සංස්‌කරණය : නාරද නිශ්ශංක

කොටි ත්‍රස්‌ත්‍රයන්ගේ කෲරත්වය පෙන්වන
'රූපාන්තරණ' ජාත්‍යන්තරයට
ගෙනයා හැකි නම්......

- නාලක විතානගේ

ත්‍රස්‌තවාදීන්ගේ කෲරත්වය පෙන්වා දෙන "රූපාන්තරණ" ඉදිරි දිනවලදී තිරගත කිරීමට නියමිතය. "රූපාන්තරණ" තරුණ සිනමාකරුවකු වන නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කළ දෙවැනි චිත්‍රපටයයි. "අනිත්‍යා" ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණයයි. නාලක ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු මෙන්ම රංගන ශිල්පියකු වන බන්දුල විතානගේ ගේ පුත්‍රයා ය. "රූපාන්තරණ" ආදර කතාවකි. ඔස්‌ටේ්‍රලියාවේ වෙසෙන සිංහල, දෙමළ තරුණ ජීවිතවල තුන්කොන් ප්‍රේම කතාවකි. එහෙත් ඊට යටින් ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරකම්ද හෙළි කෙරේ. ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙනිය, ඇන්ජලා සෙනෙවිරත්න, රන්ජන් රාමනායක, දමිතා අබේරත්න, තිස්‌ස විඡේසුරේන්ද්‍ර, සාරංග දිසාසේකර සහ නයනා කුමාරි මෙන්ම සිනමාවට හඳුන්වාදෙන අමිල කරුණානායක, ෂෙලා නැතෑලියන්, මිලින්ද මඩුගල්ල සහ කැලුම් කුලරත්න "රූපාන්තරණ" හි රඟති. කලා අධ්‍යක්‍ෂණය රෝහණ හේවාවිතාරණය. අංග රචනය බුවනෙක රණවක ගෙනි. සංස්‌කරණය ඒෂාන් මොටාගෙදරද, ආලෝක කරණය ඉන්දික ලක්‌මාල් ද සිදුකර ඇත. කැමරාව සමිත් අලහකෝන්ය. නිෂ්පාදනය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුය. සංගීතය ළහිරු පෙරේරාය. ළහිරුගේ ප්‍රථම සිනමා සංගීතය අධ්‍යක්‍ෂණය මෙය වන අතර ඔහු සහ අභිෂේකා විමලවීර, සංගීත් වික්‍රමසිංහගේ පුත් තනුක වික්‍රමසිංහ ගී ගයති.

සිය දෙවැනි සිනමා නිර්මාණය "රූපාන්තරණ" පිළිබඳව එහි තිර රචක හා අධ්‍යක්‍ෂ නාලක විතානගේ දැක්‌වූයේ මෙවන් අදහසකි.

මගේ පළමු නිර්මාණය "අනිත්‍යා" සමග සසඳද්දී "රූපාන්තරණ" ශෛලිය වෙනස්‌. මම හිතනවා ඒක ලොකු වෙනසක්‌ කියලා. අපි "රූපාන්තරණ" ඔස්‌සේ කතා කරන්නේ කාලීන කතාවක්‌. ඩයස්‌පෝරාවේ ප්‍රශ්න ගැන, නැවත තර්ජන ඇතිවිය හැකිය යන අනතුරු හැඟවීම මෙමගින් සිදු කෙරෙනවා.

"රූපාන්තරණ" ඔස්‌සේ නව එල්.ටී.ටී.ඊ. ය ගැනද කතා කරන්නේ...?

එල්.ටී.ටී.ඊ. කියා නම් කරන්නේ නෑ. ඒත් ඔවුන් ත්‍රස්‌තවාදීන් නේ. ත්‍රස්‌තවාදය ගැනයි කතා කරන්නේ. ත්‍රස්‌තවාදීන්ව විශ්වාස කරන්න, පිළිගන්න බෑ කියන මතය ලෝකය පිළිගත් න්‍යායක්‌. පෝලන්ත නාට්‍යයක්‌ තියෙනවා "ද පොලිස්‌" කියා. ත්‍රස්‌තවාදය නතර වන්නේ නෑ. "රූපාන්තරණ" ඔස්‌සේ මම කියන්නේ ඒකයි

ඔබ හිතනවද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙම මාර්තුවේදී රැස්‌වීමට පෙර "රූපාන්තරණ" තිරගත කිරීම කළ යුතුයි කියා...?

අපේ රටට එරෙහිව විශාල සංවිධානයක්‌ හැදෙනවා. ජිනීවාහි ප්‍රශ්න ඇති කරන්නේත් ඊළම දිනා ගන්නයි. නැවතත් ත්‍රස්‌තවාදය ඇති කිරීමේ අවදානමක්‌ තියෙනවා. මම මේ චිත්‍රපටය රූගත කළේ යාපනයට ගිහින්. යාපනය සාමකාමීයි. අපේ රටට සාමය ඇවිත්. ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙනවා. යුද්දෙදි අපේ හමුදාවන් මානව හිමිකම් කැඩුවා කියනවා. ඒත් එල්.ටී.ටී.ඊ. යෙන් කළ හානිය, කඩපු මානව හිමිකම් ගැන කිසිම කෙනෙක්‌ කතා කරන්නේ නෑ, "රූපාන්තරණ" ඔස්‌සේ ත්‍රස්‌තවාදීන්ගේ කෲරකම් සම්පූර්ණයෙන්ම පෙන්වනවා. ආදර කතාවක්‌ වුණත් එක්‌තරා තැනකදී එය වෙනස්‌ වී ත්‍රස්‌තවාදීන්ගේ කෲරත්වය පෙන්නුම් කරනවා. අපට මේ චිත්‍රපටය ජාත්‍යන්තරයට ගෙන යා හැකි නම් හොඳයි. මම ඒ සඳහා උත්සාහ කරනවා. එය කොතෙක්‌ දුරට සාර්ථක වේවිද කියා කියන්න බෑ.

අජිත් අලහකෝන්

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.