සංස්‌කරණය : නාරද නිශ්ශංක

සිංහල සිනමාවේ චරිත ගවේෂණ කලාව

67 වසරක්‌ සපිරුණ සිංහල සිනමාව දෙස ආපසු හැරී බැලීමේදී අපේ විමසුම් ඇස යොමුකළ යුතු එක්‌ විශේෂ කරුණක්‌ කෙරෙහි අවධානය යොමුකිරීම මෙම ලිපියේ මූලික අරමුණ බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි. එම විශේෂී කරුණ නම් "චරිත ගවේෂණ සිනමා කලාව" තවමත් අපට ආගන්තුක ද යන්නය. මා මේ ප්‍රශ්නය මතු කරන්නේ එදා මෙදා තුර තිරගතවූ චිත්‍රපට දහසකට වැඩි ප්‍රමාණයකින් "චරිතාංග" නිරූපිත සිනමාපට අපට ඇත්තේ ඉතාමත් අතළොස්‌සක්‌ වන බැවිනි.

"වීරත්වය" මතු කෙරෙන පහළ සමාජ පසුබිමකින් එන චරිත පාදක කරගත් චිත්‍රපට

රැසක්‌ම සිංහල සිනමාව සතුය. ඒවා බොහොමයක්‌ම සමාජ කැරලිකාරත්වය වෙත ස්‌ථානගත වූ චරිත මත ගොඩනඟන ලද ඒවාය. එසේම එකී චරිත එදා සමාජයේ කතාබහට හා අවධානයට ලක්‌වූ සත්‍ය චරිත වීමද විශේෂත්වයකි.

"සත්‍ය චරිත හා සිදුවීම්" පසුබිම් කොට නිෂ්පාදනය වූ චිත්‍රපට අපට මෙහිදී කොටස්‌ පහකට වර්ගකොට විමසා බැලිය හැකිය. එහි පළමුවැන්න පහළ සමාජ පන්තියෙන් නැඟී ආ සමාජ විරෝධී පුද්ගල චරිතය. දෙවැන්න "ප්‍රසිද්ධ මනුෂ්‍ය ඝාතන හා මංකොල්ලකෑම්වලට" අදාළ චරිත

රැගත් චිත්‍රපටය. දෙස්‌ විදෙස්‌ වශයෙන් ප්‍රසිද්ධියක්‌ උසුලන පුද්ගල චරිත තුන්වැන්න ලෙසට වර්ග කළ හැකියි. හතරවැන්න ඓතිහාසික වශයෙන් පතළ වැදගත් චරිත වන අතර පස්‌වන කොටසට අයත් වන්නේ ආගමික නායකයන්ගේ චරිත වේ. මේ අංශ පහම නියෝජනය කරන චිත්‍රපට කීපයක්‌ම සිංහල චිත්‍රපට වංශ කතාවට එක්‌වී තිබෙන බව මෙහිදී සඳහන් කළ යුතුව තිබේ.

මෙම චිත්‍රපට ධාරාවන් දෙස වඩාත් ඕනෑකමින් විග්‍රහ කොට බලද්දී අපට පෙනී යන එක්‌ වැදගත් සාධනීය කරුණක්‌ වන්නේ පහළ සමාජ පන්තියේ වීරයන් වූ එම චරිත සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත වූවන් බවය. ඔවුන් පොදු නීතිය කඩා බිඳ දැමූ පුද්ගලයන් බවය. මේ අන්දමින් ප්‍රකට සමාජ විරෝධී චරිතයක්‌ නිරූපිත ප්‍රථම සිංහල චිත්‍රපටය වූයේ 1954 දී තිරගත වූ සරදියෙල් ය. ඔහු ඉංග්‍රීසින්ට විරුද්ධව නැඟී සිටි පහළ ජනතා පන්තියේ වීරයකු විය. චිත්‍රපටය තුළින් උත්සාහ දරා තිබුණේ සරදියෙල් මංකොල්ලකාරයකු කරන්නට නොව ජනතා විරයකු ලෙස ඔසවා තබන්නටය. මෙම චරිතයට පාදක කොට 1986 වසරේදී "සරදියෙල්" නමින්ද චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කොට තිබේ. මෙකී සිනමා දහරාවට අයත් තවත් චිත්‍රපට කීපයකින්ම සිංහල සිනමාව පෝෂණය වී තිබේ. ඒවා නම් "සිරිපාල හා රන්මැණිකා", "මරුවා සමග වාසේ", "යකඩයා" සහ "චණ්‌ඩි විඡේ" ය. එදා සමාජයේ ජීවත් වූ සැබෑ චරිත මෙම චිත්‍රපට මගින් නිරූපිත කරන්නට ඒවායෙහි අධ්‍යක්‍ෂවරු උත්සාහ දරා තිබිණ. සාමාන්‍යයෙන් සැබෑ චරිත රැගත් චිත්‍රපටවලට වැඩි ප්‍රේක්‌ෂක ආකර්ෂණයක්‌ තිබීම මෙබඳු චිත්‍රපට නිෂ්පාදනය කරන්නට ඔවුන් පොළඹවන ලද ප්‍රධාන හේතුව ලෙසට සැලකිය හැකිය.

අමරනාත් ජයතිලක අධ්‍යක්‍ෂණය කළ "සිරිපාල හා රන්මැණිකා" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සමාජ කැරැලිකාරත්වයට යොමුවූ පුද්ගලයකු වුවද ඔහු තුළ යහපත් මනුෂ්‍ය ගුණධර්මයන්ද තිබූ බව ප්‍රකාශ කරන්නට එහි තිර නාටකය ලියූ ධර්මසිරි ගමගේ විසින් උත්සාහ දරා තිබිණ. රවීන්ද්‍ර රන්දෙනිය ඉතා මැනවින් "සිරිපාල ගේ" චරිතයට පණදුන් අතර "මැණිකාගේ" චරිතය නිරූපණය කළේ මාලිනී ෆොන්සේකාය.

"යකඩයා" චිත්‍රපටය ගැනෙන්නේ මා මෙහි මුලින් සඳහන් කළ වර්ගීකරණයේ දෙවැනි කොටසට යෑයි සිතමි. එනම් "යකඩයා" සමාජගතව සිටියේ වීරයකු වශයෙන් නොව දාමරික, පුද්ගලයකු ලෙසටය. ඔහු මිනීමැරුවෙක්‌ ලෙසටද ප්‍රසිද්ධව සිටියේය. ඔහු මෙරට ජීවත්a වූ ඇත්තම පුද්ගලයෙකි. ඔහුගේ සැබෑ නම එස්‌. ඒ. ජිනදාසය. මෙම චිත්‍රපටයේ යකඩයාගේ චරිතයට පණ දුන්නේ ප්‍රවීණ රංගධරයකු වූ ගාමිණී ෆොන්සේකාය.

"සිරිපාල" සහ "යකඩයා" යන චරිත දෙකම එක්‌තරා සමාජ වකවානුවක දී සමාජ ප්‍රතිවිරෝධයක්‌ හරහා බිහිවූ පුද්ගලයන් දෙදනකු ලෙසට අපට පැහැදිලිව පෙනී යයි. එදා ශ්‍රී ලාංකීය සමාජ දේහය තුළ මෙම චරිත දෙක අත්කරගෙන තිබූ ජනප්‍රිය භාවයද මෙම චිත්‍රපට දෙක නිර්මාණය වන්නට තුඩුදුන් බව සැබෑය.

මෙබඳු චරිත රැගත් මෙකී චිත්‍රපට දහරාවේ සමාජ ලක්‌ෂණ ගැන විවරණයක යෙදෙන මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතාගේ එක්‌ ප්‍රකාශයක්‌ මෙහි උපුටා දක්‌වන්නට කැමැත්තෙමි.

සමාජයේ එක්‌තරා අන්දමකට අසාධාරණයට ලක්‌වූ යුක්‌තිය වෙනුවෙන් සටන් කරන පහළ ජන සමාජයේ උදවියයි. එදා සිංහල චිත්‍රපට අතරින් වීරයන් ලෙස මතු වුණේ බටහිර සිනමාවේත් මෙබඳු චරිත අපට දකින්නට පුළුවන්. "ඇල්කැපෝන්" නම් බටහිර දාමරිකයාගේ සැබෑ චරිතය පාදක කොටගෙන ඒ නමින්ම ඉංග්‍රිසි චිත්‍රපටයක්‌ නිපද වුණා.

පොදුවේ සලකා බලන විට එදා රිදී තිරයට එක්‌වූ මෙබඳු ස්‌වරූපයේ චිත්‍රපට මගින් සමාජයට ධනාත්මක පණිවුඩයක්‌ ලබාදීමට එම චිත්‍රපටවල අධ්‍යක්‍ෂවරු උත්සාහගත් බවක්‌ අපට විද්‍යමාන නොවේ. ඒවා තුළින් ලාංකීය සමාජ යථාර්ථය කලාත්මකව නිරූපණය වූ බවක්‌ද නොපෙනේ. හුදු ජනප්‍රියත්වය මූලික කොටගෙනම මෙබඳු සමාජ විරෝධී චරිත

රැගත් චිත්‍රපට නිෂ්පාදනය වූ බව මැදහත් විචාරකයන්ගේ මතය වේ.

පුද්ගල සමාජ කැරැලිකාරී චරිත කේන්ද්‍ර කර ගනිමින් මෙකී ජනප්‍රිය සිනමා ධාරාවට වෙනස්‌ මුහුණුවරක්‌ ගත් සිංහල චිත්‍රපට කීපයක්‌ ගැනද මෙහිදී අපගේ අවධානය යොමු වේ. මෙම චිත්‍රපට සඳහා ද පාදක කොටගෙන ඇත්තේ එදා සමාජයේ ජීවත් වූ සැබෑ චරිත වීම විශේෂත්වයකි. එහෙත් එම චරිත සිනමාව සඳහා ප්‍රති නිර්මාණය වූයේ කලාත්මක රීතියකින් වීම විශේෂත්වයකි. එම චිත්‍රපට තුළින් නරඹන්නාට කිසියම් යහපත් සමාජ චින්තනයක්‌ හා රසඥතාවක්‌ ලබාදෙන්නට එම චිත්‍රපටවලින් උත්සාහ දරා තිබිණ. පරාක්‍රම නිරිඇල්ල්ගේ "අයෝමා" ප්‍රසන්න විතානගේ ගේ "සිසිල ගිනිගනී", මොහාන් නියාස්‌ගේ "යශෝමා", සුනිල් ආරියරත්නගේ "සිරිබෝ අය්යා", මහගම සේකරගේ "තුංමං හන්දිය" මෙරට සත්‍ය සිදුවීම් පාදක කොට නිෂ්පාදනය වූ චිත්‍රපට ධාරාවෙන් වඩාත් සාධනීය ලක්‌ෂණ පෙන්නුම් කරන ලද්දේ මෙම වර්ගීකරණයේ දෙවැනි කොටසට අයත් වූ චිත්‍රපට බව කිව හැකිය. මෙහිදී ටයිටස්‌ තොටවත්තගේ "හාර ලක්‍ෂය", වසන්ත ඔබේසේකරගේ "දඩයම" හා "කැඩපතක ඡායා" සහ "පළඟැටියෝ" කැපී පෙනේ. "හාරලක්‍ෂය" චිත්‍රපටය මුදල් මංකොල්ලකෑමක්‌ පිළිබඳ සංසිද්ධියක්‌ මූලාශ්‍ර කොට හැදූ චිත්‍රපටයක්‌ වුවද එහි ඉන් එහාට ගිය මනුෂ්‍යත්වය හා සමාජය පිළිබඳව ගැඹුරු දැක්‌මක්‌ද විශද කරවීමට උත්සාහ දරා තිබේ. මිනීමැරුම් තේමා කරගනු ලැබූවද මෙම චිත්‍රපටවලින් අප දුටු ප්‍රධාන ගුණාංගය වන්නේ ඒවා අපරාධයම ඉස්‌මතු කිරීමට ඉදිරිපත් නොවී ඒ වෙනුවට මිනිස්‌කම හා සමාජ තලය පිළිබඳව ගැඹුරු දැක්‌මක්‌ පිළිබිඹු කිරීමට එම චිත්‍රපටවල අධ්‍යක්‍ෂවරු උත්සාහ දරා තිබීමය.

ගාමිණී ෆොන්සේකාගේ "සාගරයක්‌ මැද" වැනි චිත්‍රපටයකින් ඔහු වෑයම් කොට තිබුණේ සෘජුවම දේශපාලන චරිතයක අභ්‍යන්තර ක්‍රියා කලාපය රිදී තිරය තුළ ප්‍රති නිර්මාණය කිරීමටය. එවකට සිටි අමාත්‍යවරයකු වූ පීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතාගේ චරිතය ඉන් නිරූපණය කිරීමට ගාමිණී උත්සාහ දරා තිබූ අතර ඔහු එම චරිතයටද ඉතා දක්‌ෂ ලෙස ප්‍රාණය දුන්නේය.

සත්‍ය චරිත පදනම් කරගෙන සිංහල සිනමාවට නැඟුණු තවත් චිත්‍රපට ධාරාවන් දෙකක්‌ දෙසට දැන් අපේ අවධානය යොමු කරමු. ඒ ඓතිහාසික චරිත හා ආගමික චරිත මූලික කොටගෙන නිෂ්පාදනය කළ චිත්‍රපටය. අශෝක මාලා සහ පුරන් අප්පු මුල් යුගයේ සිනමාවට එක්‌වූ ඓතිහාසික චරිත රැගත් චිත්‍රපට ලෙසට අපගේ අවධානයට ලක්‌වේ. (පසුකාලීනව මෙම ධාරාවේ චිත්‍රපට රැසක්‌ම සිංහල සිනමාවට එක්‌වී තිබේ.) "ක්‍රිස්‌තුස්‌ වහන්සේ" මූලික කොට සුනිල් ආරියරත්න හැදූ "ක්‍රිස්‌තු චරිතය" විජය කුමාරතුංගයන් රඟපෑ අතර එය ආගමික චිත්‍රපට ධාරාවේ දෙවැන්න වූ අතර පටාචාරා පළමුවැන්න විය. මෙම චිත්‍රපට ධාරාවන් දෙකම සිනමානුරූපී අතින් මෙන්ම කලාත්මක අතින්ද එතරම් ප්‍රශස්‌ත මට්‌ටමේ නිර්මාණ නොවීය. පසුකාලීනව "අබා, කුවේණි, උත්පල වණ්‌ණා, සිද්ධාර්ථ ගෞතම, කුස පබා" වැනි චිත්‍රපටද සිංහල සිනමාවට එක්‌වූ බව මෙහිදී අමතක නොකළ යුතුය. මේ මෑතකදී "දළදාවතරණය" චිත්‍රපටය තිරගත වූ අතර ඉදිරි දිනවලදී ජයන්ත චන්ද්‍රසිරිගේ "දුටුගැමුණු චරිතය" රැගත් චිත්‍රපටය රිදී තිරයට ගෙන ඒමට බලාපොරොත්තු වේ.

ආගමික හා ඓතිහාසික ධාරාවේ චිත්‍රපට

රැළි දෙකක්‌ සිංහල සිනමාව තුළ අද හිස ඔසවන්නට තුඩු දුන් හේතු කාරණා අතර මුලින්ම ඉදිරියට එන්නේ වාණිජ අරමුණු බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම කතා වස්‌තු හා මෙකී චරිත ඉතා පහසුවෙන් "මාකට්‌ කළ හැකි බව මෙම චිත්‍රපටවල නිෂ්පාදකවරු හා අධ්‍යක්‍ෂවරු දනිති.

හැටේ දශකයේ අග භාගයේ දී තිරගත වූ එල්. එම්. පෙරේරා ගේ සතර මහා නිධානය මෙකී චිත්‍රපට රැල්ලේ මුල් ආරම්භය විය. "දඹදිව සිද්ධස්‌ථාන වන්දනා කිරීම" ඔහු සිය චිත්‍රපටයට අන්තර්ග්‍රහණය කළේ මෙරට උපාසක උපාසිකාවන් ඉලක්‌ක කොට බව ඉතා පැහැදිලිය. ව්‍යාජ බුද්ධාලම්භන ප්‍රීතිය ඉස්‌මතු කොට මුදල් ගරා ගැනීම එල්. එම්. ගේ අභිප්‍රාය විය. එය ඉතා සාර්ථක වූ බවද කිව යුතුව තිබේ.

අපේ ඓතිහාසික පුරා වෘත්තයන් හා ඊට අදාළ චරිත සිනමාව තුළින් ප්‍රති නිර්මාණය කිරීමට එක්‌වී සිටින අපේ වර්තමාන සිනමාකරුවන්ගේද අරමුණ මෙයට බෙහෙවින් සමීප බව මැදිහත් සිනමා විචාරකයන්ගේ මතයයි. එල්. එම්. පෙරේරා ට වඩා ඔවුන් වෙනස්‌ වන්නේ එම අය පෙනී සිටින "විදග්ධ මුහුණුවරින්" පමණි.

- නිව්ටන් ගුණසේකර

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.