ලාදුරු රෝගය යළි හිස ඔසවයි
මාතරින් රෝගීන් 70 ක්‌ හමුවෙයි
- විශේෂඥ වෛද්‍ය පී. එච්. චන්ද්‍රවංශ

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

පසුගිය වසරේදී මාතර දිස්‌ත්‍රික්‌කයෙන් හඳුනාගත් ලාදුරු රෝගීන් සංඛ්‍යාව 70 ක්‌ යෑයිද ඉන් කාන්තා රෝගීන් 9 ක්‌ සහ පිරිමි 51 ක්‌ද, ළමා රෝගීන් 7 ක්‌ද, හඳුනාගෙන ඇතැයි මාතර මහ රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජී. එච්. චන්ද්‍රවංශ මහතා පැවැසීය.

දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය සහ ලාදුරු මර්දන ඒකකය මගින් මාතර දිස්‌ත්‍රික්‌කයේ මාධ්‍යවේදීන් ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාතර පරමුල්ල දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේදී පැවැති වැඩමුළුවක්‌ අමතා චන්ද්‍රවංශ මහතා එසේ පැවැසීය.

මෙම රෝගය සම්බන්ධව ශ්‍රී ලංකාවේ වාර්ෂිකව රෝගීන් 2000 කට මඳක්‌ වැඩියෙන් වාර්තා වීම සමාන්‍යයක්‌ බවත් විශේෂයෙන් බස්‌නාහිර පළාතෙන් වැඩිපුර රෝගීන් වාර්තා වන බවත් ඒ මහතා පවසා සිටියේය.

2010, 2011, 2012 සන්ධාන ලේඛන පරීක්‍ෂා කිරීමේදී මෙම රෝගයට ළමයින් පාත්‍රවීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට තිබෙන බවත් 2010 වසරේදී මාතර දිස්‌ත්‍රික්‌කයෙන් ළමයින් 6 දෙනෙක්‌ වාර්තා වූ අතර එය 2013 වන විට හත දක්‌වා වැඩිවී ඇති බවද පැවැසීය.

මෙම රෝගය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබෙන අතර නොකඩවා ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය සුවකර ගැනීමට හැකි බවත් මේ වන විටත් මෙම රෝගය සම්පූර්ණයෙන් තුරන් වී නැති බවත් පැවැසීය.

මෙය මරණීය රෝගයක්‌ නොවන බව පැවසූ ඒ මහතා මේ සඳහා රෝග ලක්‌ෂණ ඇතිවීමට වසර 3 ක්‌ පමණ යන අතර මෙම රෝගය හැම කෙනෙකුටම බෝ නොවන බවත් සමේ ළා පැහැති හෝ මඳ රත් පැහැති හෝ තඹ පැහැති ලප කැලල් ඇතිවීම සහ ලප මතුපිට දැනීමක්‌ හෝ වේදනාවක්‌ නොමැති වීමත් රෝම නොමැති වීමත් දහඩිය නොදැමීමත් දක්‌නට හැකිය.

මාතර දිස්‌ත්‍රික්‌කයෙන් රෝගීන් මාතර නගර සභා බල ප්‍රදේශය, දෙවිනුවර, වැලිගම, හක්‌මන, අකුරැස්‌ස, කඹුරුපිටිය, කොටපොල වැනි ප්‍රදේශවලින් වාර්තා වන බවද ඒ මහතා පවසා සිටියේය.

මෙම රෝගීන් අනිවාර්යයෙන්ම රෝහලේ චර්ම රෝග සායනයට යා යුතු අතර මේ සඳහා ලබාදෙන ඖෂධ කිසිම පෞද්ගලික බෙහෙත් සාප්පුවකින් ලබාගත නොහැකි බවද පැවැසීය.

මාතර දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මුදිත අමරසිංහ මහතා-

ලාදුරු රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක්‌ ඇත්තේ පැල්පත් වැනි තදාසන්නව වෙසෙන ප්‍රජාව වූ සංචාරකයන්, ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්, අවතැන් වූවන්, බන්ධනාගාර වැනි වැඩි ගහනයක්‌a එක්‌ රැස්‌වන වැඩි වශයෙන් වෙසෙන ජනයා වෙසෙන ස්‌ථානයන් වන අතර මෙම රෝගීන් මුල් අවස්‌ථාවේම හඳුනා ගැනීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර මගින් සුවකර ගැනීමට හැකි යෑයි ද ඉදිරියේදී මාතර මහ රෝහලට අමතරව වැලිගම සහ දෙනියාය රජයේ රෝහල්වල මෙම රෝගීන් හඳුනා ගැනීමට සායන පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද ඒ මහතා පැවැසීය.

මෙම වැඩමුළුව අමතා ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ ඩබ්. ඒ. සෝමරත්න මහතා ඇතුළු කීප දෙනෙක්‌ම අදහස්‌ දැක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.