇය මැද පෙරදිග දහදිය වගුරුවා ඉපැයූ මුදලින් අඩක්‌ නිම කළ නව නිවසද විය.

කාගේ හෝ අවාසනාවකට මෙන් ඇය ඉදි කළ නිවසේ සියලු ඉදිකිරීම් නිම කිරීමට පෙර පවුලෙන් පමණක්‌ නොව මෙලොවින්ද සමු ගෙන තිබුණාය.

චන්ද්‍රිකාගේ මේ අනපේක්‍ෂිත වියෝවීම පිළිබඳව බන්දුල කුමාර කීවේ,

මියගියේ බිරිඳයි. ඇය මීට පෙර දෙවතාවක්‌ම මැද පෙරදිග ගිහිල්ලා මේ නිවස හදන්න පටන් ගත්තා.

අර තියෙන්නේ අපි ඉස්‌සර හිටපු අබලන් නිවසයි. නිවසේ වැඩ කරගන්න තමයි මේ තුන් වැනි වතාවටත් කුවේට්‌වලට ගියේ.

කොළඹ භාග්‍යා කියන එජන්සිය මගින් තමයි මෙවර පසුගිය මැයි මාසයේදී ගියේ.

මෙවර නම් ගියදා ඉඳලම ඇය කථා කරල කීවේ මීට පෙර සිටි ඩුබායි ලෙබනන් වගේ නොවෙයි කුවේට්‌වල හරි කරදරයි කියලයි. මියගිය චන්ද්‍රිකාගේ එකම පුත් එස්‌. ඒ. ආර්. නාලක හරිත කුමාර (17) ශෝකබරව කියා සිටියේ,

අම්මාට මෙහෙම දෙයක්‌ වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. දෙවියනේ අපේ අම්මා ගහක්‌ ගලක්‌ වගේ හොඳට හිටියා.

අම්මා රට ගිහින් මුදල් එවන්නේ මගේ නමටයි. මෙවරත් ගේ හදන්න තමයි රට ගියේ. පසුගිය 09 වැනිදා කතා කරලා කිව්වා බැංකුවට උගස්‌ තියපු රත්තරං බඩු ටික බේරගන්න සල්ලි එවනවා කියලා.

කොහොම හරි අම්මා මාස හතකින් අපිට මුදල් එව්වේ නැහැ. මෙවරත් මුදල් එවනවා කියලා සති දෙකක්‌ ගියේ නැහැ. අම්මා නැති වුණා කිව්වා.

අම්මට සිටින තැන්වලින් කරදරයි කියලා ඒ රටේ විදේශ රැකියා ආයතනයට කිව්වහම ඒ ගොල්ලො එක වරම දුරකථනය විසන්ධි කරනවා.

අපේ අම්මාට සිදු වූ අපරාධයට හේතුව අපිට දැනගන්න අයිතියක්‌ තිබෙනවා. මෙහිදී චන්ද්‍රිකාගේ සැමියාගේ වැඩිමහල් සොයුරියන් වූ බොගහකුඹුර බිබිලිගමුවේ එස්‌. ඒ. ආර්. බිසො මැණිකේ (47), මොනරාගල ඇතිමලේ එස්‌. ඒ. ආර්. බණ්‌ඩාර මැණිකේ (45) වැඩිමහල් සොයුරන් වූ එස්‌. ඒ. ආර්. ගුණදාස (68) හා සැමියාගේ පියා එස්‌. ඒ. ආර්. විඡේරත්න (60) යන අය කියා සිටියේ,

මේ මරණය ගැන අපිට හරිහැටි දැනගන්නට අවස්‌ථාව අහිමි කරලා තිබීම අසාධාරණයක්‌.

මේ සිරුර භාර දෙන අවස්‌ථාවේදී තවත් එවැනි සිරුරු 17 ක්‌ එවලා තිබූ බව කියනවා. මේවා සත්‍ය හෝ අසත්‍යද කියලා දන්නේ නැහැ.

කොහොම වුණත් මේ පිටරට නිවසේ මියගිය අය සමග ආරවුල් කරගත්ත කාන්තාව ගැන හොයලා බලන්න ඕනේ. මීට පසුවවත් මේවා සිදු නොවන්න මේ වගේ අකල් මරණ සිදු නොවන්න වගබලාගන්න ඕනෑ. වගකිව යුතු අය නිහඬව ඉන්නේ ඇයි? කියලයි අපි අහන්නේ. ඔවුන්ගේ කථාවලද සත්‍යතාවයක්‌ ඇති බව අපටද වැටහිණ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.