නවකතාවල දෘෂ්ටිමය මැදිහත්වීම්
විරල දෙයක්‌ නොවේ
පී.බී. ජයසේකර

සංවාදය - ලක්‌මාල් බෝගහවත්ත

'කොටියා' සහ 'ගොදුර අහිංසකයි' යනුවෙන් කෙටිකතා ද්වයක්‌ හා පරිවර්තන කෘති කිහිපයක්‌ පළ කර ඇති පී.බී. ජයසේකර ගේ කුළුඳුල් නවකතාව 'මරියා සිලොනිකා වස්‌තුව' වේ. 'වටමඬල' මේ සංවාදය ඔහුගේ නවතම කෘතිය පිළිබඳවයි.

කෙටිකතාව සහ පරිවර්තනය ප්‍රකාශන මාධ්‍ය ලෙස භාවිත කළ ඔබ නවකතාකරණයට පිවිස තිබෙනවා. එම සාහිත්‍යාංග අතුරෙන් නවකතාව නමැති සාහිත්‍යාංගය ඔබට දැනෙන්නේ කෙලෙසින්ද?

ජගත් කලා මාධ්‍යයන් අතරේ කවිය සහ චිත්‍රය සේම කෙටිකතාවත් අතිශයින් ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්‌. නමුත් ඒවාට එකිනෙකට ආවේණික ලක්‍ෂණ තිබෙනවා. කෙටිකතාවක්‌ කෙටි වුවත් දිගු වුවත් එයට ඊටම උරුම වූ සීමාවක්‌ තුළ පිහිටනවා. නවකතාවටත් නවකතාව තුළ සීමා ගොඩනැඟෙනවා. නමුත් නිර්මාණකරුට එම සීමා පුළුල් කරගන්න පු`ඵවන්. ජගත් නවකතාවට විෂය වන ක්‍ෂේත්‍ර, එම නවකතාකරුවන් තම නිර්මාණ ගෙතුම සඳහා අනුගමනය කරන ආකෘතීන් බොහෝ විෂමාකාරයි. උදාහරණයකට ගත්තොත් 1922 තරම් එපිට කාලයකදී පවා ඡේම්ස්‌ ජොයිස්‌ Ulysses තුළ විශාල ආකෘතික හරඹයක යෙදෙනවා. නවකතාවේ පිටු සියයකට වැඩි ප්‍රමාණයක්‌ වියෑවෙන්නේ නාට්‍යමය ආකෘතියකින්. නවකතාවට විෂය වන කරුණු ඔස්‌සේ ඇතැම්විට පාඨකයාට දරාගන්න බැරිතරමට එනම් වාර්තාමය නවකතා යෑයි විසිකරන තරමට බොහෝ දුරයනවා. Umberto Eco ගේ The Name of the Rose නවකතාවේ දෙබස්‌ ඔස්‌සේ ආගමික නිකාය ඉතිහාසය දිගින් දිගට කියවනවා. මනා හික්‌මීමකින් තොරව පොත කියවනවා නම් කියවීම මගදී අත්හැර දානවා. නමුත් එය ලෝකය පිළිගත් විශිෂ්ට නවකතාවක්‌. පරිවර්තන වැදගත් වන්නේ එවිටයි. ජගත් සාහිත්‍යය කෙබඳු ද කෙසේ ද හ`දුනාගන්න.

'මරියා සෙලොනිකා වස්‌තුව' යන නම නවකතාවකට වඩා පරිවර්තන කෘතියකට යෙදුණු නමක්‌ ලෙසිනුයි හැඟෙන්නේ. නවකතාවට මෙම නම යෙදීමේ පසුබිම කුමක්‌ද?

නවතෙස්‌තමේන්තුවේ එන දෙවැනි ප්‍රධාන ස්‌ත්‍රී චරිතය යේසු ශ්‍රාවකයකු වන මරියා මැග්ඩලීනා. ඇය යේසුස්‌ වහන්සේගේ බිරිඳ ලෙස ඇතැමුන් සලකනවා. ඇය වෛශ්‍යාවක්‌ යෑයි මතයක්‌ තිබෙනවා. මගේ නවකතාවේ කරුණාපාල පරිවර්තනය කරන්නේ ජර්මන් ජාතික හෙබෙල්ගේ මරියා මැග්ඩලීනා නාට්‍යයයි. ඒ මැග්ඩලීනයේ සිට පැමිණි මරියායි. මට අවශ්‍ය වුණේ ඇය ලංකාවේ ජීවත්වන මරියා කරන්නයි. පුරාවිද්‍යාවේදී ලංකාවට ආවේණික යමක්‌ කීමට Epigraphia Zeylanicafia Zeylanica යන්න යොදාගන්නවා. ජීව විද්‍යාවේදීත් ලාංකීය සම්භවය දැක්‌වීමට Mangifera Zeylanica යන්න යොදාගන්නවා. ඇටඹ සඳහා Mangifera Zeylanica කියන්නේ ඒකයි. ඒත් ශබ්දකරන්නේ සිලොනිකා ලෙසින් නම් නොවෙයි. කටට හුරු ආරයක්‌ වශයෙන් මම එහෙම යෙදුවා.

නවකතාවක චරිත නිරූපණය එහි සාර්ථකත්වයට ඉටුකරන මෙහෙවර සුවිශේෂියි. කෘතිය ආරම්භක සටහනේ සඳහන් කරන X, Y, Z සහ A නමැති චරිත නවකතාව තුළ ජීවමාන කිරීමට උත්සාහ දරා තිබෙනවා. මේ චරිත ඔබ පෞද්ගලිකව ඇසුරු කළ චරිතද? මේ කතාවේ සිදුවීම් ඔබගේ පුද්ගලික අනුභූතීන්ද?

දිනක්‌ එල්. ටී. ටී. ඊ. ප්‍රහාරකයන් බොහොම අමානුෂික ලෙසින් සිංහල ගමක්‌ වනසනවා. එදා උතුරට යන දුම්රියේ එන දෙමළ ජනතාව කපා කොටා මරන්න බලා සිටින සිංහල පිරිස්‌ දුම්රිය පලට රැස්‌වෙනවා. සිංහල දෙතුන් දෙනෙක්‌ මැදිහත්වෙලා පොලිසිය යොදවා එම දුම්රියේ එන දෙමළ පිරිස ඊට පෙර දුම්රිය පළෙන් බස්‌සවා බස්‌ රථවලින් ආරක්‍ෂිත තැන්වලට ගෙන යනවා. එක්‌ දෙමළ අයෙකු ඔවුන්ට මඟහැරෙනවා. ඔහු සිංහල ප්‍රහාරකයන් අතින් බිහිසුනු ලෙසින් මරුමුවට පත්වෙනවා. එම දෙමළ මිනිසාගේ අතින් මිදෙන මල්ලේ තිබී විසිවන පොඩි ළමයෙකුට ගෙත්තම් කළ නිල්පැහැ වූල් සපත්තුවක්‌ මා දකිනවා. නවකතාවේ එන මෙය එසේ මා දුටු සත්‍ය සිදුවීමක්‌. මම හිතන්නේ ඔබේ ඒ පැනයට එම පිළිතුරම ප්‍රමාණවත්.

නවකතාව ගොඩනැඟීමේදී භාවිත කර ඇති ආකෘතිය ජාතක කතා ආකෘතියට සමානයි. කතාව තුළ බහුලව දැකිය හැකි පෙර අපර ගැලපුම් එයට නිදසුන් ලෙස දැක්‌විය හැකියි. නූතන සිංහල නවකතාකරුවන් බටහිර නවකතා රීතීන් සොයායන සමයක ඔබ ආභාසය ලබන්නේ චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යයෙන්...

මා විදෙස්‌ සාහිත්‍ය කෘතීන් සේම මෙරට පැරැණි සම්භාව්‍ය සාහිත්‍ය පතපොතත් කියවනවා. ඔබ ප්‍රකාශ කළ පරිදිම ධම්ම පදයේ මෙන්ම ජාතක පොතේත් මෙවන් ආකෘති තිබෙනවා. මෙම නවකතාවට මා තෝරාගත්තේ එවන් ආකෘතියක්‌ තල කිහිපයක්‌ ඔස්‌සේ දිවෙන කතාන්දර කීමේ රටාවක්‌. ආකෘතිය සම්භාව්‍ය සාහිත්‍යට හුරු වුවත් නවකතාව සරල රේ‚යව නැතිව තල කිහිපයක්‌ ඔස්‌සේ දිවවීමට මා උත්සාහ කළා. හැබැයි ඒ විශ්ව සාහිත්‍යයේ නවකතාවෙන් ලැබූ ආභාසයක්‌. එක්‌ නවකතාවක්‌ තුළ තල කිහිපයක්‌ ඔස්‌සේ කතා කිහිපයක්‌ ගෙත්තම්කොට වියෑවීම. එම ශිල්පීය ක්‍රමය මා උගත්තේ ජගත් සාහිත්‍ය කෘතිවලින්.

ඔබ පෙර ප්‍රකාශ කළා, ඔබ හුඟක්‌ කියෑවීමට යොමුවුණු අයෙක්‌ බව. විශ්ව සාහිත්‍ය කෘති පරිශීලනයට යොමු වූ අයෙක්‌ බව. නූතන සාහිත්‍ය ප්‍රවණතා සිංහල නවකතාව ඇසුරෙහි භාවිත කළ යුත්තේ කෙසේද?

විශ්ව සාහිත්‍යයේ සීමා නිම්හිම් නැහැ. එහෙත් තවමත් අපේ සාහිත්‍යයේ සීමා තිබෙනවා. ඒක මා ටෝනි මොරිසන්ගේ Beloved සිංහලට නඟා ඉගෙනගත් පාඩමක්‌. 'ටයිම්' සඟරාව සහස්‍රයේ හොඳම නවකතා පහට තෝරපු පොතක්‌ ඒක. පොත ලියෑවෙන්නේ අසීරු ව්‍යාකූල ආරකින්. මගේ කල්පනාව The Name of the Roseසිංහලයට පරිවර්තනය කළ ඔහුත් ඒ පාඩම ඉගෙනගෙන ඇති. ඒ නවකතා සිංහල කියවන්නාට රුචිවුණේ නැහැ. ඒත් අමාරුවෙන් කියවාගත්තොත් රසයේ වෙනස තේරෙනවා. විශ්ව සාහිත්‍යයේ එවැනි ඇතැම් ප්‍රවණතා අපේ බොහෝ සාහිත්‍ය පාඨකයන්ට වැළඳගැනීමට තව ටික කාලයක්‌ යයි. ඒ සඳහා තව බොහෝ පොත් සිංහලට පරිවර්තනය විය යුතුයි. විශ්ව සාහිත්‍යයේ ඇතැම් පොත්වල විද්‍යාත්මක වාර්තා තිබෙනවා. රූප සහ ගණිත ගැටලු පවා තිබෙන නවකතාවක්‌ මා සිංහලට පරිවර්තනය කර ප්‍රකාශනය සඳහා විදර්ශනයට භාරදී තිබෙනවා. එහෙම ටික ටික අපේ පාඨකයා එම හැඩගැස්‌වීම්වලට හුරුකරන්න වෙනවා. බොහෝවිට අපේ කියවන පිරිස්‌ බලාපොරොත්තු වෙනවා සරල රේ‚ය කතාවක්‌. ඒක අපේ නවකතාවේ ප්‍රගමනයට බාධාවක්‌.

මෙම නවකතාව පුරා පී.බී. ජයසේකර නමැති කතුවරයාගේ මැදිහත්වීම දැකිය හැකියි. සරච්චන්ද්‍රගේ මනමේ නාටකය විශිෂ්ට කෘතියන් නොවන බව පැවැසීම ඊට උදාහරණයක්‌. සාහිත්‍යකරුවකු තම ප්‍රකාශනයට පුද්ගලික දෘෂ්ටිවාද යොදා ගැනීම කෙතරම් දුරට ගැළපෙනවාද?

'මනමේ ' පිළිබඳ වූ මේ කියමන ගැන මගෙන් කීප දෙනෙකුම අහනවා. එය මගේ ප්‍රකාශයක්‌ නොවේ. මෙම නවකතාවේ එම ප්‍රකාශය කරන්නේ කරුණාපාල. කරුණාපාල සුගතපාල ද සිල්වා පිළිබඳව ප්‍රශස්‌ත ප්‍රකාශයක්‌ කරනවා. කරුණාපාල තම නාට්‍යයන් ගොඩනඟන්නේ කෙසේ ද කියන එක පාඨකයා උදෙසා ඔහුගෙන් කියවෙන අවස්‌ථාවක්‌ ඒක. ඔහු පොදුජනතාව සඳහා නිර්මාණකරනයේ යෙදෙන්නෙක්‌. 'මනමේ ' පිළිබඳව මගේ අදහස්‌ මීට වෙනස්‌. චරිතයක්‌ ගොඩ නැ`ගීමේදී නිර්මාණකරුවාගේ යෙදවුම් හේතුකොට ඔහු දොස්‌ අහනවා, ඒක ඇත්ත. නමුත් එසේ වරද දැකීම සාධාරණ නැහැ.

දෘෂ්ටිමය මැදිහත්වීම් නවකතාවන්හි විරල දෙයක්‌ නොවේ. Solzhenitsyn සහ Arthur Koestler යන ලේඛකයන්ගේ නවකතාවල මෙය බහුලව දැකිය හැකියි. විප්ලවවාදයේ විපුල නවකතාව සේ ගැනෙන ගෝර්කිගේ 'අම්මා' නවකතාව හුදු දේශපාලන මාතවාද සහිත නවකතාවක්‌ සේ බොහෝ විචාරකයන් 'ලොව විශිෂ්ට නවකතා' ගොඩෙන් බැහැර කළ නවකතාවක්‌. ඒත් ලෝකයේ විශාල පාඨක ප්‍රජාවක්‌ අදත් ඒක ආසාවෙන් කියවනවා, අදත් අගය කරනවා.

ඔබ මෙම කතාව තුළ සිංහල ජාතිවාදය පිළිබඳ අතිශයෝක්‌තියෙන් කතාකරද්දී (දුම්රියේ සිටින දෙමළ ජනතාවට පහරදීමට සැරසෙන සිංහලයන් ගැන පැවැසීම උදාහරණයක්‌) දෙමළ ජාතිවාදය පිළිබඳ දක්‌වන ආකල්පය උදාසීනයි. ඔබ එය දකින්නේ මාක්‌ස්‌වාදී දෘෂ්ටියකින්. සාහිත්‍යකරුවකු එක්‌ අන්තයකට පමණක්‌ පාඨකයා ගෙන යැම සාධාරණද?

දෙමළ ජාතිවාදීන්ගේ පහරදීමකින් පසු ප්‍රකෝප වන පිරිසක්‌ පිළිබඳවයි එසේ කියවෙන්නේ. එම දෙමළ ජාතිවාදීන්ගේ පහරදීමේ ආකාරය නොදුටු එහෙත් බියකරු ස්‌වරූපය පිළිබඳවත් එතැනදී කියෑවෙනවා. ජාතිවාදය කොතනින් මතුවුණත් එය අපරාධයක්‌. එහිදී එක පාර්ශ්වයක්‌ පමණක්‌ දෝෂයට ලක්‌කරනවා නම් එය අසාධාරණ තමයි. එපමණක්‌ නොවෙයි, එය තවත් අපරාධයකට මුලපිරීමක්‌ වෙනවා. මෙම නවකතාවේ කරුණාපාල ජාතිවාදියෙක්‌ නොවේ. ඔහු හැසිරෙනුයේ සිංහල ජාතිවාදීන් සමගයි. එහෙයින් නවකතාව ගොඩනැගී යායුත්තේ ඔවුන් සමගයි. ඔහු එරෙහි වන්නේ මැරුවට මරනවා කියන පළිගැනීමටයි. එපමණක්‌ නොවෙයි, වාමාංශික නොවන එල්. ටී. ටී. ඊ. ය ජයග්‍රහණය කළහොත් උතුරේ ජනතාවට විඳීමට සිදු වන දුර්විපාක පිළිබඳවත් කරුණාපාල පවසනවා.

අද්‍යතනයේ බිහිවෙන බොහෝ නවකතාවල ලිංගිකත්වය නිරූපණය කරන ආකාරය පිළිබඳ දැඩි විවේචන තිබෙනවා. ඔබගේ නවකතාවේ කතා නායිකාව සහ ඇමැතිවරයා අතර ඇති ඇසුර පිළිබඳ සඳහන් වන අවස්‌ථාවල ලිංගික ජවනිකා ඇතුළත් කිරීමට අවස්‌ථාව තිබුණත් මනා සංයමයකින් එවැනි අවස්‌ථා නිරූපණය කර තිබෙනවා...

මේ මෑතකදී මම අයිරිස්‌ චිත්‍රපටයක්‌ වන Shell නම් චිත්‍රපටය බැලුවා. එහි ලිංගික දර්ශන තිබෙනවා. ලියවිල්ලකට වැඩිය එය ප්‍රබලයි. නමුත් එම චිත්‍රපටය ගොඩනැඟීම සඳහා එම දසුන් වුවමනායි. මා පරිවර්තනය කළ Ngugi ගේ 'කුරුසයේ ලූ යක්‌ෂයා' නවකතාවේ අපමණවත් ලිංගික යෙදුම් තිබෙනවා. එය ඒ නවකතාවේ තේමාවට අවශ්‍යයි. මගේ මේ නවකතාව ලිංගික ජවනිකාවලින් තොරව ගොඩනැංවීමට පු`ඵවන් බැව් මට වැටහුණා. නුවුවමනා තැනට ලිංගික දසුන් යෙදුවොත් එය කුණුහරුප පොතක්‌ වෙනවා. මගේ 'ගොදුර අහිංසකයි' කෙටිකතා පොතේ ඇතැම් තැනක ලිංගික යෙදුම් තිබෙනවා. එම චරිත ගොඩනැඟීමට එය අවශ්‍ය වුණා. සංයමය වනාහි අනවශ්‍ය තැනට ලිංගිකත්වය ඈඳා නොගැනීමයි. එනම් වාණිජමය අරමුණෙන් ලිංගිකත්වය මුහු නොකිරීම සංයමයයි.

නවකතාව පුරා ඔබ සියුම් සමාජ නිරීක්‌ෂකයකුගේ භූමිකාවක්‌ රඟදක්‌වනවා. ප්‍රබන්ධකරුවකු සමාජය ඇසුරෙහි තමා ලබන අනුභූතීන් තම ප්‍රකාශනයට යොදා ගැනීමේදී අනුගමනය කළ යුත්තේ කිනම් ක්‍රමවේදයක්‌ද?

John Steinbeck ගේ The Grapes of Wrath පොත පළවුණාට පස්‌සේ සංක්‍රමණිකයන් දීන වහල් සේවයෙන් මුදාගැනීම සඳහා නව නීති රීති ගේන්න කැලිෆෝර්නියාවට සිදු වුණා. Upton Sinclair ගේ The Jungle නවකතාව චිකාගෝවේ මස්‌ කර්මාන්තයේ නියෑළි කම්කරුවන් සුරකින නීති එම පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලපෑම් කරන තරමේ කැළඹීමක්‌ රට තුළ ඇතිකළා. රුසියන් විප්ලවයට මංපෙත් සැලැසූ බොහෝ නවකතා එකල රුසියාවෙන් බිහිවුණා. තමා ජීවත්වන සමාජය ඇසුරෙන් ලබන අනුභූතීන් නිර්මාණයන්ට ප්‍රබලව යොදාගත් තවත් ලේඛකයන් රැසක්‌ සිටිනවා. අපේ රටෙත් සිටිනවා.

අපි ජීවත්වන මේ රට බලන්න. කවදාවත් දේශපාලකයෝ මේ රට සුමඟට ගනී යෑයි සිතන්න බැහැ. ඒ පිළිබඳව පූජකයෝ ඉදිරිපත්වෙයි කියලත් විශ්වාස කරන්න බැහැ. එය කළ හැකි වන්නේ ලේඛකයන්ට සහ සෙසු කලාකරුවන්ටයි. දේශපාලකයන් නින්දිත වෙලා, පූජකයන් නින්දිත වෙලා, බුද්ධිමතුන් නින්දිත වෙලා, නීතිය රකින්නෝ නින්දිත වෙලා වෘත්තිකයන් නින්දිත වෙලා, කලාකරුවන් නින්දිත වෙලා. එකී නින්දිතකරණයෙන් බේරුණු තැනක්‌ අද කොතැනකවත් නැහැ. දිනපතා අත්විඳින ඒ අත්දැකීම් අනුභූතින් කොටගෙන සරු නවකතා නිර්මාණය කළ හැකි නින්දිත නොවූ කලාකාරයෝ ලේඛකයෝ මේ රටේ අපමණවත් ඉන්නවා. සාහිත්‍යයේ එකම පරමාර්ථය එය නොවේ. නමුත් එකී උතුම් පරමාර්ථය පෙරදැරි කොට ගන්නා නිර්මාණකරුවන් සඳහා අනුභූතීන් මේ රටේ නොනැවතී ඉපදෙනවා.

වර්තමානයේ සුලබව පැවැත්වෙන පොත් දොරට වැඩීමේ උළෙලක්‌වත් නොමැතිව ප්‍රකාශයට පත් වූ 'මරියා සිලොනිකා වස්‌තුව' බොහෝ විචාරක අවධානයට ලක්‌ව තිබෙනවා. නවකතාවක්‌ පළ කර එය විකුණා ගැනීමට, විචාර පළ කර ගැනීමට බොහෝ ලේඛකයන්ට අද මැදිහත්වීමට සිදුවී තිබෙනවා. එලෙස පළවන විචාර ලේඛකයාගෙන් වියුක්‌තව විචාරය වන්නේ කලාතුරකින්. මෙරට විචාර කලාව පිළිබඳ ඔබේ අදහස කෙබඳුද?

මට හිතෙනවා, මගේ නවකතාව ලොකු අවශ්‍යතාවක්‌ සැපිරූ බව. නැතිනම් මහ පිපාසයක්‌ සඳහා දිය දෝතක්‌ වුණු බව. ඒ නිසාම කිසිවිටක මාව දැක නැති මා ගැන අසා නැති විචාරකයන් පොත පිළිබඳව සරු විචාර ලිව්වා.

ඔබ විචාරකයන් පිළිබඳව මගෙන් විමසනවා. මා එක උදාහරණයක්‌ පමණක්‌ ඊට දෙන්නම්. 2010 වසරේ විදර්ශන ප්‍රකාශන ආයතනයෙන් මගේ 'ගොදුර අහිංසකයි ' කෙටිකතා එකතුව එළිදැක්‌වුණා. එම වසරේ ගොඩගේ සම්මාන සඳහා තෝරාගත් කෙටිකතා පොත් පහ අතරේ එය තිබුණා. එම සම්මාන උළෙලට මට ආරාධනාවක්‌ තිබුණා. විශේෂකොට දුරකතන ඇමතුමකිනුත් යළි සිහිගැන්වීමක්‌ කරනු ලැබුවා. මා එම උත්සවයට ගියා. මට සම්මානය ලැබුණේ නැහැ. ඒ පිළිබඳව ගැටලුවක්‌ නැහැ. ඊට වඩා හොඳ පොතක්‌ එතැන තිබෙන්න ඇති යන සිතුවිල්ලෙන් මං පෙරළා ගෙදර එද්දී රෑ එකොළහ පමණ වුණා. පසුදින මට ඇහැරුණේ දුරකතනය නාදවෙන හ`ඩට. බිරිඳ එම ඇමතුම ලබාගත්තා. ඇය ඔහු හා කතාබහ කොට සුපුරුදු පරිදි එම ඇමතුම ලබාදුන් අයගේ නම ලියාගනු ලැබුවා. දුරකථනයෙන් කතාකර තිබුණේ ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ. එම වසරේ කෙටිකතා පොතට හිමි සම්මානය ලැබිය යුතුව තිබුණේ 'ගොදුර අහිංසකයි' කෙටිකතා පොතට බවත්, තමා තවමත් හිතනුයේ එසේ බවත්, එහෙත් විනිශ්චය මණ්‌ඩලයේ සිටි වෙනත් අයෙකු ඊට දැඩිසේ එරෙහි වූ බවත්, ඊට හේතුව කෙටිකතා පොතේ අසභ්‍ය තැන් කිහිපයක්‌ තිබෙන නිසා බවත් ඔහු පවසා තිබුණා.

ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතාගේ හිතට මෙය වදයක්‌ වෙන්න ඇති. පසුදින අලුයමින්ම දුරකතන ඇමතුමක්‌ දුන්නේ ඒ නිසා විය යුතුය. එසේ අසභ්‍ය දෙයක්‌ කෙටිකතාවකට එක්‌ වූයේ මන්ද කියා එම අනෙක්‌ විනිසුරුතුමා හෝ තුමිය තම විචාරයට හසුකරගත්ත නම්...

අගනුවර කේන්ද්‍රීය සිදුවන සාහිත්යික ගනුදෙනුවේදී ඒ සඳහා ප්‍රමාණාත්මක මැදිහත්වීමක්‌ සිදුකිරීමට අගනුවරින් බැහැර විසීම ඔබට කරන බලපෑම කෙබඳුද?

සැබවින්ම මට අසීරුයි. නිර්මාණකරුවන්ට තෝතැන්න අගනුවරයි. ලංකාවේ පමණක්‌ නොවේ, බොහෝ රටවල එහෙමයි. ජගත් සාහිත්‍ය නිර්මාණකරුවන් බොහෝ දෙනාගේ අවසන් ලැගුම්පොළ වනුයේ ලන්ඩනය හෝ නිව්යෝර්ක්‌ නගරයයි. ගිකියු බසින් පමණක්‌ ලියන්නේ යෑයි පැවැසූ න්ගූගිවා තියොන්ගේ ගේ නවාතැන වූයෙත් ලන්ඩනයයි. ජනක ඉණිමංකඩ වැනි උසස්‌ සාහිත්‍ය රසිකයකු ප්‍රකාශකයකුව නොසිටියේ නම් අගනුවරින් බැහැරව සිටින මා වැන්නකුගේ පොතක්‌ ප්‍රකාශනය කරගැනුම ම පවා සිහිනයක්‌ පමණයි.

බොහෝ විට නිර්මාණ ඔසවා තැබීමක්‌ සිදු කරනවා. එයට එම ක්‍ෂෙත්‍රයේ මිතුරන් සිටිය යුතුයි. එම නිර්මාණය එසේ මාධ්‍ය සහ සාකච්ඡා මගින් ජනතාව අතරට ගෙනයැමට හැකියි. කෘතියේ හොඳ නරක තෝරාබේරාගන්න වුණත් පළමුවෙන් ම එය ජනතාව අතරට යා යුතුයි. මා අගනුවරින් බැහැරව එම නිර්මාණකරුවන් සහ විචාරකයන් හමුනොවන, ඔවුන් හ`දුනාගැනීමක්‌ සිදු නොවන, ඈතක සිටින නිසා මගේ නිර්මාණ ඒ ආකාරයෙන් පාඨක පිරිස්‌ අතරට ගෙන යැමක්‌ සිදු වෙන්නේ නැහැ. ඒ පාඩුව මා වැන්නන්ට තිබෙනවා. මගේ 'ගොදුර අහිංසකයි' කෙටිකතා පොතට සිදුවූයේ එය යෑයි මට නිතරම හිතෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.