සංස්‌කරණය : නාරද නිශ්ශංක

'සැමී' මුග්ධත්වයේ සහ බුද්ධියේ
සරලත්වය එකවිට පෙන්වීමට යත්න දරන්නෙක්‌
- නිෂ්පාදක, අධ්‍යක්‍ෂ ප්‍රියංකර විතානාච්චි

අපේ ජගත් චමිල ලොව හොඳම නළු සම්මානය දිනූ
'සැමීගේ කතාව' අද සිට රිදී තිරයේ...


2013 නිව්යෝක්‌ සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ ජගත් චමිල

ශ්‍රී ලාංකේය සිනමා සලකුණ නැවත වරක්‌ ජාත්‍යන්තරයට ගෙන යමින්, එහි අභිමානය සනිටුහන් කරමින්, 2013 නිව්යෝක්‌ සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්, 'සැමීගේ කතාව' සිනමා සිත්තම, අද (පෙබරවාරි මස 28 වැනිදා සිකුරාදා) සිට දිවයින පුරා පිහිටි 'සී.ඊ.එල්' මණ්‌ඩලයේ සිනමා ශාලාවන්හිදී ප්‍රදර්ශනය ඇරැඹේ. ශ්‍රී ලාංකික සිනමාවට ඇලුම් කරමින්, එය නව මාවතකට යොමු කරලීමට යත්න දරන, ප්‍රියංකර විතානාච්චි නම් වූ කලා ශිල්පියාණන්ගේ සම්මානනීය කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනය සැමීගේ කතාවයි. මේ.. ඔහු සමග 'දිවයින සිනමා කලා' පැවැත්වූ සංවාදීය සටහනයි.

ඔබේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්‍ෂණය අපි දකින්නටත් ප්‍රථම සම්මානයට පාත්‍ර වුණා. ඒ.. ජාත්‍යන්තරය නියෝජනය කරමින්. මේ ලද සම්මානය ශ්‍රී ලාංකික සිනමාවට සුවිශේෂී ජයග්‍රහණයක්‌. ඒ ගැන සිහිපත් කරමින් අපේ කතා බහට ප්‍රවේශයක්‌ ගතහොත්...

ඇත්තෙන්ම, සිනමාව වෙනුවෙන් මා දැරූ මුල්ම ප්‍රයත්නය මෙලෙසින් සම්මානයකට පාත්‍ර වීම විශාල සතුටක්‌. 'සැමීගේ කතාව' වෙනුවෙන් ප්‍රධාන චරිතයට ජීවය මුසු කළ ප්‍රවීණ රංගන ශිල්පී ජගත් චමිල, ලොව හොඳම නළුවාට හිමි සම්මානය මවුබිමට දිනා දෙමින් සිනමාවට ගෞරවයක්‌ ගෙන ආවා. ඒ සම්මානනීය රංගනයේ අපූර්වත්වය අද සිට අපේ සිනමා ප්‍රේක්‍ෂකයාට අත්විඳිය හැකියි.

'සැමීගේ කතාව'ට ප්‍රථමයෙන් ඔබේ කලා දිවියේ කතාවත්, කියන්නට සතුටු දැයි මා විමසුවොත්...

චිත්‍රපට නැරඹීම සහ කලාවට ඇති උනන්දුව මා තුළ ජනිත වූයේ මට යමක්‌ කමක්‌ යන්තමින් හෝ තේරුම් ගත හැකි අවධියේදීමයි. මට අවුරුදු 14 දී., සිනමාවේදී ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතා, අධ්‍යක්‍ෂණය කළ 'අහසින් පොළොවට' චිත්‍රපටය නැරඹීමට අවස්‌ථාව ලැබුණා. මේ චිත්‍රපටය එදා කයිරෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී තුන්වෙනි ලෝකයේ හොඳම චිත්‍රපටයට හිමි 'ඇග්නටන්', සම්මානය හිමි කර ගත්තා. මේ චිත්‍රපටය නැරඹීම එදා මට සුන්දර අත්දැකීමක්‌ වුණා. ඒ නිසාම කෙදිනක හෝ මෙවැනි චිත්‍රපටයක්‌ කළ යුතුයි කියන අදිටන මගේ සිත තුළ පැළපදියම් වුණා. මම අධ්‍යාපනය හැදැරුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. උසස්‌ පෙළට මුහුණදීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් ඇමරිකා එක්‌සත් ජනපදය බලා පිටත්ව ගියා. එහිදී සිනමාව වෙනුවෙන්, හැදෑරීම් සිදු කරමින්, දෙවරක්‌ ඩිප්ලෝමා ලැබුවා. මීට අමතරව ගවේෂණාත්මක දේ පිළිබඳවත් ඉගෙනීම් සිදු කළා.



කලා කටයුත්තක්‌ වෙනුවෙන් මුල්වරට ඔබ යොමුවන්නේ කුමක්‌ සඳහාද...?

මුලින්ම ඒකාංගික ටෙලි නාට්‍ය යුගලයක්‌ අධ්‍යක්‍ෂණය සිදු කළා. 'සමාන්තර' විකාශය වුණා. 'නික්‌මන' විකාශයට නියමිතව තිබෙනවා. ඊට පසුව තමයි 'සැමීගේ කතාව'ට එන්නේ.

'සැමීගේ කතාවට නිමිත්ත වූයේ කුමක්‌ද..? ඒ හරහා අපේ ප්‍රේක්‍ෂකයාට යම් පණිවිඩයක්‌ ලබා දීමට ඔබ උත්සුක වුණාද ...?

ප්‍රේක්‍ෂකයාට උසස්‌ විනෝදාස්‌වාදයක්‌ සහ රසාස්‌වාදයක්‌ සැපයීම වෙනුවෙන් සිනමා නිර්මාණ හැසිරවීම තමයි මගේ මූලික අරමුණ. ඔබ පැවසූ ලෙස ඉන් යම් පණිවිඩයක්‌ ලබාදීමට මා උත්සුක වන්නේ නැහැ. හැබැයි...එහි අතුරු ඵලයක්‌ ලෙස යම් පණිවිඩයක්‌ සමාජගත වේ නම් එය මට විශාල සතුටක්‌. සැමීගේ කතාව වෙනුවෙන් මා තෝරාගත්තේ කපිතාන් එල්මෝ ජයවර්ධන ලියූ 2001 දී ග්‍රේෂන් සම්මානයෙන් පුද ලබමින්, ජාත්‍යන්තර ඩබ්ලින් සාහිත්‍ය සම්මානයට ද යෝජනා වූ 'සෑම්ස්‌ ස්‌ටෝරි' නවකතාවයි. මානසිකව අභියෝගාත්මක ජීවිතයකට උරුමකම් කියන මේ කතාවේ 'සැමී' අපේ රටේ ගමක දුෂ්කරව ජීවිතය ගෙවන්නෙක්‌. එහි පිටස්‌තරයකු විලස ජීවිතය ගෙවන ඔහු ජීවත්වන්නේ තමන්ගේම වූ සිහින සමග. ඔහු සේවය සපයන ස්‌වාමියාගේ අනෙක්‌ සේවකයන් දෙදෙනා ත්‍රස්‌තවාදීන්ට හිතවත් වීම නිසා පැනනඟින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ස්‌වාමියා මරා දැමීමෙන් පසු ඇතිවන ජීවිත වෙනස්‌වීම් සහ සැමීගේ ජීවිතයේදී ඔහු පතන ආදරය, සෙනෙහස සහ බලාපොරොත්තු නැවත ළඟාකරගන්නේ කෙලෙස දැයි මේ චිත්‍රපටයෙන් පෙන්වනවා. හාස්‍යය සහ ශෝකය මිශ්‍ර සංකීර්ණ චරිතාංගයක්‌ වන 'සැමී' මුග්ධත්වයේ සහ බුද්ධියේ සරලත්වය එකවිට පෙන්නුම් කිරීමට යත්න දරන්නෙක්‌. ඉතිං... 'සැමීගේ කතාව' අපේ ප්‍රේක්‍ෂකයන්ට හොඳ සිනමා රූපයක්‌ වනු ඇති බවට මට සැකයක්‌ නැහැ. ඒ වගේම ඔවුන් ගෙවන මුදලටත්, චිත්‍රපටය නැරඹීම වෙනුවෙන් ගෙවා දමන වටිනා කාලයටත්, හොඳ ආස්‌වාදයක්‌ සහ වටිනාකමක්‌ සැපයීමේ මගේ බලාපොරොත්තුව සපල වන බව විශ්වාසයයි.

සිනමාවට නවකයකු වන ඔබ ලාංකික සිනමාවේ අද පවතින වටාපිටාව ගැන මොනවද සිතන්නේ...?

අපේ සිනමාව ගැන මට තිබෙන්නේ මිශ්‍ර අදහසක්‌. මේක කර්මාන්තයක්‌ විදියට ගත්තම යම් යම් අර්බුද තිබුණු බවත්, දැනටත් තිබෙන බවත්, සත්‍යයක්‌. මගේ අරමුණ වුණේ මම කැමැති, මට ආස හිතෙන හොඳ සිනමා නිර්මාණයක්‌ කිරීම පමණයි. එසේ නොමැතිව පවතින රැල්ලට හෝ වෙන මොනයම් දෙයකටවත් අභියෝග කිරීම නොවෙයි. මට දැන් අවශ්‍ය 'සැමීගේ කතාවට' අපේ ප්‍රේක්‍ෂකයා දක්‌වන ප්‍රතිචාරය කුමක්‌ද කියා බලා සිටීමයි. මම චිත්‍රපට වර්ග කිරීමට යන්නෙත් නෑ. නැවත කියනවා, මගේ අරමුණ, ප්‍රේක්‍ෂකයාට උපරිම රස වින්දනයක්‌ ළඟා කරගත හැකි සිනමා නිර්මාණ ඉදිරියටත් එළිදැක්‌වීමයි. ඒක සිනමාවේ ඉදිරි ගමනටත් අත්වැල් සැපයීමක්‌ වේවි.

තාක්‍ෂණය සමග ඉදිරියට යැම අත්‍යවශ්‍ය මොහොතක, අපේ සිනමාවත් දැන් ඩිජිටල්කරණයට සූදානම්. මේ ගැන ඔබේ ආකල්ප කෙබඳු ද...?

අපේ සිනමාව ආපස්‌සට යැම නවතාලීමට නම්, අපි ඩිජිටල් තාක්‍ෂණයට යා යුතුමයි. අඩු වියදමකින් චිත්‍රපට පෙන්වා ගැනීමට තිබෙන අවස්‌ථාව මග හැරිය යුතු නැහැ. මගේ 'සැමීගේ කතාව' මිලී මීටර් 35 කරපු අවසන් චිත්‍රපටය වීමටත් පුළුවන්. හැබැයි, ඩිජිටල්කරණයෙන් කරන චිත්‍රපට ගබඩා කොට තබාගත හැක්‌කේ වසර කිහිපයක්‌ පමණයි. ඒ නිසා.. චිත්‍රපට ගබඩා කොට තබා ගැනීමේදී ඒවා ණෑJත මිලි මීටර් 35 දළ සේයාපටවලට ගෙන සුරක්‍ෂිතව තබා ගැනීමට අපි වග බලා ගත යුතුයි.

'සැමීගේ කතාව' තිරයට ගෙන ඒම වෙනුවෙන් දායකත්වය දැක්‌වූවන් ගැන සිහිපක්‌ කළොත්...

මෙහි සම නිෂ්පාදනය විමල් දේශප්‍රිය, ජගත් චමිල, සමගින් කලකට පසු අපේ ප්‍රවීණ රංගන ශිල්පිනී මැණික්‌ කුරුකුලසූරිය, වික්‌ටර් රාමනායක, සනත් ගුණතිලක, නිල්මිණි බුවනෙක, තෙසාරා ජයවර්ධන, කුසුම් පෙරේරා, අනුෂ්කා විනෝදනී, නිසංසලා එදිරිසිංහ, ඇතුළු තවත් විශාල පිරිසක්‌ රංගනයෙන් දායක වෙනවා. අපේ අය සමග විදේශ යුවළකුත්, දමිළ චරිත වෙනුවෙන් අපේ රටේ දමිළ ජාතිකයනුත් 'සැමීගේ කතාව' වෙනුවෙන් රංගනයෙන් එක්‌ව සිටිනවා. තාක්‌ෂණික ශිල්පීන් ලෙස, සහාය නිෂ්පාදනය සහ සහාය අධ්‍යක්‌ෂණය විමල් දේශප්‍රිය, කැමරාව රුවන් කොස්‌තා, කලා අධ්‍යක්‌ෂණය වෙලේගෙදර රණසිංහ, ඇදුම් නිර්මාණය අතුල සුල්තානාගොඩ, වේශ නිරූපණය හේමන්ත ගමගේ, නිෂ්පාදන කලමනාකරු සරත් විඡේසේකර, සංගීත අධ්‍යක්‌ෂණය ලක්‌ෂ්මන් ජෝසප් ද සේරම් ද දායකත්වය දැක්‌වූවා.

ඔබේ කලා දිවියේ ඉදිරි නිර්මාණකරණයන් වෙනුවෙන් තිබෙන සූදානම මොනවිදිහද...?

ඇත්තෙන්ම චිත්‍රපට හැදීම තමයි මගේ තෘප්තිය, විශේෂයෙන්ම ඒ තෘප්තිssය ප්‍රේක්‍ෂකයාටත් දැනෙන්න ලබා දීම වෙනුවෙන්, නිර්මාණ හැසිරවීමට උත්සුක වීම අමතර සතුටක්‌. ඉතිං...මම මෙතැනින් නවතින්නේ නැහැ.

ඔබේ පවුලේ තොරතුරු සහ සිහිපත් කළ යුතු පිරිස ගැනත් පැවසුවොත්...

මම විවාහකයි. මගේ ආදරණීය බිරිඳ යමුනා. මට දරුවො තිදෙනයි. අපි පදිංචිව සිටින්නේ කැනඩාවේ. මගේ පවුලේ හැමෝමත් කලා ලොවේ විශාල පිරිසකුත් මට කලාවේ නියෑළීමට විශාල සහායක්‌ ලබා දෙනවා. ඉතිං..ඒ හැමෝටම හදවතින්ම කෘතවේදී වෙනවා. විශේෂයෙන් 'සැමීගේ කතාව' තිරයට ගෙන ඒම වෙනුවෙන් මා සමග සිටි හැමෝටත්.

සිය කුළුඳුල් සිනමා භාවිතය, ජාත්‍යන්තරයට ගෙන යමින්, එහිදී සම්මානයට පාත්‍රවෙමින්, උපන් බිමට කීර්තියත්, ශ්‍රී ලාංකික සිනමාවට ගෞරවයත් ගෙන ආ අධ්‍යක්‍ෂ, ප්‍රියංකර විතානාච්චි කලා ශිල්පියාණන්ට සුබ පතන අපි, ඔහුගේ ඉදිරි නිර්මාණ දිවිය දෙස ද දැස්‌ දල්වා බලා සිටිමු.

සුජීව තත්සර

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.