ජාතික කොඩිය හා බැඳි සිරිත් විරිත්

ආචාර්ය වසන්ත කේ. දිසානායක
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,
මිහින්තලේ.

dwasanta@yahoo.com.

ජාතියක ප්‍රබලත්වය හා එක්‌සත්කම පිළිබිඹු කරමින් රටක ජනතාවගේ ස්‌වාධිපත්‍යය, ස්‌වාධීනත්වය, දේශ වාත්සල්‍යය Òජාතික අනන්‍යතාව, මෙන්ම කිසියම් රටක ජනතාව ප්‍රාණවත් කරන්නා වූ ද ජාතික සමගිය පෙන්නුම් කරන්නාවූ ද ප්‍රබල සංකේතය ලෙසට ජාතික කොඩිය මහජනයාගේ ගෞරව බහුමානයට පාත්‍ර වන්නේ නිතැතිනි.

සිංහ සංකේතයේ ප්‍රභවය හා විකාශනය

ඕනෑම රටක එහි වැසි ජනතාවගේ ජාතික අනන්‍යතාව හා සංස්‌කෘතිය නිරූපණය වන අයුරින් ජාතික කොඩිය සකස්‌ කිරීම සම්ප්‍රදාය වේ. සිංහල ජාතිය හා සිංහ සංකේතය අතර දූරාතීතයේ සිටම ඇති අවියෝජනීය බැඳීම හේතුවෙන් සිංහ සංකේතය සිංහල ජාතියේ මෙන්ම සිංහල රාජ්‍යයේ රාජකීය ලාංඡනය ලෙසට රාජකීයයන් භාවිත කළ බවට නිදසුන් එමට ය. ශ්‍රී ලාංකේය ජාතික කොඩිය ද සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය හා සංස්‌කෘතියේ අනන්‍යතාව පිළිබිඹු කරන සිංහ සංකේතය සහිතව නිර්මාණය කිරීමට පෙළඹී ඇත.

සිංහලේ ආදිම මුතුන්මිත්තා සිංහයෙකි (මහාවංශය, 2004(31) එබැවින් ජාතියේ අනන්‍යතාව නිරූපණය උදෙසා ජාතිකත්වය හුවා දැක්‌වෙන සෑම අවස්‌ථාවකදීම සිංහ සංකේතය බද්ධ කිරීමට අතීත මුතුන්මිත්තෝ උත්සාහ දැරූහ. ක්‍රි. පූ. තුන්වන සියවසට අයත් සාංචි ස්‌ථුප කැටයම් අතර විජය කුමරු සිංහ ධජය අතැතිව සිටින ස්‌ථුප කැටයම සිංහ සංකේතයත් සිංහල ජාතියත් අතර ඇති බැඳීමට ප්‍රබල සාක්‌ෂියකි. අතීත රජදරුවන් ස්‌වකීය රාජකීය මුද්‍රdව හා කාසි හැඳින්වීමට ද සිංහ රුව යොදාගැනීමට උත්සුක වූයේ ද තත් වෙසෙස හේතුවෙනි. දේවානම් පියතිස්‌ස රජු "දුටුගැමුණු රජු (වාව්වගේ, 2005) හා දෙවන රාජසිංහ රජු තම රාජ්‍යයේ රාජකීය ධජය සඳහා සිංහ සංකේතය ඇතුළත් කර තිබූ බවට සාක්‌ෂි තිබේ. තෙවන හා සිව්වන බුවනෙකබාහු රජවරුන්ගේ රාජකීය ලාංඡනය හා කොඩිය සිංහ සංකේතයෙන් සමන්විතව ඇත. සිංහ සංකේතය අතීත පර්සියානු හා කේරළයේ රාජකීය කොඩි සඳහා ද යොදාගෙන තිබීම විශේෂත්වයකි. මහ පැරකුම් රජුගේ රජමාලිගා මණ්‌ඩපද්වාරයේ සිංහ සංකේතයේ නටබුන් දක්‌නට ලැබේ. (සෙනෙවිරත්න. 1998 (330) නිශ්ශංක මල්ල රජු ස්‌වකීය රාජකීය සිංහාසනයෙහි සිංහ රුව මූර්තිමත් කිරීමට කටයුතු කර ඇත්තේත් (රෝහණධීර. 1998(161) කාශ්‍යප රජු සිගිරි ද්වාරයට සිංහ රුව යොදාගත්තේත් සිංහල ජාතියේ අනන්‍යතාවය ලෝකයා ඉදිරියේ හුවා දැක්‌වීමට බැව් නිසැකය. එදා මෙදා තුර දෙස්‌ විදෙස්‌ ජනයාගේ නොමඳ පැසසුමට පාත්‍ර වූ සීගිරිය වර්තමානයේ ලෝක උරුමයක්‌ව පවතී. මිහින්තලේ නිර්මාණය කර ඇති සිංහ රුව සහිත සිංහ පොකුණ අතීත හෙළ කලාකරුවාගේ නිර්මාණාත්මක කෞශල්‍ය විදහාපායි. අනුරාධපුර හා පොළොන්නරු යුගයේ සඳකඩපහණ්‌ හි සිංහරුව කැටයම් කර තිබීමෙන් ගම්‍ය වන්නේ සිංහල ජාතියත් ජාතික අනන්‍යතාවත් සංස්‌කෘතියත් සමඟ සිංහ සංකේතයේ පවත්නා ඓද්‍රීය බද්ධතාවයි. (සෙනෙවිරත්න. 1998(283)

ජාතික කොඩියේ ප්‍රභවය හා විකාශනය

ඈත අතීතයේ සිටම ලක්‌දිව රාජකීය කොඩි මෙන්ම දිසා කොඩි සඳහා ද සිංහ සංකේතය සහිත සිංහ කොඩිය යොදාගත් බවට සාක්‌ෂි ඇත.

1. අනුරාධපුර දිසා කොඩිය

2. මහනුවර මරිගා කොඩිය

3. කුණ්‌ඩසාලේ ඉර හඳ කොඩිය

4. මහනුවර නරසිංහ කොඩිය

5. රත්නපුර සිංහල රාජකීය කොඩිය

6. උඩරට රාජකීය කොඩිය

7. වෙල්ලස්‌සේ දිසා කොඩිය

8. මහනුවර සිංහ කොඩිය

9. තමන්කඩුව හත්කෝරල කොඩිය

උක්‌ත සියලු කොඩි සඳහා සිංහ සංකේතය යොදාගෙන තිබේ. එබැවින් සිංහල ජාතියේ අනන්‍යතාව පිළිබිඹු කරනා සිංහ සංකේතයට ඇත්තේ දිගු ඉතිහාසයක්‌ බව තහවුරු වේ. සිංහල රාජ්‍යයේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ස්‌වකීය රාජකීය කොඩි වශයෙන් භාවිත කළේ ද සිංහ කොඩියයි. සිංහල ජාතියේ පරාදීනභාවය සනිටුහන් කරමින් ක්‍රිස්‌තු වර්ෂ 1815 මාර්තු 02 වැනිදා සිංහල රාජ්‍යය ඉංග්‍රීසීන් විසින් පවරා ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟම සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය සිංහ කොඩිය ඉංග්‍රීසින් අතට පත් වූ අතර ඉංග්‍රීසින්ගේ යුනියන් ජැක්‌ කොඩිය මහනුවර මඟුල් මඩුවේදී ඔසවන ලදී. (බස්‌නායක. 2005(51) එතැන් පටන් සිංහල ජාතියේ පැවති අතීත ශ්‍රී විභූතිය "සභ්‍යත්වය, සංස්‌කෘතිය හා අනන්‍යතාව නිදහස්‌ නිවහල් බවද මුළුගැන්වී ගියා පමණක්‌ නොව සිංහල ජාතිය ලෝකයා හමුවේ පරාදීන ජාතියක්‌ බවට ද පත්විණි.

උක්‌ත තත්ත්වය නිසා නැති වූ හෙළ ශ්‍රී විභූතිය හා ජාතික අනන්‍යතාව යළිත් ඉස්‌මතු කරනු පිණිස යටත් විජිත පාලනය හමුවේ ජාතික නිදහස වෙනුවෙන් ක්‍රියා කළ ජාතික නායකයෝ යුහුසුලුව කටයුතු කරන්නට වූහ. එහි දී මූලික පියවරක්‌ වශයෙන් සිංහලයේ පැරණි ජාතික කොඩිය සොයා ගැනීමට අධිනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා, පුරාවිද්‍යා කොමසාරිස්‌ එච්. සී. පී. බෙල් "කෞතුකාගාර අධ්‍යක්‍ෂ ජෝසප් පියර්සන් "ශ්‍රීමත් ඩී. බී. ජයතිලක" ඩී. ආර්. විජයවර්ධන ආදීහු ක්‍රියා කළහ. මෙකී කර්තව්‍යයේ දී මූලික වශයෙන් ඔවුන් උත්සාහ දැරුවේ සිංහලයේ ජාතික කොඩිය වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහ කොඩිය ලක්‌දිව කොතැනක හෝ තිබේ නම් එය සොයාගැනීම කෙරෙහිය. ඒ සඳහා ක්‍රි. ව. 1912 වර්ෂයේ නොවැම්බර් මාසයේ මහනුවර කච්ෙච්රියේ දී ලංකාවේ එවකට භාවිත වූ කොඩි පිළිබඳ ජාතික මට්‌ටමේ විමර්ශනයක්‌ සිදු කරනු ලැබුවත් ඉන් අපේක්‌ෂිත අරමුණ ඉටු නොවිණි.

අධිනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා ප්‍රමුඛ පිරිස අනතුරුව එංගලන්තය දෙසට යොමු වන්නේ යටත් විජිත දේශයන්ගේ රාජකීය කොඩි සියල්ල මව් රටට ගෙන ගොස්‌ ඇති බවට ලැබෙන සාක්‍ෂි යෙනි. ඒ අනුව ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඉංග්‍රීසි ජාතික µeරන් බර්ත් සමර්සෙට්‌ හැරල්ඩ් ආදීන්ගේ උපකාරයද ඇතිව එංගලන්තයේ යුද ඇඳුම් තැන්පත් කළ ශාලාවක තිබී සිංහල කොඩිය පිළිබඳ පළමු ලියවිල්ල සොයාගැනීම සුවිශේෂ සිද්ධියක්‌ වේ. ඒ ඔස්‌සේ යමින් එංගලන්තයේ චෙල්සි යුද හමුදා ගිලන්හලේ දී සිංහ සංකේතය සහිත සිංහල රාජකීය කොඩිය වූ ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය කොඩිය ඊ. ඩබ්ලිව්. පෙරේරා විසින් සොයාගත් අතර ඩී. ආර්. විජයවර්ධන මහතා එංගලන්තයේ වූ මෙරට ජාතික කොඩිය වූ සිංහ කොඩිය ඒ අයුරින්ම පිටපත් කරවා සවුත්වුඩ් සමාගම මගින් වර්ණ ගන්වා මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කළේය. (එම පිටපතෙහි ජායාරූපයක්‌ ඊ. ඩබ්ලිව්. පෙරේරා විසින් රචිත -සිංහලයන්ගේ ධජ සහ පතාක නම් කෘතියේ දැක්‌වේ.) (හේරත්. 1988(23)

සිංහලයන්ගේ ජාතික කොඩිය වූ සිංහ කොඩිය ඉංග්‍රීසින් විසින් ලක්‌දිව යටත් කොට වසරක්‌ පිරුණු 1915 මාර්තු මස 02 දිනමිණ පුවත්පතෙහි මුල් පිටු වේ පළකරන ලදී. (එම සිංහ කොඩියේ කහ පැහැති ශෛලිගත සිංහයාත් බෝපත් සතර සහ පසුබිමෙහි රතු පාට පමණක්‌ විය.) ඩබ්ලිව්. ඊ. බැස්‌ටියන් සහ එම්. ඩී. ගුණසේන ආදීහු එම සිංහ කොඩියේ පිටපත් මුද්‍රණය කර රට පුරා බෙදා හැරීමට ක්‍රියා කළහ.

ඡේ. ආර් ජයවර්ධන මහතා 1945 වසරේ සැප්තැම්බර් මාසයේ වූ රාජ්‍ය මන්ත්‍රණ සභා අය-වැය විවාදයේ දී සිංහ කොඩිය නැවත භාවිත කිරීමේ අවශ්‍යතාව හා වැදගත්කම පිළිබඳ කරුණු දැක්‌වීමෙන් පසුව එංගලන්තයේ පැවති සිංහ කොඩිය මෙරටට ගෙන්වා ගැනීමට එවක රජය ක්‍රියා කළේය. කෙසේ නමුත් 1815 සිට 1948 නිදහස ලැබෙන තෙක්‌ මෙරට ජාතික කොඩිය ලෙසට සිංහ කොඩිය මහ ජනයා පිළිගත්තද නිල වශයෙන් පැවතියේ එංගලන්තයේ යුනියන් ජැක්‌ කොඩිය බව අවිවාදයෙන් පිළිගතයුතු සත්‍යයකි.

එංගලන්තයේ සිට ගෙන්වා ගන්නා ලද සිංහලේ ජාතික කොඩිය වූ පැරණි සිංහ කොඩිය 1948 පෙබරවාරි 04 වැනිදා රට පුරා සියලු රාජ්‍ය ආයතනවල එසවීම සිංහල රාජ්‍ය නායකයන්ගේ මූලික අභිප්‍රාය වුවත් ඊට විරෝධය දැක්‌වීමට ඇතැම් ද්‍රවිඩ සංවිධාන නායකයන් ක්‍රියා කළ හෙයින් 1948 පෙබරවාරි 02 දින රජයට විශේෂ නිවේදනයක්‌ නිකුත් කිරීමට සිදුවිය.

-රටේ කිසිම තැනක 'නන්දි කොඩිය' එසවීම තහනම් ය. යම් තැනක සිංහ කොඩිය එසවීම නුසුදුසු යෑයි කියන්නේ නම් එම. තැන්වල පෙබරවාරි 04 වෙනිදා ඉංග්‍රීසි කොඩිය පමණක්‌ එසවිය යුතුය. කොඩිගස්‌ දෙකක්‌ සහිත රජයේ ගොඩනැඟිලිවල එක ගසක ඉංග්‍රීසි කොඩියද අනෙක්‌ ගසේ සිංහ කොඩියද එසවිය යුතුය.

ඒ අනුව 1948 පෙබරවාරි 04 දා සිංහලේ පැරණි ජාතික කොඩිය වසර 133 කට පසු දිවයින පුරා නැවත ළෙල දෙන්නට විය. අගමැති ඩී. එස්‌. සේනානායක මහතා 1948 පෙබරවාරි 12 දින මහනුවර දළදා මැඳුර අභියස පැවැත් වූ නිදහස්‌ සමරු උළෙලේ දී හා 1948 පෙබරවාරි 19 දින එංගලන්තයේ ආදිපාදවරයා වූ ග්ලෝස්‌ටර්හි ප්‍රධානත්වයෙන් ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ දී අගමැතිවරයා ඔසවන ලද්දේ ද මෙකී පැරණි සිංහ කොඩියම බව අප මතක තබා ගත යුතුය.

1948 ජනවාරි 16 දින සිංහ ධජය ලංකා රාජ්‍යයේ කොඩිය ලෙස යොදා ගැනීමේ යෝජනාව මැති සබයේදී නැවත සාකච්ජාවට ලක්‌aවීම විශ්ෂත්වයකි. එහිදී ඒ. සිද්දි ලෙබ්බේ, ඊ.ඒ. ගූණසිංහ "ඡේ. ආර්. ජයවර්ධන, කොල්වින් ආර් ද සිල්වා, ටී.බී. ජයා, ඡේ. බී. රඹුක්‌පොත එච්. ශ්‍රී නිශ්ශංක, ජී. ජී. පොන්නම්බලම්, ආතර් ද සොයිසා, ඩී. එස්‌. සේනානායක ආදීහු පක්‍ෂව ද එස්‌. ඡේ. වී. චෙල්වනායගම්, ඡේ. කනගරත්නම්, පිලිප් ගුණවර්ධන, සී. සුන්දරලිංගම්, කේ. වී. නඩරාජා ආදීහු විපක්‍ෂව ද කරුණු ඉදිරිපත් කළහ. අගමැතිවරයා විසින් 1948 මාර්තු 16 වන දින නිල වශයෙන් ජාතික කොඩියක්‌ තෝරාගැනීම සඳහා ජාතික ධජ කමිටුව නමින් විශේෂ කමිටුවක්‌ද පත් කරන ලදී.

එස්‌. ඩබ්ලිව්. ආර් ඩී. බණ්‌ඩාරනායක (සභාපති)

සෙනරත් පරණවිතාන (ලේකම්)

ඡේ. ආර්. ජයවර්ධන

ජී. ජී. පොන්නම්බලම්

ටී. බී. ජයා

කර්නල් ඡේ. ඇල්. කොතලාවල

එස්‌. නඩේසන්

එල්. ඒ. රාජපක්‌ෂ

1950 පෙබරවාරි 13 වැනි දින ජාතික ධජ කමිටුවේ අවසන් වාර්තාව රජයට භාර දෙන ලදී. එහි 34 වන පිටුවෙහි ඇතුළත් වූ සිංහ කොඩියේ සිතුවම කමිටුව විසින් ජාතික ධජය ලෙසට අනුමත කොට අත්සන් කරනු ලැබීය. එහි නිර්දේශය මෙසේය. මෙම සැලැස්‌මේ එකම ප්‍රමාණයෙන් වූ කොළ සහ රඹ වර්ණයෙන් යුතු පටි දෙකකි. එක්‌ එක්‌ පටියේ ප්‍රමාණය කොඩියේ සම්පූර්ණ ප්‍රමාණයෙන් හතෙන් එකක්‌ විය යුතුය. මුස්‌ලිම් ජාතීන් වෙනුවෙන් කොළ පාටත් ද්‍රවිඩ ජාතීන් වෙනුවෙන් රඹ පාටත් එක්‌ කළේය.

1951 පෙබරවාරි 17 දින ඩී. එස්‌. සේනානායක අගමැති වරයා උක්‌ත නිර්දේශ පිළිගැනීමට ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තු විවාදයෙන් පසුව 1951 මාර්තු මස 02 දින පැවති ඡන්ද විමසීමේ දී වැඩි ජන්ද 30 කින් සභා සම්මත වී ලාංකේය ජාතික කොඩිය බවට නීති ගත විය. 1951 මාර්තු 31 දා ප්‍රතිනිර්මාණය කළ ජාතික කොඩිය ප්‍රථමවරට පාර්ලිමේන්තුව ඉදිරිපිට ලෙළ දෙන්නට විය. ජාතික කොඩියේ සතර කොනෙහි වූ බෝපත් හා සිංහරුව ශෛලිගත බවින් තොරව ස්‌වාභාවික ලෙසත් ප්‍රතිනිර්මාණය කිරීමට 1972 දී පිහිට වූ ජනරජ ආණ්‌ඩුවේ සංස්‌කෘතික ඇමැති වූ එස්‌. එස්‌. කුලතිලක, අමාත්‍යංශ ලේකම් නිශ්ශංක විඡේරත්න යනාදීහු ක්‍රියා කළහ. 1972 දී කොළඹ පැවැති ජනරජ උත්සවයේ දී එසේ සකස්‌ කළ සිංහ කොඩිය ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් පළමුවරට ඔසවන ලද අතර අගමැති ආර්. ප්‍රේමදාස මහතා 1985 වසරේ ජාතික නිදහස්‌ දිනයේ දී රටේ ඒකීයභාවය හා සහයෝගිතාව සංකේතවත් කරමින් රට පුරා ජාතික ධජය ඔසවන ලෙස කළ ඉල්ලීමට ගරු කරමින් එතැන් සිට සෑම ජාතික දිනයකදීම රට පුරා ජාතික කොඩිය ලෙළදීම ජාතික සිරිතක්‌ බවට පත්විය.

1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ මෙකී සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් ව්‍යවස්‌ථාගත කර ඇති අතර එහි දෙවන උප ලේඛනයෙහි ජාතික කොඩියේ ආකෘතිය දක්‌වා ඇත. 1978 ජාතික කොඩිය පිළිබඳව සකස්‌ කෙරුණු රීති මාලාව 1981 දී අමාත්‍ය මණ්‌ඩලය පිළිගන්නා ලදී. එම නිර්දේශ මෙසේය.

ජාතික කොඩියේ ඉතිහාසය.

සැලැස්‌ම.

ප්‍රදර්ශනය කිරීමේ වැරදි හා නිවැරදි ක්‍රම.

නිsවැරැදි භාවිතය.

අව භාවිතය.

1986 දී ජාතික කොඩිය පිළිබඳ සංශෝධිත රීති සංග්‍රහයක්‌ අමාත්‍ය මණ්‌ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික කොඩියේ පණිවිඩය හා වැදගත්කම.

ප්‍රදර්ශනය කළ යුතු අවස්‌ථා.

එළිමහනේ ප්‍රදර්ශනය කිරීම.

පෙරහැරවලදී ප්‍රදර්ශනය කිරීම.

වැරදි ලෙස ප්‍රදර්ශනය හා අවභාවිතය.

එක්‌සත් ජාතීන්ගේ කොඩි සමඟ ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ප්‍රදර්ශනය කිරීම.

පිටරට සම්භාව්‍ය පුද්ගලයන්ගේ සංචාරවලදී ප්‍රදර්ශනය කිරීම.

විදේශයකදී ප්‍රදර්ශනය කිරීම.

ආයතන, දුම්රිය, අහස්‌ යානා ආදියේ ප්‍රදර්ශනය කිරීම.

1985 අංක 693 දරන ශ්‍රී ලංකා ප්‍රමිතිකරණයෙහි සඳහන් පරිදි ශ්‍රී ලංකා ජාතික කොඩිය නිර්මාණය කළ යුතු ආකාරය මෙසේය.

ජාතික කොඩියේ වර්ණ සහිත පෙදෙස්‌ තුන වන කොළ, තැඹිලි, ලෝහිත, යන වර්ණ පිළිවෙළින් 1.1.5 යන අනුපාතයට සකස්‌ විය යුතුය. කොඩියේ දිග, පළල මෙන් දෙගුණයක්‌ විය යුතුය.

සිංහලයේ ජාතික කොඩියේ ඇතුළත් සියලුම සංකේතයන්හි අර්ථවත් වන සංකේතයන් විශේෂ වන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියේ අනන්‍යතාවත් සභ්‍යත්වයත් ස්‌වාධීනත්වයත් ඒ හා බැඳී පවතින හෙයිනි.

ජාතික කොඩිය හා බැඳුණු සිරිත් විරිත්

විසරණය, සංක්‍රමණ, සංස්‌කෘතිsක සංස්‌පර්ශය හා බද්ධ වු ගෝලීයකරණය හේතුවෙන් දිනෙන් දින ජාතීන් අතර පවත්නා සංස්‌කෘතික අනන්‍යතාවත්, ස්‌වාධිපත්‍යය හා ස්‌වාධීනත්වයත් ක්‍රමයෙන් හායනීයත්වයට ළඟාවනු නොනැවැත්විය හැකි අඛණ්‌ඩ ප්‍රවාහයක්‌ බවට පත් වී හමාරය. මෙකී තත්ත්වය හමුවේ ලෝකයා ඉදිරියේ ජාතික අනන්‍යතාව, ස්‌වාධිපත්‍යය හා ස්‌වාධීනත්වය තහවුරු කරනු පිණිස ජාතික ධජය නිරවද්‍ය ලෙස භාවිත කළයුතු ආකාරය දැන සිටීම කාලීන අත්‍යවශ්‍ය සාධකයකි. ශ්‍රී ලංකා ජාතික කොඩිය භාවිතය හා අව භාවිතය පිළිබඳ නිති රීති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දක්‌වා තිබේ.

ජාතික කොඩියේ නිවැරැදි භාවිත අවස්‌ථා

එළිමහනේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත් දිනයන්හි දී සහ සියලුම රාජ්‍ය උත්සවයන්හිදී ජාතික ධජය එළිමහනේ ප්‍රදර්ශනය කළ යුතුය.

ජාතික ධජය ප්‍රදර්ශනය කරන කවර අවස්‌ථාවකදී වුවද එයට ඉහළම ගෞරවනීය ස්‌ථානය දිය යුතු අතර හොඳින් පෙනෙන ස්‌ථානයක එය සවි කර තැබිය යුතුය.

විදේශීය රාජ්‍ය නායකයකුගේ ධජයක්‌ මෙරට දී ප්‍රදර්ශනය කරන අවස්‌ථාවක දී ශ්‍රී ලංකා ජාතික ධජයද ප්‍රදර්ශනය කළ යුතුය.

සෑම විටම ජාතික ධජය එසවීමේ මෙන්ම පහත් කිරීමේ කාර්යයද කළ යුත්තේ සෙමෙන් හා ගෞරවාන්විතවය.

සිරස්‌ තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා පරිදි ජාතික කොඩිය ඔසවා තැබිය යුතුය.

සෑම උත්සවයකදීම ජාතික කොඩියට ප්‍රමුඛස්‌ථානය දිය යුතුය. වෙනත් කිසිදු කොඩියක්‌ ඊට ඉහළින් ඔසවා තැබිය යුතු නොවේ.

වෙනත් ජාතීන්ට අයත් කොඩි ඔසවා තැබීමේ දී ශ්‍රී ලංකා ජාතික කොඩියට වම් පසින් සම උසකින් හා සම ප්‍රමාණයකින් යුක්‌තව තැබිය යුතුය.

රාත්‍රි කාලයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන විටදී එය ඔසවා තබන තාක්‌ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කළ යුතුය.

ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුත්තේ ජාතික කොඩිය හා සම උසින් සිටින පරිදිය.

පළාත් කොඩි, ප්‍රාදේශීය කොඩි, සමිති සමාගම් ආදියෙහි ධජ, පතාක සමඟ ජාතික කොඩිය එසවීමේදී ජාතික කොඩිය තැබිය යුත්තේ සියල්ලටම මැද ඉහළම ස්‌ථානයේය.

පළාත් හා පාසල් ධජ සමඟ ජාතික ධජය එකම කොඩි ගසක එකම කොණක එල්ලනු ලබන විටක දී ජාතික ධජය ඉහළින්ම ඔසවා තැබිය යුතුය.

එකිනෙකට යාව කොඩිගස්‌ කිහිපයක කොඩි එල්ලනු ලබන විට දී මුලින්ම එසවිය යුත්තේත් අවසානයට පහත් කළ යුත්තේත් ජාතික කොඩියයි.

වීදියක්‌ මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන විට සිංහයා නිසි පරිදි සෘජුව සිටින සේ තිරස්‌ අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය.

ජාතික කොඩිය ඔසවනු ලබන විටදී කාලගූණය කුමක්‌ වුවත් හිරු උදාවේ සිට හිරු බැසීම දක්‌වා එකම ස්‌ථානයක ඔසවා තැබිය යුතුය.

වේදිකාවක්‌ මත ජාතික කොඩිය ඔසවන විටදී කථිකයා සභාවට මුහුණ දුන් විට ඔහුගේ දකුණු පස ඉහළින් කොඩිගසක මුදුනේ හෝ කථිකයාට පිටුපසින් බිත්තියට හේත්තුවන සේ ඔහුට ඉහළින් තැබිය යුතුය.

ජාතික කොඩිය ඔසවනු ලැබූ විට ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතුය.

සියලු දෙනා නැගී සිටිය යුත්තේ ජාතික කොඩියට මුහුණ ලා සිරුවෙනි.

හමුදා නිල ඇඳුමින් සැරසුණු අය උචිත හමුදා ගෞරවය දැක්‌විය යුතුය.

සාමාන්‍ය පුද්ගලයන් හිස්‌ වැසුම් ඉවත් කළ යුතුය.

එක්‌සත් ජාතීන්ගේ කොඩි සමඟ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

වෙනත් ජාතීන්ගේ හා එක්‌සත් ජාතීන්ගේ කොඩි සමග ජාතික ධජය ප්‍රදර්ශනයේදී ජාතික කොඩිය එම කොඩි පෙළෙහි දකුණු පස අන්තිම කෙළවරේ ප්‍රදර්ශනය කළ යුතුය.

නිරීක්‌ෂකයකු නරඹන්නන්ට මුහුණලා කොඩි පෙළ මධ්‍යයේ සිටියදී ජාතික කොඩිය ඔහුගේ දකුණු පස අන්තිම කෙළවරේ විය යුතුය.

ජාතික කොඩියේ සිට අකාරාදි පිළිවෙළට අනෙකුත් විදේශීය කොඩි සවි කළ යුතුය.

ජාතික ධජය පළමුවෙන්ම ඔසවා අන්තිමටම පහත් කළ යුතුය.

සංවෘත චක්‍රාකාරව කොඩි ප්‍රදර්ශනයේදී ජාතික කොඩියෙන් චක්‍රය ආරම්භ කළ යුතුය.

කොඩි කඳන් එකිනෙකට හරස්‌ව සිටින සේ වෙනත් කොඩියක්‌ සමග ජාතික කොඩිය බිත්තියට සවිකර ප්‍රදර්ශනය කිරීමේදී ජාතික ධජය දකුණු පසින් තිබිය යුතු අතර එහි කොඩිකඳ අනෙක්‌ කොඩියේ කොඩි කඳට ඉදිරියෙන් තැබිය යුතුය.

එක්‌සත් ජාතීන්ගේ කොඩිය ජාතික කොඩිය සමග එසවීමේදී ජාතික ධජය එය මුහුණලා සිටින දිසාවට හරියටම දකුණු පසින් එසවිය යුතුයි.

එකම කොඩි ගසක්‌ මුදුනෙහි වෙනත් කොඩි කිහිපයක්‌ සමග ජාතික කොඩිය ඔසවා නොතැබිය යුතුය.

රජය නිශ්චිත කොට ඇති විටකදි කඩදාසි හෝ වෙනත් ද්‍රව්‍යයකින් සකස්‌ කළ කොඩි භාවිතයෙන් පසු නිසි පරිදි අපහරණය කළ යුතුය.

විදේශීය ආණ්‌ඩුවල රාජතාන්ත්‍රික සහ තානාපති නියෝජිත අනුග්‍රහයෙන් පැවැත්වෙන සංස්‌කෘතික සංදර්ශන, ගීත ප්‍රසංග, චිත්‍රපට උත්සව අවස්‌ථාවලදී ජාතික කොඩිය හා වෙනත් රටවල කොඩි රාජ්‍ය අවසරය සහිතව ප්‍රදර්ශනය කළ යුතුය.

විදේශ කටයුතු අමාත්‍යංශයට අවශ්‍ය පරිදි ජාතික කොඩිය නීතිරීතිවලට යටත්ව ගුවන් තොටුපළේදී ප්‍රදර්ශනය කළ හැකිය.

සම්භාවනීය විදේශ අමුත්තන් මෙරටට පැමිණි කල විදේශ කටයුතු අමාත්‍යංශය මගින් පැමිණි අමුත්තා අයත් රටෙහි ජාතික ධජය සමග අපගේ ජාතික ධජය සුදුසු ස්‌ථානයක ඔසවනු ලබයි.

විදේශයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

ජාතික කොඩිය විදේශයන්හි භාවිත කරන විටදි විදේශයක සිටින ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික දූත මණ්‌ඩලයක්‌ විසින් එකී දූත මණ්‌ඩල කාර්යාලයෙහි දූත මණ්‌ඩල ප්‍රධානියාගේ නිවසෙහි සහ දූත මණ්‌ඩලයේ ප්‍රධානියාගේ ඉදිරියෙහි ජාතික ධජය ප්‍රදර්ශනය කරනු ලැබීමේදී ශ්‍රී ලංකා කොඩියට අයත් රීති සංග්‍රහයට අමතරව ඔවුන් දූත මෙහෙය සඳහා පත් කරනු ලැබ සිටින රටෙහි පවත්නා කොන්දේසිවලටද එකී රටෙහි සිටිනා වෙනත් රාජතාන්ත්‍රික දූත මණ්‌ඩල විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග උනුව ද කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ හැක්‌කේ අදාළ නීති රීතිවලට අනුවයි.

ජාතික කොඩියේ අවභාවිත අවස්‌ථා

කිසිවක්‌ හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් පහත් කිරීම නොකළ යුතුය.

ජාතික කොඩිය කිසිම අවස්‌ථාවක බිම නොතැබිය යුතුය. ජාතික ධජය පෙරහැරක ගෙන යැමේදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස්‌ ලෙස රැගෙන යා යුතු නොවේ.

වෙනත් වර්ගයේ කොඩි පෙළක්‌ ඇති විට එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන යා යුතුය.

වෙනත් කොඩියක්‌ සමඟ පෙරහැරක ගෙනයද්දී ජාතික කොඩිය තැබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි.

ධජය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස සැලෙන පැත්තෙන් නොවේ. නූලකින් එසවීම අනුචිතය.

කොපුවෙන් කොඩිය ඔසවන විට කොඩි කණු ලම්බාකාරව හෝ කෝණාකාරව තිබිය යුතුය.

ජාතික කොඩිය ඔසවන අවස්‌ථාවේ දී සියලු දෙනා නැගී සිට සීරුවෙන් කොඩියට මුහුණ දිය යුතු අතර දුම්බීම ආහාරපාන ගැනීම කතා කිරීම සිනාසීම හෝ නොකළ යුතුය.

හමුදා නිල ඇඳුමෙන් සැරසුණු අය අදාළ සේවා නියෝග අනුව ආචාර කළ යුතුය.

චාරිත්‍රානුකූලව මඟුල්බෙර වාදනය හා ශංඛ නාද පැවැත්විය යුතු වුවත් වෙනත් කිසිදු සංගීතයක්‌ වාදනය නොකළ යුතුය.

හානියට පත්වූ හෝ අවලක්‌ෂණ වූ හෝ ජාතික ධජයක්‌ ප්‍ර්‍රදර්ශනය නොකළ යුතුය.

මල් හෝ මල්දම් හෝ ලාංඡන ඇතුළු අන් කිසිවක්‌ ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගහ මත හෝ ඊට ඉහළින් නොතැබිය යුතුය.

ජාතික කොඩිය මල් වැල්, ලිය වැල, පීත්ත පටි, මල්, හෝ සැරසිලි ධජ, පතාකාදිය ලෙස හෝ වෙනත් කිසිදු ආකාරයක සැරසිල්ලක්‌ ලෙස භාවිත නොකළ යුතුය.

ජාතික කොඩියේ පෙනුම ගෙන දෙන පරිදි වෙනත් පාට රෙදි කැබලි පිළියෙල කර තැබීම නොකළ යුතුය.

කථිකයෙකුගේ මේස ආවරණයක්‌ ලෙස හෝ කථික වේදිකාවක්‌ මතින් රැලි පහතට වැටෙන සේ ආවරණය කිරිම පිණිස ජාතික ධජය භාවිත නොකළ යුතුය.

කිසිම අවස්‌ථාවකදී ජාතික කොඩියේ සිංහයා උඩු යටිකුරු ආකාරයෙන් ප්‍රදර්ශනය නොකළ යුතුය.

ජාතික කොඩිය පොළොව ස්‌පර්ශ වීමට හෝ ජලය මත ඇදීයාමට ඉඩ නොතැබිය යුතුය.

ජාතික කොඩියට හානිවන කිසිදු ආකාරයකින් එය ඔසවා තැබිය යුතු නොවේ.

ජාතික ධජය පෙළපාලියකට අයත් සංදර්ශන රථයක ප්‍රදර්ශනය කිරීමේදී කොඩි ගසක පමණක්‌ සවි කර ප්‍රදර්ශනය කළ යුතුය.

ජාතික ධජය කිසිම අවස්‌ථාවකදී අඳින ඇඳුමක්‌ සිවිලිම් ආවරණයක්‌ හෝ ඇතිරිල්ලක්‌ හෝ ආස්‌තරයක්‌ ලෙස භාවිත නොකළ යුතුය. (රාජ්‍ය හමුදා අවමංගල්‍යයකදී භාවිත කළ හැක)

මල් වැලක්‌ ලෙස හෝ රැලි කොට හකුළා හෝ උඩට ඇදීමක්‌ නොකළ යුතු අතර සැම විටම නිදහසේ එල්ලෙමින් තිබීමට ඉඩ හැරිය යුතුය.

ජාතික ධජය පහසුවෙන් ඉරී යැමට කිලිටිවීමට හෝ හානියට පත් වීමට ඉඩ ලැබෙන පරිදි සවි කිරීම ප්‍රදර්ශනය කිරීම ගබඩා කර තැබීම නොකළ යුතුය.

ජනාධිපති ආඥාවෙන් සිදු කෙරෙන යුද හමුදා රෙජිමේන්තු සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානයකදී හැර කිසිම සලකුණක්‌ විශේෂ ලාංඡනයක්‌ අකුරක්‌ වචනයක රූපයක මෝස්‌තරයක්‌ පින්තූරයක්‌ හෝ චිත්‍රයක්‌ ජාතික කොඩිය මත තැබීම නොකළ යුතුය.

කිසියම් දෙයක්‌ දැමීම දමා තබාගැනීම ගෙන යැම හෝ ගෙන ගොස්‌ භාරදීම සඳහා උපයෝගි කරගනු ලබන මල්ලක්‌ හෝ බඳුනක්‌ ලෙස භාවිත නොකළ යුතුය.

කිසිම ආකාරයක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය යොදා නොගත යුතුය.

කිසිම ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය භාවිත කළ යුතු නොවේ.

කොට්‌ට මෙට්‌ට ලේන්සු හා වෙනත් එවැනි භාණ්‌ඩවල ගෙත්තම් කිරීම සඳහා ද කඩදාසි අත පිස්‌නා පෙට්‌ටි හෝ තාවකාලික භාවිතයෙන් ඉවත දමනු සඳහා සකසන යමක මුද්‍රණය කිරීම හෝ වෙනත් ආකාර සටහන් ගැනීමට ජාතික කොඩි සලකුණ යොදා නොගත යුතුය.

ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙළඳ දැන්වීම් කිසිවක්‌ සවි නොකළ යුතුය.

ජාතික ධජය කිසිම වාහනයක වහල මුදුන දෙපස හෝ පසුපස ආවරණය කිරීම සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය.

ජාතික කොඩියේ කිසිම කොටසක්‌ කිසිම විටක ඇඳුමක්‌ හෝ ක්‍රීඩා ඇඳුමක්‌ ලෙස පාවිච්චි නොකළ යුතුය.

ජාතික කොඩියේ නිරූපණයක්‌ අවසර රහිතව භාවිත කිරීම තහනම් ය.

හානි වූ අවර්ණ වූ අපවිත්‍ර වූ ජාතික කොඩිය කෞතුක භාණ්‌ඩ රැස්‌ කරන්නෙකු හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීම හැර එය අගෞරව ලෙස විනාශ නොකළ යුතුය.

පිළිස්‌සීමෙන් හෝ ගරුත්වය රැකෙන වෙනත් ක්‍රමයකින් එය අප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුය. (ජයවර්ධන 2004).

ජාතික ධජය පරිහරණයේදී අව භාවිතයෙන් වැළකී එහි ගෞරවය රැකෙන අයුරින් නිවැරැදිව භාවිත කිරීම සියලුම ජාතීන්ගේ වගකීම මෙන්ම යුතුකමද වන්නේය. මක්‌නිසාද යත් ඒ මගින් රටේත්, ජාතියේත් ගෞරවය රැකෙන හෙයිනි.

වර්තමානයේ භාවිත කරනු ලබන සිංහ සංකේතය සහිත ශ්‍රී ලාංකේය ජාතික කොඩිය ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ඩී.ආර්.විජේවර්ධනයන්ගේ දේශ හිතෛශී ක්‍රියාකලාපය නිසා සොයාගත් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ රාජකීය සිංහ ධජයේම සංස්‌කරණයකි. එනිසාම සිංහල ජාතියේ අතීත ශ්‍රී විභූතිය අභිමානයෙන් යුතුව ලොවට පෙන්වීමට ඇති ජාතියේ ප්‍රබලතම සංකේතය ශ්‍රී ලාංකේය සිංහ ධජය යෑයි පැවසීම යුක්‌ති යුක්‌ත වන්නේය.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

1. ජයවර්ධන. ඩබ්ලියු. 2004,ජාතික කොඩියේ ශ්‍රී ලාංකීය අභිමානය සහ ජාතික සංකේත, ජයවර්ධන ග්‍රන්ථ කේන්ද්‍රය, ගම්පහ.

2. නොක්‌ස්‌, රොබට්‌, 1995 එදා හෙළ දිව, එම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ

3. බස්‌නායක, එච්. ටී. 2005, ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය 03 (ඉංග්‍රීසි පාලන සමය), එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.

4. මහාවංශය (සිංහල), 2004 සංස්‌. කිරම විමල ජෝති හිමි, බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල.

5. රෝහණදීර, මැන්දිස්‌. 1998. නිශ්ශංකමල්ල, තරංජි ප්‍රින්ටර්ස්‌, මහරගම.

6. වාව්වගේ, සුමනසිරි, 2005. දුට්‌ඨගාමි, අභය මහරජ, කර්තෘ ප්‍රකාශන.

7. සිංහල විශ්ව කෝෂය, 8 වෙනි කාණ්‌ඩය, 1994, සංස්‌. කේ. එන්. ඕ. ධර්මදාස. සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8. සුරවීර, ඒ. වී. 2002. අනුරාධපුර සංස්‌කෘතිය, එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.

9. සෙනෙවිරත්න, අනුරාධ, 1998. පොළොන්නරුව (ලක්‌දිව මධ්‍යකාලීන අගනගරය). පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුව. කොළඹ.

10. හේරත්. බී. පියල්, 1988. ජාතික කොඩිය සහ ජාතික ගීය. එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.