ගුරු හාමුදුරුවන් වහන්සෙ
මට බුදුවෙන්න විවරණ දුන්නා


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ තෙළෙස්‌වැනි මහානායක පදවියට නිකායේ කාරක-පාලක සංඝසභාව මගින් ඒකච්ඡන්දයෙන් පත්කොට වදාළ මහනුවර කුංඩසාලේ හුරීකඩුව, විද්‍යාසාගර මහ පිරිවෙන්a මහා විහාරාධිපති විනය විශාරද රාජකීය පණ්‌ඩිත, අග්ග මහා පණ්‌ඩිත සිරි සීලවංශ වංශාලංකාර ශාසන සෝභන ස්‌ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී්‍ර අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා ස්‌වාමින්ද්‍රයන් වහන්සේ හෙළ බොදු පිළිවෙත සැරසූ උත්තම පැවිදි මිණක්‌ වන්නාහ. උන්වහන්සේගේ පිළිවෙත් සරු දිවි පෙවෙත වන්දනාවට පත් කරමින් ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමිපණෝ අද සිට පැවිදි ප`ඩි මිණි පහන් තීරය සරසති. මේ ඒ ලිපි මාලාවේ සිව්වැන්නය.

මහානායක හාමුදුරුවෝ පණ්‌ඩිත විභාගයත් පාස්‌ කළානේ..... ශාස්‌ත්‍රිය වශයෙන් මොනවද කළේ.

අපේ ගුරු පියාණන් වහන්සේ තෙරිපැහැ මහෝපාධ්‍යාය අනුනායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේයි. මම උන්වහන්සේගේ හතළිස්‌ දෙවැනි ගෝලයා. අප එතරම් පොහොසත් උදවිය නොවෙයි. නමුත් අපේ ගෙවල් වල උදවිය හරිම ශ්‍රද්ධාවන්තයි.

කැටවල විද්‍යාලෝක පිරිවෙන ආරම්භ කළේ මම. කැටවල කියන්නේ තලාතුඔය පාරේ ගියාම හැතැප්ම හතරයි, නුවර ඉඳලා. අපේ ගුරුපියාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක්‌ වන වේරකොන වත්තේ පඤ්ඤාවංශ හාමුදුරුවන් වැඩ සිටිය තැන. උන්වහන්සේ තමයි අපේ ගුරු හාමුදුරුවන්ගෙ පළවෙනි ගෝලයා. එතන විද්‍යාලෝක පිරිවෙන කියලා පිරිවෙනක්‌ ආරම්භ කළෙත් මම. ඒ පිsරිවෙන දැන් හුඟාක්‌ දියුණුයි. ඒ පිරිවෙනෙත් මා අවුරුද්දක්‌ විතර ඉගැන්වුවා. ඒ කාලයේ පිරිවෙන් ගුරුවරුන්ට ආණ්‌ඩුවෙන් පඩි ගෙවීමක්‌ නැහැ. හැබැයි මගේ කාලයේ තමයි ගුරුවරුන්ට ආණ්‌ඩුවෙන් පඩි ගෙවන්න පටන් ගත්තේ. ඒ වෙනකොට ඒ පිරිවෙනේ කෘත්‍යාධිකාරී වශයෙන් සිsටියේ කැටවල පඤ්ඤාකිත්ති ස්‌වාමින් වහන්සෙයි. පඤ්ඤාකිත්ති කියන්නේ පඤ්ඤාවංශ ස්‌වාමින් වහන්සේගේ ගෝලයා. ඔය පිරිවෙනේ අවුරුදු දොළහක්‌ විතර උගන්වන කාලයේ මුදල් අතින් විය හියදම් අතින් හරිම අමාරුයි. සහෝදර ස්‌වාමින් වහන්සේලාගේ පිහිටෙන් තමයි කටයුතු කරගෙන ගියේ. පිරිවෙන ලියාපදිංචි කළාට පසුවත් අපට ලැබුණේ රුපියල් තුන්සියක්‌ වගේ සුළු මුදලක්‌. ඒ කාලයේ ඉතින් අපි සල්ලි අල්ලන්නෙත් නැහැනේ. සාමනේර කාලයේ ඉඳලාම ඒ ප්‍රතිපත්ති ඉතා හොඳින් ආරක්‌ෂා කළා. ඔය කාලයේ අපි තේ වතුර බිව්වෙත් නැහැ. පස්‌සෙ පස්‌සේ තමයි තේ බොන්න පටන් ගත්තේ. පිරිවෙනට ආවාට පසුව තේ බීම වැඩි වැඩියෙන් කළා. අපේ සමහර ස්‌වාමින් වහන්සේලා ජීවිත අවසාන වෙනකම් ම අර පරණ ක්‍රමයටම තමයි ජීවිත ගත කළේ. දැන් ඉතින් ඒ තේ එක කිරි තේ එකක්‌ බවට පත්වෙලා. දැන් ඒ ගැන කතා කිsරීමෙන් වැඩක්‌ නැහැ. නිතර නිතර ශාසනයේ පිරිහීම ගැන මටත් ලියුම් ලැබෙනවා. මහානායක වුණාට පස්‌සේ වැඩි වැඩියෙන් ඒ වගේ ලියුම් ලැබෙනවා. මම ඒ වගේ ලියුම් ලියලා අවසන් කරලා මගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන අපගේ ශිෂ්‍ය අධ්‍යාපනපති හුරීකඩුවේ පඤ්ඤාසේකර ස්‌ථවිරයන්ට දෙනවා කියවා බලන්න කියලා.

ඒ පිරිවෙනේ අවුරුදු දොළහක්‌ විතර උගන්වලා, 1967 අවුරුද්දේ හුරීකඩුවේ විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කළා. ඒ විතරක්‌ නොවෙයි සඳගිරිලෙන් තපෝවන පිරිවෙන හා අලුත්වත්ත සිරිසුමන පිරිවෙන, ගම්මැදගම පිරිවෙනත් ආරම්භ කිරීමට මූලිකව ක්‍රියා කළේ මම. හුරීකඩුව පිරිවෙනෙන් තමයි මම විශ්‍රාම ගියේ. ඒ වන විට පිsරිවෙන් ගුරුවරුන්ට රජයේ වැටුප් නියම වෙලා තිබුණා. ඒ නිසා මට විශ්‍රාම වැටුපක්‌ ලැබෙනවා.

අපේ ගුරු ස්‌වාමින්වහන්සේට නොකියා උන්වහන්සේගේ අවසරයක්‌ කැමැත්තක්‌ නැතිව මා කිසිවක්‌ කළේ නැහැ. ඒ තරමටම අප තුළ ගුරු භක්‌තිය තිබුණා. මේ අතර පණ්‌ඩිත උපාධියට පාසල්වල ගුරු පත්වීම් දෙන්න පටන් ගත්තා. අපේ පළාතෙන් ඒ සඳහා තුන් නමක්‌ තෝරා ගත්තා. ඒ තුන් නම පණ්‌ඩිත උපාධිධාරින්. එයින් එක නමක්‌ තමයි රඹුක්‌වැල්ලේ සුමංගල හාමුදුරුවෝ. උන්වහන්සේ මල්වතු පාර්ශ්වයේ ලේකම් ධුරයේත් කටයුතු කළා. අමරපුර නිකායේ මහාවත්තේ ගුණානන්ද ස්‌වාමින් වහන්සේත් තෝරාගෙන තිබුණා. රාමඤ්ඤ නිකායෙන් තෝරාගෙන තිබුණේ මාව. සුමංගල හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ කටයුතු කරමින්ම පාසල් පත්වීම ලබාගෙන ඒ පාසල්වලත් කටයුතු කළා. මහවත්තේ ගුණානන්ද කියන ස්‌වාමින් වහන්සේ පාසල් ගුරුපත්වීමක්‌ ලබාගෙන ගිහින් කාලෙකට පසුව සිවුරුත් ඇරලා නෝනා මහත්මයකුත් අරගෙන අන්තිමට මැරිලා ගියා. මටත් පත්වීම ලැබුණා. ඔය මම කැටවල පිරිවෙනේ උගන්වන කාලේ. මා ඉතින් අපේ ස්‌වාමින් වහන්සේගෙන් ඇහැව්වා මේ වගේ ගුරු පත්වීමක්‌ මට ලැබිලා තියෙනවා. ඒක බාරගෙන පත්වීමට යන්නද කියලා. එතකොට අපේ ස්‌වාමින් වහන්සේ මට කීවා,

''ඔයාව මහණ කළේ පඩි ගන්න රස්‌සාවක්‌ කරන්න නොවෙයි...'' කියලා.

ඒ ප්‍රකාශය එහෙම කළේ මාව මහණ කළ තෙරිපැහැ සීලවංශ මගේ ගුරු ස්‌වාමින් වහන්සේයි. ඔය අතර පැලෑනේ මහානායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් බුරුම රටේ සම්බන්ධයක්‌ ඇතිකරගෙන ත්‍රිපිටක විභාගයක්‌ පැවැත්වූවා. එයින් පළමුවෙන්ම විභාගෙන් සමත් වෙච්ච එක නමක්‌ තමයි මම. ඔය වෙනකොට මා හිටියේ විද්‍යානන්ද පිරිවෙනේ. ත්‍රිපිටක විභාගයෙන් මා පළමුවෙනියා බවට පත්වෙලා සමත්වෙලා තිබුණා.

මේ ත්‍රිපිටක විභාගෙන් සමත් වෙච්ච ඇත්තන් බුරුමෙට එක්‌කරගෙන ගොස්‌ අවුරුදු පහක විශේෂ පාඨමාලාවකට සම්බන්ධ කරන බවත් අපට උපදෙස්‌ ලැබුණා. නමුත් ඒ සඳහා යැමට බොහෝ දෙනාගේ වැඩි කැමැත්තක්‌ තිබුණේ නැහැ. ගෝල බාලයන් එසේ යෑවීමට ගුරු ස්‌වාමින් වහන්සේලාගේ කැමැත්ත ලැබුනෙත් නැහැ. ත්‍රිපිටක විභාගෙන් සමත් වෙච්ච ඇත්තන්ට විශේෂ ත්‍යාග පිරිනැමීමකුත් තිබුණා. ඒ සඳහා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් පැමිණියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය ධුරය හෙබවු නිදහසේ පියා වශයෙන් සලකන ඩී. එස්‌. සේනානායක ශ්‍ර්‍රSමතාණන් බව මා විශේෂයෙන් සඳහන් කරනවා. එතුමා තමයි අපට ත්‍යාග පිරිනැමුවේ. බුරුමයට යන්න අවස්‌ථාව උදා වූ නිසා ඒ වෙලාවෙත් මා ගිහින් අපේ ස්‌වාමින් වහන්සේගෙන් ඒ ගැන විමසුවා. එතකොට මා ප්‍රාචීන විභාගයත් අවසන් කරලයි හිටියේ. එකවරටම ලොකු ස්‌වාමින් වහන්සේ කිSවා,

''දැන් ඉතින් ඔයා ගියාම මට කවුද ඉන්නේ...?'' කියලා.

එතනින් බුරුම ගමනත් අත් ඇරලා දැම්මා. එකින් එක මම අත්හැර දැම්මේ මගේ ගුරු දේවයන් වහන්සේගේ වචනෙට කීකරු වීමක්‌ වශයෙනුයි. එබ`දු අවස්‌ථාවල මට හිතුනේ නැහැ ගුරු ස්‌වාමින් වහන්සේගේ වචනෙට පිටින් මොන විදියේ දෙයක්‌වත් කරන්න. ඒ තරමට අප ළඟා ගුරු ගෞරවය ගුරු භක්‌තිය තිබුණා. බොහෝ ඇත්තන් ගුරු ස්‌වාමින් වහන්සේලාගේ අදහසට එරෙහිව ගොහින් විනාශ වෙලාම ගියා. සමහර විට අකාලයේම මිය ගියා. හැමදාමත් ගුරු ස්‌වාමින් වහන්සේගේ අදහසට අනුව කීකරුව අවනතව කටයුතු කළ මට අවසානයේදී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවිය මහානායක පදවිය වැනි උසස්‌ තත්වයන්ටත් එන්නට අවස්‌ථාව ලැබුණා. ඒකයි ගුරු ස්‌වාමින් වහන්සේලාට කීකරුව අවනතව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය. ගුරුවරුන්ගේ බලය ආශිර්වාදය කරුණාව දයාව හැම විටකම ගෝල බාලයන්ගේ දියුණුවටම හේතු වෙනවා. ඒ නිසයි අපේ ස්‌වාමින් වහන්සේලා මේ ගුරුවරුන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීම අවශ්‍ය වන්නේ.

අපේ ගුරු ස්‌වාමින් වහන්සේගේ අපවත් වීම ගැනත් මා මෙහිදී කියන්නම ඕනෑ. පන්සලේ එක පැත්තක ධර්ම ශාලාව තියෙනවා. එකේ තමයි අපි බොහෝ වෙලාවල් වල පාඩම් කරමින් ඉන්නේ. අපේ ස්‌වාමින් වහන්සේ ඉන්නේ පොහොය ගෙයි. මේ වෙනකොට උන්වහන්සේට එහාට මෙහාට යන එක ටිකක්‌ අමාරුයි. පුටුවක තියාගෙන තමයි එහාට මෙහාට අරන් යන්නේ. ස්‌වාමින් වහන්සේ මොකක්‌ හෝ වුවමනාවක්‌ උනාම සිනුව නාද කරනවා. අපි එතනට ඉක්‌මනටම යනවා. ධර්ම ශාලාවේ ඉන්න මට පෙනුනා ලොකු ස්‌වාමින් වහන්සේ කැසිකිලියට යන බව. ඒ යන විටත් සාමාන්‍ය තත්වයේ නැති බව මට පෙණුනා. මට තේරුණා ස්‌වාමින් වහන්සේ ටිකක්‌ දඟලනවා වගේ . මම ඉක්‌මනින් ගියා උන්වහන්සේ ළඟට. උන්වහන්සේ මාව දුටුවා.

''ඔය ආවේ පේමසිරිද...? කියලා ඇහැව්වා.

ඒ එක්‌කම මට කීවා,

''ඔයා මට හුඟාක්‌ උදව් කළා... ඔයා දිහා මං බලාගෙන ඉන්නවා... ඔයාට බුදු බව ලැබේවා....'' කියලා මට ආශිර්වාද කළා.

අද වෙනකම්ම ඒ ගුරු ස්‌වාමින් වහන්සේ හොඳ හිතින් කළ ආශිර්වාදයේ බලය මට අඩුවක්‌ නැතිව තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ කවදාවත් ගෝලයෝ ගුරුවරුන්ට අකීකරු වෙන්න එපා. දරුවන් මව්පියන්ට අකීකරු වෙන්න එපා කියන එකයි. එහෙම හැදෙන වැඩෙන ගෝලයන්ටත් දූ දරුවන්ටත් යහපතක්‌ම වෙන බව මට කියන්න පුළුවන්.

ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.