ක්‍ෂය රෝගී තත්ත්වය සැඟවීමෙන්
අන් අයට බෝවීමේ ඉඩකඩ වැඩියි

- හදිසි මරණ පරීක්‍ෂිකා ශ්‍රීමතී රොද්‍රිගු

මාස 3ක්‌ තුළ මරණ දහයක්‌

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් හා ඥණතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව

ගතවූ මාස තුන තුළදී ක්‍ෂය රෝගීන්ගේ මරණ 10 ක්‌ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සිදුකර ඇතැයි කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් හදිසි මරණ පරීක්‍ෂිකා ශ්‍රීමතී රුද්‍රිගු මහත්මිය "දිවයින" ට පැවසුවාය.

මේ නිසා දැනටමත් මෙම ක්‍ෂය රෝග පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කළ කනිෂ්ඨ කාර්ය සහායකවරයකු රෝගාතුරව රෝහල්ගත කර ඇති බවද ඇය කියා සිටියාය.

එපමණක්‌ නොව මෙම ක්‍ෂය රෝග පශ්චාත් මරණ පරීක්‍ෂණ නිසා අනෙක්‌ සේවකයන්ටද වැළඳීමේ අවදානමක්‌ද මතුවී ඇතැයිද ඇය කීවාය.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරිය මෙසේද කියා සිටියාය.

රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කරන විටත් මියගිය අයගේ ඥතීන් මියගිය අයට අදාළ රෝගයන් පිළිබඳ සත්‍ය තොරතුරු රෝහලට කියන්නේ නැහැ. එහෙම කියනවා නම් ක්‌ෂය රෝග මරණවලට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණ මෙහි සේවකයන් කරන්නේ නැහැ. එහෙම සත්‍ය තොරතුරු ඥතීන් ප්‍රකාශ නොකිරීම නිසා මෙහි සේවකයෝ බැටකනවා. අඩුම තරමින් ඒ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කරන සේවකයන්ට රක්‍ෂණ ආවරණයක්‌ වත් නැහැ. ඒ නිසා වගකිව යුතු අංශ මේවා ගැන සොයා බැලිය යුතුයි.

අනික ක්‍ෂය රෝග මර්දන කටයුතු අඩපණ වීමක්‌ දකින්නට තිබෙනවා. ඒ වගේම ක්‍ෂය රෝගය වැළඳුණු අය ඒ රෝගය සඟවා තබාගෙන ඉඳිමින් අනිත් අයටත් බෝ කරනවා. ඒ අය ප්‍රතිකාර ලබාගෙන රෝගය සුවකර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.

දැන් මේ ගතවූ මාස තුන තුළ කරපු ක්‍ෂය රෝග මරණ දහයම නොදැන කරපුවා. අඩුම තරමින් ඒ මියගිය අයගේ ඥතීන්වත් මියගිය අයට ක්‍ෂය රෝගය තිබුණා කියලවත් කිව්වේ නැහැ. ඒ අය ප්‍රකාශ ලබාදෙන කොට කියන්නේ හෘදයාබාධයකින් මැරුණා කියලයි.

මේ කරන ලද ක්‍ෂය රෝග පශ්චාත් මරණ පන්නිපිටිය, මොරටුව, කළුබෝවිල ප්‍රදේශවල ඒවා.

අනිත් එක ඒඩ්ස්‌ රෝගීන්ගේ මරණද කිරීමේ අවදානමක්‌ ද පවතිනවා. ඒ නිසා මේ ජීවිත අවදානම ගැන සෞඛ්‍ය බලධාරීන් වහා සොයා බලා ඊට නිසි පිළියම් යොදන ලෙස ඉල්ලා සිටිනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.