ඛනිජ තෙල්වලට සියලු ගෙවීම් කරන්නේ විදෙස්‌  ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදලින්
- ඇමැති ඩිලාන් පෙරේරා කුරුණෑගලදී කියයි

බන්ධුල හේරත් ආර්. එම්. ඩබ්ලිව් බණ්‌ඩාර රණවීර මනුකුලසූරිය

විදේශ රැකියාවලට ගිය අය රට විරුවන් කියලා හඳුන්වන කොට සමහරු අපට සමච්චල් කළා. මගේ කැබිනට්‌ සගයන් පවා මට හිනා වුණා. විදේශ රැකියාවලින් ජීවිතය සරුසාර කර ගත්තු උදවිය ගැන වැඩි දෙනා මාධ්‍යයෙන් කතා කරන්නේ නැහැ. විදේශ රැකියාවක්‌ කරලා ජීවිතය ජය ගත්තු එක රසවත් මාතෘකාවක්‌ නෙමෙයි කියලා හිතනවාද දන්නේ නැහැ.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දේශනයේදී පැවැසීය. මෙම දේශනය කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

අද වන විට රටේ විදේශ විනිමය ගෙන එන්නේ ප්‍රධාන වශයෙන් විදේශ රැකියාවල නිරත වන ශ්‍රමිකයන් විසිනුයි. ඒ කාලේ තේ, පොල්, රබර් වලින් අපට විදේශ විනිමය ලැබුණා. අද වන විට ලංකාවේ ඛනිජ තෙල්වලට ගෙවන සියලු ගෙවීම් සිදු කරන්නේ විදේශ ශ්‍රමිකයන් උපයන මුදලින්. මෙහිදී මෙරට කාන්තාවන් විදේශ රැකියාවල නිරත වන මුදල් තමයි අපේ විදේශ රැකියාවල ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ. ඉස්‌සර මිනිස්‌සු තේ ගහට, රබර් ගහට වැන්දා වාගේ අද අපිට විදේශ ගතවෙලා මුදල් උපයන කාන්තාවට වඳින්න වෙනවා. නමුත් මෙවැනි සුවිශේෂී මෙහෙවරක්‌ කරන විදේශ රැකියාවල නිරත කාන්තාව දිහා සමාජය බලන්නේ සමහර වෙලාවට කැත විදියටයි. විදේශ රැකියාවල නිරත ජීවිත සීයයට අනුපහක්‌ සාර්ථකයි. අඩු පාඩු තියෙන්නේ සීයයට පහක්‌ විතරයි. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සේවය කරන අපේ නිලධාරි නිලධාරිණියන් මාර්ගයෙන් විදේශ රැකියාවල නිරත පිරිසගේ තොරතුරු වාර්තාවක්‌ ලබා ගන්නවා. වයස අවුරුදු පහට (05) අඩු දරුවෝ ඉන්න අම්මලා රට යවන්නේ නැහැ. මේ නිසා දැන් විදේශ රැකියාවල යන කාන්තාවන්ගේ ප්‍රතිශතය 37% දක්‌වා ඩු වෙලා තියෙනවා. නමුත් මෙම අඩු වුණ ප්‍රතිශතයට සමගාමීව පිරිමි ශ්‍රමිකයන්ගේ වැඩිවීමක්‌ විදේශ රැකියාවල තිබෙනවා. අප අලුත් විදේශ රැකියා වෙළෙඳපල නිර්මාණය කොට තිබෙනවා.

ගොඩක්‌ වෙලාවට පිටරට රැකියාවකට යන්නේ ගෙයක්‌ හදා ගන්න. දරුවන්ට උගන්වන්න. නිවාස ප්‍රශ්නය මූලික කරගෙන රට යන. අයට අපි වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කරනවා. අපි සැලසුම් කරලා නිවසක්‌ හදලා දෙනවා. ලී බඩු පවා දෙනවා.

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හා කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රංදෙණිය මහතා,

විදේශ රැකියා ආරම්භය ඇති වුණේ 1976 නොබැදි ජාතීන්ගේ සම්මේලනය සමගයි. ඊට පස්‌සේ 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථිකය සමග විදේශ රැකියා ක්‍ෂේත්‍රය තනිකර පෞද්ගලික අංශයට යනවා. එය අද වන විට සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනවා.

අද වන විට ලක්‍ෂ විස්‌සක්‌ විදේශ රැකියාවල නිරත වෙලා ඉන්නවා. දවසකට 700 - 800 ක්‌ අතර ප්‍රමාණයක්‌ විදේශ ගත වෙනවා.

ජනමාධ්‍යවේදියාට මෙහිදී විශාල කාර්ය භාරයක්‌ තිබෙනවා. විදේශ රැකියාවල නිරත වුවන් කෙරෙහි සමාජයේ යහපත් ආකල්පමය වෙනසක්‌ සිදු කළ යුතුයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.