කෙළින්ම ඉන්දියාවට යා හැකිවන ලෙස
උතුරු සභාව ගුවන් හා නැව් සේවා ඉල්ලයි
- යෝජනා 3 ක්‌ සම්මත කරගනී

දිනසේන රතුගමගේ

යාපනයේ පලාලි සහ ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් තොටුපොළවල සිට ඉන්දියාවට සෘජු ගුවන් ගමන් වාර ආරම්භ කිරීම, තලෙයිමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් දක්‌වා නැව් සේවයක්‌ ඇරැඹීම හා කන්කසන්තුරේ වරාය වාණිජ වරායක්‌ ලෙස වැඩි දියුණු කොට ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එන නැව් එම වරායට ගෙන්වා ගැනීම සඳහා වූ යෝජනා තුනක්‌ පෙරේදා (18 දා) පැවැති උතුරු පළාත් සභා රැස්‌වීමේදී ඒකමතිකව සම්මත කොටගෙන ඇත.ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ උතුරු පළාත් සභාව විසින් සම්මත කරගනු ලැබූ එම යෝජනා මෙසේය.

යාපනයේ පලාලි සහ ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් තොටුපොළවල සිට ඉන්දියාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කළ යුතුය.

උතුරු දුම්රිය මාර්ගය තලෙයිමන්නාරම දක්‌වා දීර්ඝ කොට ඇති බැවින් තලෙයිමන්නාරමේ ජැටියේ සිට දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් අතර නැව් සේවයක්‌ ඇරැඹිය යුතුය.

කන්කසන්තුරේ වරාය පුළුල්කොට වාණිජ වරායක්‌ ලෙස සංවර්ධනය කළ යුතුය. ඉන්දියාවේ සිට පැමිණෙන නැව් කෙළින්ම කන්කසන්තුරේ වරායට ගෙන්වා ගැනීමට පියවර ගත යුතුය.

මෙම යෝජනා මගින් රැකියා අවස්‌ථා 10,000 ක්‌ පමණ බිහිකළ හැකි අතර එයින් උතුරේ හා නැගෙනහිර තරුණ තරුණියන්ට රැකියා අවස්‌ථා ලබාදිය හැක.

එමෙන්ම මෙම යෝජනා ක්‍රියාත්මක වුවහොත් උතුරු පළාත් සභාවට විශාල ආදායමක්‌ ගුවන් සමාගම් හා නැව් සමාගම් මගින් බදු හා ගාස්‌තු වශයෙන් ලබාගත හැකි බවත් එයින් උතුරු නැගෙනහිර සංවර්ධනය කළ හැකි බවත් මෙහිදී ප්‍රකාශ විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.