පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෝ වර්ජනයේ

ඒමන්ති මාරඹේ

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා මාතෘ රෝහල්/ ඒකකවල සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) ඊයේ (30දා) සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කර ඇත. මේ හේතුවෙන් ඔවුන් විසින් ගෙන් ගෙට ගොස්‌ සිදු කරන ගැබිනි මවුවරුන්ට උපදෙස්‌ සැපැයීම ඇතුළු ක්‍ෂේත්‍ර රාජකාරී කටයුතු අඩපණ වී ඇති අතර සූතිකාගාරවල සිදු කෙරෙන දරු ප්‍රසූතීන් සඳහා ද බලපෑම් එල්ල වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

හෙද හෙදියන්ට ලබා දෙන සූතිකා පුහුණුව නවත්වන ලෙස ඉල්ලමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය " දිවයින" ට පැවසූවාය.

සිය ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යහපත් ප්‍රතිචාර දක්‌වන තෙක්‌ මෙම වර්ජනය අඛණ්‌ඩව පවත්වාගෙන යන බව ඇය සඳහන් කළාය. පත්වීම් ලැබූ නවක හෙද හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් විසින් ප්‍රකාශ කර සිටියදීත් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා එවැනි ප්‍රතිපාදන වෙන් කිරීමක්‌ සිදු නොකළ බව ප්‍රකාශ කිරීම ගැටලු සහගත බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය සඳහන් කළාය.

හෙද හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීමට එරෙහිව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මාතෘ හා ළමා සෞඛ්‍යයට අදාළ වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සැපැයීමද මේ වන විට නතර කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.