1923 දී කුරුණෑගල උසාවියේදී "බෙල්" දුන් සාක්‌කිය



එම්. කේ. බන්දුල හරිශ්චන්ද්‍ර
දිසාපති/වව්නියාව පරිපාලන
දිස්‌ත්‍රික්‌කය



ශ්‍රී ලංකාවේ පළමුවැනි පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා වූ එච්. සී. බී. බෙල් මහතා (H.C.P.BELL) කුරුණෑගල දිස්‌ත්‍රික්‌ උසාවියේදී තල්පත් පිළිබඳව නඩුවක සාක්‍ෂියක්‌ ලෙස ලබාදුන් ඉතා අගනා විස්‌තරයක්‌ වව්නියාව කච්ෙච්රියේ ලේඛන අතර තිබී පසුගියදා මා වෙත ලැබිණි. ලේඛනාගාරයේ සේවය කරන අනුර පද්මසිරි මහතා මෙම ලේඛනයේ යම්කිසි විශේෂයක්‌ දුටු හෙයින් වහාම එය මා වෙත යොමුකර තිබූ අතර මහත් වූ අභිරුචියකින් මාද මෙය කියවා බැලීමි. ඇත්ත වශයෙන්ම මෙය මූලික චාරිකාවේ පිටපතක්‌ වූ අතර 1923 වර්ෂයට අයත් වූවකි. මෙම ඓතිහාසික විස්‌තර වාර්තාව පිටපත් කර පිටපත බැගින් එකල සියලුම ආණ්‌ඩුවේ ඒජන්තවරුන් වෙත ලබාදෙන්නට ඇතැයි සිතිය හැකි අතර මෙය මුලතිව් කච්ෙච්රිය වෙත එවන ලද වාර්තාව විය හැකිය. 1923 වන විට වව්නියාවට කච්ෙච්රියක්‌ නොතිබුණ අතර ඊටත් අවුරුදු 15 කට පසුය වව්නියාවට කච්ෙච්රියක්‌ ලැබෙන්නේ.

වාර්තාව සමඟ යටත් විජිත ලේකම්වරයා විසින් එවන ලද ආවරණ ලිපියක්‌ ද විය. එහි රහස්‍යභාවයක්‌ ද වන බව විමසීමේදී පෙනේ විස්‌තර මෙසේ දක්‌වමි.


රහස්‍යයි

චක්‍රලේඛ අංක

යටත් විජිත ලේකම් කාර්යාලය

1923 ජුලි 24 දින කොළඹදීය.

මහත්මයාණෙනි,

මෑතකදී ස්‌ථාපිත කරන ලද කුරුණෑගල දිසා අධිකරණයේ නඩුවකට විෂය වූ "තල්පත" පිළිබඳව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ එච්. සී. පී. බෙල් මහත්මාණන් විසින් ලියන ලද වාර්තාවක පිටපතක්‌ ඔබගේ දැනගැනීමට භාවිතය පිණිස මේ සමඟ එවමි.

සන්නස්‌වල ඇති කරුණුවල නීතිමය සත්‍යභාවය තහවුරු කර ගැනීමට මෙම වාර්තාව තුළ ඇති තොරතුරු උපයෝගි කරගත හැකි බව නිරීක්‍ෂණය කිරීමෙන් ඔබට පෙනෙනු ඇත.

මෙම වාර්තාව රහස්‍ය වාර්තාවක්‌ සේ සලකා එහි අඩංගු තොරතුරු අධිකාරි බලයක්‌ නොමැති අයකු වෙත නොදිය යුතුය. එසේ වුවහොත් එය වැරදි අරමුණක්‌ සඳහා යෙදවිය හැකිය.

මෙයට,

ඔබගේ කීකරු සේවක

සී. ක්‌ලේමන්ට්‌

යටත් විජිත ලේකම්

(ඊට පසුව වාර්තාව මුද්‍රණය කර ඉතා හොඳින් පොතක්‌ සේ ආවරණ ලිපියට අමුණා ඇත. මේ කාලය වන විට ආණ්‌ඩුවේ ඒජන්තවරුන් උසාවිවල විනිශ්චය කටයුතු ඉටුකළ බැවින් පිටපත් මේ ආකාරයෙන් ලංකාවේ අනෙක්‌ පළාත්වලට ද යවන්නට ඇතැයි සිතිය හැකිය.)

වාර්තාවේ පිට කවරය මෙසේය.

රහස්‍යයි.

2932 අංක දරන තල්පත පිළිබඳ වාර්තාව ඩී. සී. කුරුණෑගල අංක 8-199

(H.C.P.BELL) CCS
(Retived)

වාර්තාවේ මුල් පිටපත 1923 පෙබරවාරි 19 වැනි දින නඩු අංක 8199 යටතේ ගොනුකර ඇත.

REPORT ON TALPATA No -2,932

(DC. Kurunegala, case No 8,199)

සාක්‌ෂිය

1923 පෙබරවාරි 19 බෙල් මහතාණන්ගේ සාක්‍ෂියේ සාරාංශය

ලංකා සිවිල් සේවාවේ සිටි නිලධාරියෙකි.(Ceylon civil Service) පත්වීම 1873 දී විශ්‍රාම යැම 1912 දී අවුරුදු 39 ක සේවාවකින් පසුවය. සේවා කාලය තුළදී විවිධ තනතුරුවලට පත්වී ඇත. කළුතර හා කෑගල්ල දිස්‌ත්‍රික්‌ විනිශ්චයකාරවර තනතුර ද දෙවනුව 1890 දී ලංකා පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා වීම. රාජ්‍ය නිලධාරියකු ලෙස ඓතිහාසික තොරතුරු සම්බන්ධයෙන් පරීක්‍ෂණ කර වාර්තා කිරීම (සන්නස්‌ ආදිය පිළිබඳව)

නිතරම පැරණි සිංහලයන් පිළිබඳව අභිරුචියක්‌ දැක්‌වූවා. පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා ලෙස වැඩිදුරටත් විශේෂ කාර්යයක්‌ ලෙස ඔහු එකතු කළා, සන්නස්‌, තුඩපත්, සීට්‌ටු ආදිය ඔහුගේ වියදමෙන් සකස්‌ කරන ලද මේවායේ වෙළුම් ඔහුගේ පුස්‌තකාලයේ තිබෙනවා. රජයේ අරමුණු ඉල්ලීම පරිදි රාජකාරිමය වශයෙන් ඔහු පැහැදිලි කර දුන් දේවල් අතර බොහෝමයි. තංගල්ල, රත්නපුර, කෑගල්ල, කොළඹ, හලාවත, අනුරාධපුර වැනි විවිධ අධිකරණවලදී ඔහු සාක්‍ෂි දුන් අතර "ආදිපොල" සන්නස ගැනත් සාක්‍ෂි දුන්නා. ඒ වාගේම ඔහුගේ දැනුම, උපදෙස්‌, සාක්‌කි, දිස්‌ත්‍රික්‌ අධිකරණමෙන්ම අභියාචනා අධිකරණය පවා තීන්දු දීම සඳහා පිළිගෙන ඇත. මාතර SගC නඩුව (තංගල්ල සිවිල් පෙත්සමෙන් පැන නගින ලද) සැකකරුවන් දෙදෙනකු ඉදිරිපත් කරන ලද සැකයට ලක්‌ වූ සන්නස පරිවර්තනය කිරීම ඔවුන්ව අවුරුදු 07 කට බරපතළ වැඩ සහිත බන්ධනාගාරගත කිරීමකට හැකිවිය. 1912 වර්ෂය විශ්‍රාම යැමේ සිට මේ කටයුතු සමඟ ඔහුq ස්‌වකැමැත්තෙන් යෙදී සිටිනවා.

ලංකා ආසියාතික සංගමයේ (Ceylon Miatic Society) 1880-1914 දක්‌වා ඔහු ගරු ලේකම්වරයා ඒ වගේම එහි සාමාජිකයෙක්‌. මෙයට පෙර මහනුවර දිසා අධිකරණයේ එක්‌ නඩුවක්‌ හැර කවදාවත් පුද්ගලික පාර්ශ්වයක්‌ වෙනුවෙන් ඔහු සාක්‌කි දී නැත. පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාව සිටිද්දී ඔහු ප්‍රකාශ කළා. පුද්ගලිකව එවැනි නඩුවලට පෙනී නොසිටින බවට.

දැන් ඉදිරිපත්ව ඇති නඩුවේ පාර්ශ්ව දෙකකි. අවස්‌ථාවන් දෙකකදී පාර්ශ්වයන් දෙකම තම අයිතිවාසිකම් ගෙනවිත් ඉදිරිපත් කර ඇත. ඔහු නඩුවට එනකොට දන්නේ නැහැ, ඔහු පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වයද වගඋත්තරකාර පාර්ශ්වයට ද කියා. ඔවුන්ගේ ගෞරවය ලබාගත්තද ඔවුන්ගේ නම් දැනගැනීමට බෙල් මහතා උනන්දු වූයේ නැත. විමර්ශනාත්මකව තල්පත පරීක්‍ෂා කෙරුව ද තීන්දුව ගැන උනන්දු වූයේ නැත. එහෙත් ඔහුගේ වාර්තාවේ කරුණු උදව් වුණු, තීන්දුව ගැනීම සඳහා වාර්තාව මේ සමඟ දැකිය හැකිවනු ඇත.

ලියවිලිවල 'කැටපත' ප්‍රශ්නයක්‌ නොවේ. කැටපත් යනු "සන්නසට" පෙර රාජකීයයන් විසින් පන්සල්වලට දෙන ලද නිශ්චිත දේවල් මොනවාද යන්න විස්‌තරය අඩංගු දෙයකි. දඹුල්ල විහාරයට දී ඇති "කැටපත" හොඳින් දන්නා උදාහරණයකි. "ශ්‍රී" (රාජකීය අත්සන) සත්‍ය වන්නා වූ පැරණි සිංහල සියලුම ලියවිලිවල නැත.

ඉදිරිපත්ව ඇති තල්පත හොරට සකස්‌ කරන ලද්දක්‌ නොවේ. ඉහළ දැනුමක්‌ ඇති කාලයක හොරාට හදාපු බලවත් දේ තිබිය හැකිය. අධිකරණය ඉදිරියේ ඇති තල්පත 1893 කුරුණෑගල කච්ෙච්රියේදී පිටපත් කර ඇත. එහි අංකය 2932 වේ. අයිතිකරුට මුල් පිටපත ආපසු ලැබුණාදැයි කිව නොහැකිය. ඒ පිළිබඳව වාර්තා නැත. බෙල් මහතාණන්ගේ දැනුම පරිදි අංක 2032 නීතියට බලපෑමක්‌ ඇති නොකරයි. ඔහු ලිපි සැහැල්ලුවෙන් පිටපත් කළ අතර අනෙක්‌වා සමඟම එසේ කර ඒවා ආපසු දුන්නා සේය. මුල් ලේඛන "රාජ්‍ය සන්තක කරන ලද" රජය විසින් ප්‍රශ්න කරන ලද ඒවා බැවින් ඉදිරිපත් කළවුන්ට ආපසු නොදෙන ලදී. 1922 අංක 2,932 තල්පත කාර්යාලයීය තොරතුරු බලාගැනීම සඳහා අමුණා තබන ලදී. රජය භාරයට ගත් ඔප්පු අතර කච්ෙච්රියේ එය තිබුණේ නැත. ඒ සම්බන්ධයෙන් වාර්තාවල යොමුගත කිරීමක්‌ තිබුණේ ද නැත. මුල් පිටපත කච්ෙච්රියෙන් අතුරුදන් වී තිබීම පුදුමයට කරුණකි.

වාර්තාව

මෙය තල් කොළයක ලියන ලද ලේඛනයකි. අඟල් තුන්කාලේ සිට අඟල දක්‌වා විවිධ පළලින් යුක්‌තය. සෑම කෙළවරකම කුරුස මලක හැඩය ඇති බෝඩරයකින් සැරසිලි කළ රිදී කැප් එකකි.

තල්පත ලියා ඇත්තේ සිංහල භාෂාවෙනි. සටහන තබා ඇත්තේ උල්කටුවකින් වෙන් පන්හිඳකින් පැහැදිලිව පිළිවෙළට සිංහල අකුරු කැටයම් මෙන් ලිවීමෙනි. සටහන තබා ඇත්තේ ශ.ව. 1568 ඇසළ මස (ජුලි - අගෝස්‌තු) අවපස තිථියලත් 02 දින වේ.

මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන තල්පත් හා සන්නස්‌ දහයක්‌ම අයත් වන්නේ මහනුවර රාජධානි යුගයේ දෙවැනි රාජසිංහ රජුගේ පාලන සමයට වේ. (කි.ව. 1634-1687 දක්‌වා ඔහු අවුරුදු 53 ක්‌ පමණ රාජ්‍ය කර ඇත.)

බෙල් මහතා දුන් ලිත සාක්‍ෂිය සම්පූර්ණයෙන්ම නොව එහි අඩංගු කරුණු සංක්‍ෂිප්තව පරිවර්තනය කර මෙයින් ඉදිරිපත් කරමි. මෙම ලේඛනවල ඇති භාෂාව එකල භාවිත වූ භාෂාව වන අතර එකල භාෂාව පිළිබඳ හදාරන්නන්ට ද මෙයින් යම් යම් කරුණු ගත හැකි වනු ඇත. බෙල් මහතාගේ වාර්තාව සමඟ තල්පත් සන්නස්‌ එකොළහක්‌ පිළිබඳව ඔහු විශ්ලේෂණාත්මක විග්‍රහයක්‌ මෙම එක්‌ තල්පතක්‌ වෙනුවෙන් වූ නඩුවට විශේෂඥයකු ලෙස කරුණු දක්‌වයි.

ඉපළව තල්පත

IPALAWA IALPATANo 2.932.5 1568 (AC: 1646)

A පළමු ඉරුව

1. ශක වර්ෂයෙන් එක්‌දහස්‌ පන්සිය හැටඅටක්‌ වූ ඇසළ අව දියවක්‌

2. ලත් ශිකුරාදා වදාළා වූ පනත නම් තල්ගොඩපිටියේ වී

3. ඡේසුන්දර ආරච්චියා මහවාසල සොඳින් දුක්‌ගැන හිටිනා නිසා.

ඊ දෙවන ඉරුව

4. හිරියාලේ ඉපළව කියන ගමින් ආචාරීන්ගේ පඟු ඇර ඔතු පඟුව

5. මුල්බිජු දහමකුණමුණේ වපසරියක්‌ ඊට අඩු තතු ගෙවතු ගහ කොළ

6. ගොඩ හේන් ඇතුළුව බඩවැඩිල්ලට දේවාදාල

7. මෙසේම පණිවුඩ පනතයි.

මෙහි සරල තේරුම මෙසේය.

ශත වර්ෂ 1568 ක්‌ වූ ඇසළ මාසයේ (ජුලි - අගෝස්‌තු) අවපස (චන්ද්‍ර මාස) දෙවැනි දින සිකුරාදා, තල්ගොඩපිටියේ විඡේසුන්දර ආරච්චි වනවාසලට (මහනුවර රජුට) ඉතා හොඳින් රාජපාක්‍ෂික භාවයෙන් යුතු කරනා සේවය නිසා.

හිරියාලේ පිහිටි ඉපලව නම් වූ ගමෙන් ආචාරීන්ගේ කොටස අත්හැර ඉතිරි කොටස වැපිරිය හැකි වී අමුණු ඊට අයත් ගෙවල් ඒවාට අයත් ඉඩම් ගහකොළ ගොඩබිම, හේන් භුක්‌ති විඳීමට පවරා දුන් බවට වන ලේඛනයකි.

දෙමටපිටිය සන්නස

(B) - DEMATAPITITA SANNASANO. 259 S- 1561

(AC 1639) දෙමටපිටිය සන්නස

A පළමු ඉරුව

ශ්‍රී

1. වදාලාවූ පනතණම් දෙමටපිටියේ අමරසින්හමුදලියා ගනේතැන්නේ කොටුවේ හේවාකමේදී පුන්ගින් එකක හොදි

2. න් හෙවාකන් කල නිසා කිදිගම කෝරලය බද දෙහාලදහමුනු පත්තුවෙ දෙමටපිටියේ බිත්‍රතු නුමුනෙ වපසරියද

3. උඩ අමුනුගම බිත්‍ර තැනුමුනද මුල් බිජු තාමුනේ හරියද මීට අඩුත්තු ගොඩමඩ ගෙවතු ගහ කොල ඇතුළුව මෙවග

ඊ දෙවන ඉරුව

1. න් පන්ගුව මෙකුට ප්‍රවෙනි ශලැස්‌මට භුත්තිවිඳිනා රඟට ශකවර්ෂ එක්‌වාදහස්‌ පන්සිය හැට එකක්‌වූ මෙම වෂ_ 2 යෙහි වක්‌ මස පුර දියවක්‌ ලත් ශනි දින මෙම සන්නස දෙවා වදාල පණතත් ඒ පණතත් මෙසේම පනි උඩ

3 පණතයි

ප්‍රකාශයට පත්කෙරෙන මේ නියෝගය නම් දෙමටපිටියේ අමරසිංහ මුදලි ගනේතැන්නේ කොටුවේදී සොල්දාදුවකු ලෙස පරංගීන් සමග හොඳින් සේවය කළ නිසා කිඳිගොඩ කෝරළයේ දෙහාලද අමුණු පත්තුවේ දෙමටපිටියෙන් බිත්තර වී වැපිරෙන අමුණු තුනක වපසරියද, උඩ අමුණුගමෙන් වැපිරෙන වී අමුණු හයක වපසරියද ඊට ඇතුළත් ගොඩ, මඩ හා ගෙවතුද ගහකොළද ප්‍රවේනි පිළිවෙලට අනුව ශත වර්ෂ 1561 වප් මස (සැප්. - ඔක්‌) පුර පස (චJද්‍ර මාස) දෙවැනි සෙනසුරාදා දින පවරා දුන් බවට ප්‍රකාශිත ලේඛණයයි.

මංගලගම සන්නස

(C) MANGALAGAMA SANNASA - S 1566 (AC 1644)

A පළමු ඉරුව

ශ්‍රී 1. ශක වර්ෂයෙන් එක්‌වා දහස්‌ පන්සිය සැටසයක්‌ වූ වප් මස අව සතවක්‌ ලත් සෙනසුරාදා

2. වදාළාවූ පණත නම් මංගලගම ඔඩාල් හඳු නයිදා කොකු රන් කඩුවක්‌ රත්‍රන්ලා

3 දක්‌කවාලා මහාවාසලට සොඳින් දුක්‌ ගැණ හිටිනා නිසා සතර කෝරළේ දිශා

4 වෙන් කිඳිගොඩ කෝරළය බද මහගොඩින් මුල් බිජු සාමුණක වපසරියත් මීට

ඊ දෙවන ඉරුව

1. අඩු තතුවූ ගෙවතු ගස කොළ ගොඩවල් පිට ඇතුළු වූදේත් මෙකුගේ දරුමුණුබුරු පරම්පරාව

2 පවතිනාතුරු ප්‍රවේණි සැලැස්‌මට පවතින හැටියට මේ සන්හස දෙවාවදාළ පණතක්‌

3 ඒ පණතත් මෙසේ පණිවිඩ පණත යි

ශක වර්ෂ 1566 වප් මස (සැප්- ඔක්‌) අවපස (චJද්‍ර මාස) හත්වැනි සෙනසුරාදා දින රන්කරුවකු වන මංගලගම "හඳු නයිදේ" නම් අය රත්තරන් කොපුවක ලූ රන් කඩුවක්‌ මහනුවර රජවාසලට සකස්‌ කර දී රාජපාක්‌ෂිකභාවයෙන් හොඳින් සේවය කර ඇති බැවින් සතර කෝරළයේ දිසාවේ කිඳිගොඩ කෝරළය ප්‍රදේශයේ මහගොඩ ගමින් වී අමුණු හයක්‌ වැපිරෙන වපසරියක්‌ද ඊට ඇතුළත් ගෙවල්, ගහකොළ, ගොඩබිම ද කැලෑවද මොහුගේ දරු මුණුබුරු පරම්පරාව පවතින තුරු ප්‍රවේනියට යටත්ව පවරා දෙනු ලබන බවට වූ ලේඛණයයි.

නුවරවැව සන්නස

(D) NUWARAVEVA SANNASA - 5 1659

(AC:1738)

නුවරවැව සන්නස

A පළමු ඉරුව

1. විජය ශ්‍රී භජන වූ ---උතුම් ---- අපගේ දෙවි ස්‌වාමිදුරුවාණන් වහන්සේගේ ශ්‍රී මහා තරුණ දිවස්‌ එළියේ

2 මහිමාතාවයෙන් දිවස්‌ලා වදාල උතුම් වූ පණිවුඩ පනත සැටියට ---නුවර කලාපයේ අනුරාධපුර මහා විහා

3 රය ද, පුලියංකුලමේ කඩවතද විලච්චියේ කඩවත ඇතුළුව කලුවිල පත්තුවේ වන්නිකම කලුවිලමුදි

4 යන්නැහැට ශක වර්ෂ එක්‌වාදහස්‌ සසිය පනස්‌නවවෙනි පිඟල නම් වූ මේ වර්ෂයෙහි මැදින් දින අව දොලොස

ඊ දෙවන ඉරුව

1 වක්‌ නම් තිථිය ලත් සඳුදා මෙ දවස මෙම වන්නිකම සේන්දුකර දුන්සේදින් ---- එවගත් මෙසේම

2 මහ අරමුදලේ වන්නකු නිලමේ ලැබී තිබෙන මාතලේ දිසා රාලහාමිද නුවරකලාවියේ දිසාව ලැබී තිබෙ

3 න හෙට්‌ටි මුදියන්සේ ඇතුළුව මහනුවර මහ අධිකාරම් නිලමේ කරවන අධිකාරම් මහතමයිල්ලා දෙපත්තුව වම්හ.

දෙවියන්ටත් වඩා උසස්‌ වූ රඡ් ජුරුවන් වහන්සේ විසින් පොළොව දෙස බලා නුවර කලාවියේ ඇති අනුරාධපුර මහා විහාරයට ද පුලියංකුලම නම් ප්‍රදේශයේ කඩවත ද (මුර කපොල්ල) විලච්චිය ප්‍රදේශයේ ඇති කඩවත ද ඇතුළුව කලුවිල නම් වූ පළාතේ වන්නිකම (තනතුරකි) කලුවිල මුදියන්සේට ශත වර්ෂ 1659 පිඟාල නම් වූ මෙම වසරේ මැදින් මස අවපස දෙළොස්‌වැනි සඳුදා ප්‍රදානය කරන අතර තවත් නිලධාරි දෙදෙනෙක්‌ බලයට පත් කිරීම පිළිබඳව අවධානය යොමු කරවයි. රජයේ භාණ්‌ඩාගාරයේ තක්‌සේරු කිරීමේ නිලමේ තනතුරට මාතලේ දිසා රාළහාමි පත් කිරීම ද නුවර කලාවියේ දිසාව තනතුරට පත් කර ඇති හෙට්‌ටි මුදියන්සේ ඇතුළුව මහ අධිකාරම් කම් කරවන අධිකාරම්ලා වෙත සහතික කොට ඇත.

මේ අනුව නුවරවැව සන්නස රාජකීය තනතුරු ප්‍රදානයක්‌ පිළිබඳ ලියවිල්ලකි.

කන්දේපොල තල්පත

KANDEPALA TALPATA NO 2 961 - 5 - 1563

(A.C 1641)

ශක වර්ෂයෙන් එක්‌වාදහස්‌ පන්සිය සැටතුනක්‌ වූ වප් මස අව සැටවක ලත් ශිකුරාදා වදාළා වූ පණත නම් පණගමුවේ ආරච්චියා මහ වාසලට සොඳින් දුක්‌ ගැන හිටිනා නිසා විගිලි කෝරළය බද කන්දේපල කියන ගමින් වීරසූරිය ආරච්චියාට තිබුණු ගම් පංගුව ප්‍රවෙනි සැලැස්‌මටත් පණගමුවෙන් ගම් වසම් පංගුව ඇර පුර වැඩි බුජි නව අමුනේ වපසරිය බඩවැඩිල්ලටත් දෙවාවදාල පනත දැන මේ සන්නස පෑ ලා ත හන්දි කරගෙන බුක්‌ති විඳින්ඩත් එ පනතත් මෙසේම පණිවිඩ පනතයි----

කන්දේපොල තල්පත ශක වර්ෂ 1563 වප් මාසයේ අවපස දාහත්වෙනි සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද්දකි.

පනාගමුවේ ආරච්චි රාජපාක්‍ෂික භාවයෙන් යුතුව සේවය කරන නිසා විගලිs කෝරළයේ ඇති කන්දේපොල යන ගමෙන් වීරසූරිය ආරච්චිට අයත් කොටස්‌ හැර නව අමුණක්‌ වැපිරිය හැකි කුඹුරක්‌ ලබාදීමකි. සන්නසේ සඳහන් කොටස්‌ද එකතු කරගෙන භුක්‌ති විඳීමට අවසර දීමකි.

මේ අනුව මේ තල්පතෙන් කෙරී ඇත්තේ යහපත් රාජ්‍ය සේවයට ඇගයීමක්‌ ලෙස ඉඩකඩම් ලබාදීමකි.

මඩගල්ලේ තල්පත

MADAGALLE THALPATHA 2. 189.S1566-(ACග1644)

ශ්‍රී සක වර්ෂ එක්‌වාදහස්‌ පන්සිය හැටහයක්‌ වූ මෙම වර්ෂයෙහි ඇසළ මස අව තියවක සහ දෙනටෙ නැකත් ලත් බ්‍රහස්‌පතින්දා මෙ දවස රාජසිංහ නම් මහරාජොත්තමයාණන් වහන්සේ විසින් වදාළා වූ පනත නම් මඩගල්ලේ මාරසිංහ මුදලියා රග්ගවත්තේදී තරං කපා දක්‌වාපු තැනේදී සත්කෝරලේ දිසාවේ නිකවාගම්පහ බද මඩගල්ලේ මුල් බිජු දොලොහොමුන වපසරිය හා ඊට කඩඉම නැගෙනඉර මහ ඇළෙන් මෙ පිටද දකුණු දිග යොන් පල්ලියෙන් මෙපිටද, උතුරු දිග පිදවිල්ලේ ඇළෙන් මෙපිට බස්‌නාහිර වෑකන්දෙන් මෙපිටත් මෙම බින්වාසිය මඩගල්ලේ මාරසිංහ මුදලියාට ප්‍රවේනිව මොහුගේ දරු මුණුබුරු පරම්පරාවට බඩවැඩිල්ල පිණිස අහස පොළොව ඉරසඳ රාජාඟණ පවතිනා තුරු බුක්‌ති විඳිනා සැටියට ත්‍රි සිංහළ ද්වීපයෙහි එකජත්‍ර නන්වා දිපච්චක්‍රවර්ති ස්‌වාමි වූ රාජසිංහ නම් මහ රාජොත්තමයාණන් වහන්සේ විසින් දෙවා වදාළ පනත මේ සන්නස පෑ තහතම් කරගන භුක්‌ති විඳීමටත් ඒ පනතත් මෙසේම යෙදී පණිවිඩ පනතයි.

මඩගල්ල තල්පතෙන් කියෑවෙන්නේ මෙකල රජ කරන රාජසිංහ නම්වූ මහ රජු විසින් ශකවර්ෂ 1566 ඇසළ මාසයේ දී අවපස තුන්වැනි බ්‍රහස්‌පතින්දා නැකතකට මඩගල්ලේ මාරසිංහ මුදලි රග්ගන් වත්ත නම්වූ තරං කපා දක්‌වපු (හිස ගසාදමන ලද ස්‌ථානය) ස්‌ථානයේ දී සත්කෝරලේ දසාවනියේ නිකවාගම්පහ ප්‍රදේශයේ මඩගල්ලේ අමුණු දොළහක වපසරිය ඇති එයට මායිම් වන කොටස්‌ නැගෙනහිර මායිම මහ ඇළෙන්ද දකුණින් යොන් පල්ලියද උතුරින් පිදවිල්ලේ ඇළද බස්‌නාහිරට වෑකන්දද වන බිම් කොටස මඩගල්ලේ මාරසිංහ මුදලියාට පරවේනිව දරු මුණුබුරු පරම්පරාවේ කෑමට පිණිස අහසද පොළොවද ඉර ද සඳ ද රජ අණද පවතිනා තුරු බුක්‌ති විඳිමට තුන් සිංහලයම එක්‌සේසත් කළ චක්‍රවර්ති රජ කෙනකු මෙන් වූ රාජසිංහ රඡ්ජුරුවන් විසින් දුන් බවට ලේඛනයයි. මේ සන්නස පෙන්වා වටා වැටි කරගෙන භුක්‌ති විඳිමට හැකි බැව් තවදුරටත් එහි දැක්‌වේ.

ලබන සතියට
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.