ගාමිණී දිසානායක මාව හතරවැනි තට්‌ටුවට ගෙනිච්චා...

'සර් පාලිත පෙරේරා' නේද. අනේ සර් සල්ලි එපා. මම සර් ගැන ලිපියක්‌ 'දිවයින' පත්තරේ දැකල කියෙව්වා. ඇත්තටම මාරයි සර්.'

ඉහත වදන් පෙළ පාලිත පෙරේරාට කීවේ රුක්‌මල්ගම හරහා ධාවනය වන අතුරුගිරිය බසයේ කොන්දොස්‌තර මහතාය. ඔහු ටිකට්‌ කඩන ගමන් සිටගෙන සිටි පාලිත පෙරේරාට එසේ කීවේ 'අපි නොදන්න ක්‍රිකට්‌' හි පුරා සති දෙකක්‌ පාලිත පෙරේරා අපිට කියූ ඒ රසවත් සිදුවීම් 'දිවයින ඉරිදා සංග්‍රහයෙන්' කියවීමෙන් පසුවය. ඒ සිදුවීමත් මතක්‌ කර දෙමින් 'අපි නොදන්න ක්‍රිකට්‌' හි පාලිත පෙරේරා තෙවැනි ඉනිමට මෙසේ ප්‍රවිශ්ට විය.

"1992 දී මමයි, බන්දුල වර්ණපුරයි, වජිර විඡේවර්ධනයි ගියා පකිස්‌තානයේ තිබුණ තරගාවලියක්‌ ආවරණය කරන්න. ඒ තරගය තිබුණෙ රාවල්පින්ඩිවල අලුතින් හදල තිබුණ ක්‍රීඩාංගණයක. හැබැයි ඒ ක්‍රීඩාංගණයේ වැඩ ඉවර වෙලා තිබුණෙ නැහැ. තරගය බලන්න අතුරු සිදුරු නැතිව සෙනග ක්‍රීඩාංගණයට ඇවිල්ල හිටියා. තවත් විශාල පිරිසක්‌ එළියෙ ඉන්නවා ඇතුළට එන්න බැරිව. ටික වේලාවක්‌ යන කොට එළියෙ හිටපු ප්‍රේක්‍ෂකයෝ ක්‍රීඩාංගණය හදන්න ගෙනල්ල තිබුණ ගඩොල්වලින් ක්‍රීඩාංගණය ඇතුලට ගහනවා. අපි හිටපු ක්‍රීඩා මණ්‌ඩපයටත් ගඩොල් කැට ආවා. පස්‌සෙ සිදුවීම හොයල බලන විට එළියෙ ඉඳල තියෙන්නෙ තරගය බලන්න ප්‍රවේශපත්‍ර අරගත්තු මිනිස්‌සු. ඒ අයට ඇතුළට එන්න විදිහක්‌ නැත්තෙ පකිස්‌තාන් පොලිසියෙ කට්‌ටිය ටිකට්‌ නැති මිනිස්‌සුන්ගෙන් සල්ලි අරන් ඇතුළට දාපු නිසා. ටිකට්‌ ගත්ත කට්‌ටිය එළියෙ. කොහොම හරි පොලිසියෙන් ඇවිල්ලා කඳුළු ගෑස්‌ ගහල තමයි ගැටුම නැවැත්තුවෙ. තරගය පටන් ගන්න ඉස්‌සෙල්ල ක්‍රීඩාංගණය ඇතුළෙ ගඩොල් තිබුණ ලොරියකට පටවන්න තරම්. මැච් එක ඉවර වෙලා අපි යනකොට ඇතුළෙ තිබුණ වටින කාපට්‌ වගයක්‌ රෝල් කරගෙන පොලිසියෙන් කරේ තියන් අරන් යනවා. හොඳ පුටු එහෙමත් ඒ අය උස්‌සගෙන යනවා. මේක දැකල මම පකිස්‌තාන් ජාතික ලකුණු සටහන්කරුගෙන් ඇහැව්වා. 'බලන්නකෝ මේ උසස්‌ පොලිස්‌ නිලධාරීන් කොච්චර හොඳද. ඒ අය තරගය ඉවර වෙච්ච ගමන් අස්‌පස්‌ කරන හැටි කියලා. පස්‌සෙ ලකුණු සටහන්කරුවා කිව්වා, "නැහැ ඒ අය අස්‌පස්‌ කරනව නෙමෙයි ඒවා ඒ අය ගෙදර අරන් යනවා.' කියල. පකිස්‌තානයේ 'හොරා' පොලිස්‌ සිදුවීම ගැන පාලිත පෙරේරා පැවසීය.

1992 සංචාරයේදීම පකිස්‌තානයේ ඉන්සමාම් උල් හක්‌ගේ උපන්ගම වූ මුල්ටාන්හි පැවැති එක්‌දින තරගයක්‌ විස්‌තර ප්‍රචාරය කරන්න ගිහිල්ලත් මට අපූරු සිදුවීමක්‌ වුණා. ඒ ක්‍රීඩාංගණයේ අපි හිටපු අට්‌ටාලය තිබුණෙ අඩක්‌ සාදා තිබූ තෙමහල් ගොඩනැගිල්ලක වහලයක්‌ මත. දෙවැනි මහලේ සිට තුන්වැනි මහලේ වහලට නගින්න තිබුණෙ ඇලුමිනියම් ඉණිමගක්‌. මම මේක දැකපු ගමන් විස්‌තර විචාරය කරන්න බැහැ කියල තීරණය කළා. පස්‌සෙ බන්දුල වර්ණපුරයි වජිර විඡේවර්ධනයි මාව අමාරුවෙන් උඩට ගත්තා. කොහොම හරි මම ආයිත් කන්නවත් බිමට බැස්‌සෙ නැහැ. තරගය ඉවර වෙලා බන්දුල වර්ණපුරයි වජිර විඡේවර්ධනයි බිමට බැහැල මට බහින්න කියනවා. මට මේකෙන් බහින්න බැහැ. පස්‌සෙ තරගය ඉවර වෙලා යන ප්‍රේක්‍ෂකයන්ව බන්දුල වර්ණපුර නවත්තගෙන මට හූ කියන්න ගත්තා. දැන් දාහක්‌ විතර මට හූ කියනවා. බැරිම තැන බළලකු ගහකින් බහින්න වගේ ඉණිමග බදාගෙන පහළට බැස්‌සා.'

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක බන්දුල වර්ණපුර තරග තහනමකට ලක්‌වන්නට පෙර සහභාගි වූ අවසන් ටෙස්‌ට්‌ තරගයේ මතකය අවදි කළ පාලිත, " 1982 දී අපි ඉන්දියාවෙදි සහභාගි වූ පළමු ටෙස්‌ට්‌ තරගය. ඒ කාලෙ අපේ රූපවාහිණිය වර්ණ. ඒත් ඉන්දියාවෙ කළු සුදු. ඒ තරගය ඉන්දියාව පරාද වෙන්න ගිහිල්ල අනූ නවයෙන් බේරුණා. මට මතක හැටියට සුනිල් ගවස්‌කාර්ව වට කරල පන්දු යවපු එකම ඉනිම ඒක වෙන්න ඇති. පන්දු යවන්නා හැරුණු කොට අනිත් සේරම ගවස්‌කාර් වටේට තියල තමයි පන්දු යෑව්වෙ. පස්‌සෙ බොහොම අමාරුවෙන් ඉන්දියාව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තා. මම තරගය ඉවර වුණ ගමන්ම ගවස්‌කාර්ලාගෙ ෙඩ්‍රසින් රූම් එක ගාවට ගියා. එතනට යනකොට ගවස්‌කාර් කකුලක්‌ පුටුව උඩට තියාගෙන ෆEඩ් ගලවන ගමන් කේන්තියෙන් කියනවා මේ පොඩි කොල්ලන්ගෙන් අපිට ගොඩක්‌ දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා. ඊට පස්‌සෙ තරගයේ විනිසුරුවන් මුණ ගැහෙන්න ගියා. මම එතනට ගියේ විශේෂයෙන් ඒ තරගයේ විනිසුරුවරයෙක්‌ වූ ස්‌වරුප් ක්‍රිෂන්ව මුණ ගැහෙන්න. එයා පුංචි අලි පැටියෙක්‌ වගේ. එතනට යනකොට ස්‌වරුප් වතුර ගේන කළ ගෙඩියක්‌ කටේ තියාගෙන උඩබලාගෙන ගුඩු.. ගුඩු.. ගාලා වතුර බොනවා. ඒක දැකල මට හොඳටම හිනා ගියා. ඊට පස්‌සෙ එයා අල්ල පුරවල බුලත් විටක්‌ අරගෙන කටේ ඔබා ගත්තා. මම ළඟට ගිහිල්ල ඇහුවා ඔබ විනිශ්චයක්‌ දෙනකොට ගන්න ක්‍රමවේදය (Pause and Decide) මොකක්‌ද කියලා. එයා කිව්වා හොඳ හුස්‌මක්‌ සහ හොඳ විරාමයක්‌ අරගෙන තමයි තීරණය දෙන්නෙ කියලා. හැබැයි එයාගෙ තරම කිව්වොත් ලෙග් බයිස්‌ එකක්‌ දෙන්න කකුල උස්‌සගන්නවත් බැහැ. මෙයා 1992 දී පිළිකාවක්‌ හැදිල මිය ගියා.

ටෝනි ග්‍රේග්ගේ අන්තිම ශ්‍රී ලංකා සංචාරයේදී පාලිත පෙරේරා සමග ඡායාරූපයකට පෙනී සිටි බවත් ඔහු ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය අන්තිම පොත වූයේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ලියූ 'සතාසිවම් ඔෆa සිලෝන්' කෘතිය බවත් පාලිත සිහිපත් කරයි. "හැබැයි ටෝනි ඒ පොත ඔස්‌ටේ්‍රලියාවට ගිහිල්ල කියවන්නම් කියල මට කිව්වා. ඒත් එයා ඔස්‌ටේ්‍රලියාවට බැහැපු ගමන් ගියේ රෝහලට."

සිංහල විස්‌තර විචාරයට මුල් කාලයේ ඇතැම් මිනිසුන් සිනා වුවද පසු කාලීනව ඉංග්‍රීසි විස්‌තර විචාරයේ වෙනස්‌කම් දැක පාලිත විස්‌තර විචාරක ජෙෆa බෝයිකොට්‌ගෙන් මෙසේ අසා ඇත. "ඔබ ඉංග්‍රීසිකාරයෙක්‌. ඇයි නිතරම ඌ ශබ්දය හැම වචනයකදිම වැඩිපුර කියවෙන්නෙ. එමපච එකට ස්‌තුම්ප් කියන්නෙ. මබ එකට රුන් කියන්නෙ කියල ඇහැව්වා. එතකොට එයා කිව්වෙ 'මම ඉංග්‍රීසිකාරයෙක්‌ තමයි. ඒත් මම උපන්නෙ යෝක්‌ෂර්වල. එහෙ මිනිස්‌සු නිතරම ඌ ශබ්දය උච්ඡාරණය කරන විදිහ ඒක. ඒ නිසා මම ගමේ විදිහ වෙනස්‌ කරන්නෙ නැහැ." යනුවෙන් ජෙෆa බෝයිකොට්‌ පාලිතට පවසා ඇත.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියකු ලෙස හතරවැනි තට්‌ටුවට දෙවරක්‌ කට උත්තර දීම සඳහා ගිය එකම මාධ්‍යවේදියා වන්නේද පාලිත පෙරේරාය. ඒ රසවත් සිදුවීම ඔහු මෙසේ විස්‌තර කරයි.

"මම ඒ කාලෙ ගුවන් විදුලියේ වැඩ කරන ගමන් පුවත්පත්වලට ලියන්න ගත්තා. ක්‍රිකට්‌ පමණක්‌ නොවෙයි. කෙටිකතාත් ලිව්වා. මම කල්පනා සඟරාවට ලියන ගමන් බන්දුල වර්ණපුරලගෙ තරග තහනම මුල සිට අගට ලිව්වා. රාජ්‍ය බලපෑම නිසා කවුරුත් මේ සිදුවීම ලියන්න ගියේ නැහැ. ටෝනි ඕපාත තමයි මේක පිටිපස්‌සෙ හිටියෙ. එයාවත් ලංකාවට ගෙන්න ගෙන වර්ණපුරවයි ටෝනිවයි ඉන්ටවිව් කරල මම කතාව ලිව්වා.

මම ටෝනිගෙන් ඇහුවා කොහොමද පසුබිම ඇතිවුණේ කියලා. එයා කිව්වා ඒ කාලෙ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය සහ කණ්‌ඩායමේ අවබෝධය බිදිල තිබුණෙ. මට හිතුනා මේ අවස්‌ථාව තමයි හොදම අවස්‌ථාව කියල මේක සැලසුම් කළා. දුලිප් මෙන්ඩිස්‌ට සහ රෝයි ඩයස්‌ට මුලින්ම කිව්වා. ඒත් දුලිප්ලගෙ ගෙදර තිබුණ පාටියකදි මේක ලීක්‌ වුණ හින්ද අන්තිම මොහොතෙදි මේ දෙන්න කර ඇරිය නිසා වර්ණපුරට කතා කළා කියල එයා කිව්වා. මම ඇහැව්වා බන්දුලගෙන් දුවන කෝච්චියට බෙල්ල තිබ්බෙ ඇයි කියලා. එයා කිව්වෙ මම කවදාවත් යන්න හිටපු ගමනක්‌ නෙමෙයි මේක. පාලක මණ්‌ඩලයේ ඒකාධිපති පාලනය නිසා ඇතිව තිබූ දරදඬු පාලනයට රිදවන්න මේ සංචාරය ගියා කියල.

පස්‌සෙ බන්දුල සඳහන් කළ ක්‍රිකට්‌ ආයතනයේ පාලකයකුගෙ නම බෝඩ් කෑල්ලක ලියල බල්ලෙක්‌ගෙ කරේ එල්ලල බ්ලූම්ෆSල්ඩ් තරගයක්‌ අතරතුරදි පිට්‌ටනිය වටේ යෑව්වා. පස්‌සෙ ඒ පුද්ගලය කියල තියෙනව වර්ණපුරගෙ ගෙදර තිබුණ පාටියකදි එයාගෙ පියාට පුතාට කැප්ටන් කරන්න ඕනනම් බ්ලූම්ෆSල්ඩ් එකෙන් අයින් වෙන්න කියලා. මේ හේතු නිසා තමයි ඔය ගැටලුව ඇති වෙලා තිබුණෙ කියල මම ලිව්වා. මේ තරගාවලියට යන්නෙ නැහැ කියල බොරු නිව්ස්‌ එකකුත් ටෝනි ඕපාත පත්තරේ දැම්මා. එතකොට කට්‌ටියගෙ අවධානය වෙන පැත්තකට යන හින්ද තමයි එහෙම දෙයක්‌ කළේ. ඊට පස්‌සෙ දෙන්නා දෙන්නා තමයි ගුවන්තොටුපළටත් ගියේ. මේකට ගුවන් ප්‍රවේශපත්‍ර ගෙනාවෙ දකුණු අප්‍රිකාවෙ ඉදන් සුදු කාන්තාවක්‌. කටුනායක ඉඳන් හොංකොං යන්න. හොංකොං වලදි දකුණු අප්‍රිකානු ඒජන්තවරයෙක්‌ මේ අයට දෙනවා. තායිපේට යන්න. ඊට පස්‌සෙ තායිපේ ඉදන් ජොහැන්ස්‌බර්ග් වලට කට්‌ටිය යනවා. මේ සිදුවීම මම කල්පනා සඟරාවට ලිව්වා 'තහනම් ගහේ ගෙඩි කෑ බන්දුල වර්ණපුර සහ පිරිස්‌ යන සිරසින්.

මගේ කරුමෙට මේ මැගසින් එක පිටවෙලා 1984 මාර්තු මාසයෙ නවසීලන්තය සමග ටෙස්‌ට්‌ තරගයක්‌ තිබ්බා අස්‌ගිරිය ක්‍රීඩාංගණයේ. මම ගුවන් විදුලියෙ විස්‌තර විචාරකයා. මේ තරගය ශ්‍රී ලංකාව දවසක්‌ ඉතිරිව තිබියදි අන්ත ලෙස පැරදුනා. මේ පරාජයෙන් කුපිත වූ මිනිස්‌සු හූ කියල ගල් මුල් ගහල මහ විනාශයක්‌ කරන්න ගියා. පස්‌සෙ පොලිස්‌ ආරක්‍ෂාව මැද කණ්‌ඩායම ක්‍රීඩාංගණයෙන් එළියට ගෙනිච්චා. මේ සිදුවීම ඇවිස්‌සුවෙ පාලිත තමයි. එයාගෙ විස්‌තර විචාරයෙන් ප්‍රේක්‍ෂකයන්ව උසි ගැන්වුවා. ඊට මාසයකට ඉස්‌සල්ල කල්පනා සඟරාවෙත් සිදුවීම ලියල තිබ්බා කියලා කට්‌ටියක්‌ මගෙ කරපිට මේ සිදුවීම පැටෙව්වා. ගාමිණී දිසානායකගෙ ගමත් නුවර හින්ද ඒක එයාගෙ අභිමානයටත් ප්‍රශ්නයක්‌ වෙන්න ඇති. ඒක නිසා සීඅයිඩී එකෙන් කුරුඳුවත්ත පොලිසිය හරහා මට හතරවැනි තට්‌ටුවට එන්න කිව්වා. මම වරදක්‌ කළේ නැති නිසා ගියේ නැහැ. පස්‌සෙ ආයිත් එන්න කිව්වහම මම ගියා.

පොලිසියට ගියාම ලියුමක්‌ දුන්නා අහවල් දවසෙ හතරවැනි තට්‌ටුවට එන්න කියලා. 1984 අප්‍රේල් 19 වැනිදා සෙල්වකුමාර පොලිස්‌ පරීක්‍ෂක තුමා ඉදිරියේදි මම කට උත්තර දුන්නා. ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩකයකු පමණක්‌ නොව මගේ ක්‍රිකට්‌ විචාරක රසිකයෙක්‌. එයා කිව්වා ඇමැතිතුමා තමයි අපිට කිව්වෙ මේ සිදුවීම ලියන්න සල්ලි අරන් තියෙනවද කියල පරීක්‍ෂා කරන්න කියලා. ඊට පස්‌සෙ මම එයාට කිව්වා මම හිඟා කෑවත් ඒ වගේ ජරා වැඩක්‌ කරන මිනිහෙක්‌ නෙමෙයි කියල ලියා ගන්න කියලා. මගේ මාධ්‍ය ජීවිතයේදී කෙනෙක්‌ ඇසූ ජරාම ප්‍රශ්නය මේකයි කියලත් කිව්වා. මම කියන දේ ලියා ගන්නෙ නැතිව සෙල්වකුමාර මා දිහා බලාගෙන හිටියා. ඒ පාර මම කිව්වා ඕක ලියන්න කියලා. ඒ පාර සෙල්වා කිව්වා මේක ඇමැතිතුමා බලනව කියලා. මම ආයිත් කිව්වා බැලුවට කමක්‌ නැහැ ලියන්න කියලා. ඊට පස්‌සෙ කොහොම හරි මට ආයිත් හතරවැනි තට්‌ටුවෙන් පහළට බැහැල ගෙදර යන්න පුළුවන් වුණා. ඒත් ටික දවසකින් මට ආයිත් මේ සිදුවීමට හතරවැනි තට්‌ටුවට යන්න වුණා.

ඔය සිදුවීමෙන් පස්‌සෙ පොදුරාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය සමුළුව බටහිර ඉන්දීය කොදෙව් හි දූපතක පැවැත් වුණා. ඒකට ඉංග්‍රීසි සහ සිංහල භාෂාව දන්න නිසා මට යන්න අවස්‌ථාවක්‌ ආවා. ඒත් අන්තිමට මාව කපල දැම්මා. පස්‌සෙ මාව හතරවැනි තට්‌ටුවට ගෙනිච්ච ගාමිණී දිසානායකම මාව ඡේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ලගට එක්‌කගෙන ගිහිල්ල සංචාරය යන්න අවස්‌ථාව හදල දුන්නා.

පාලිත පෙරේරා 'අපි නොදන්න ක්‍රිකට්‌' වලට පැවසූ තතු 'අපි නොදන්න ක්‍රිකට්‌' ඔස්‌සේ මෙරට සුවහසක්‌ ප්‍රේක්‍ෂකයන් කියවන්නට ඇත. එහෙත්, පාලිත පෙරේරා නමැති දැවැන්ත මාධ්‍යවේදියා පිළිබඳව මෙම වදන් පෙළත් මෙසේ සටහන් කරමි. පාලිත පෙරේරා යනු මහත්වරුන්ගේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට උපන් සැබෑ මහත්මයෙකි. අකුරට වැඩ කරන්න පුරුදුව සිටි ඔහුට නූලට සියල්ල අවශ්‍යය. එබැවින් ඕනෑවට වැඩිය අකුරට වැඩ කිරීම සිය පවුල් ජීවිතයද අවුල් විය හැකි යෑයි ඔහුගේ මිතුරකු මීට දශක ගණනාවකට පෙර පාලිතට පවසා ඇත. එහෙත් අද සුන්දර මිනිසකු ලෙස පාලිත පෙරේරා යන නාමය පතුරා අවසන්ය. ඔහු කළ මෙහෙවර ඊළඟ යුගයේ කවුරු කරනු ඇතිද? පාලිතට මෙන් සුන්දර අතීතයක්‌ තවත් පරම්පරාවකට ඉදිරියේදී අත්විඳින්ට ලැබේවිද? කෙසේ වෙතත් පාලිත පෙරේරා යනු මෙරට ක්‍රිකට්‌ වෙනුවෙන් තිරය පිටුපස සිට දැවැන්ත මෙහෙයක්‌ කළ මාධ්‍යවේදියෙකි. වසර 52 ක්‌ පුරා ඔහු කළ මාධ්‍ය මෙහෙවර මෙතැකයි කියා නිම කළ නොහැක.

අසේල විතාන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.