පිළිකා රෝගීන් සඳහා රෝහල් 10 ක
අධිතාක්‍ෂණික ප්‍රතිකාර ඒකක තනයි


අජිත් අලහකෝන්

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදීම සඳහා දිවයින පුරා රෝහල් දහයක අධිතාක්‍ෂණික ප්‍රතිකාර ඒකක දහයක්‌ රුපියල් කෝටි හත්සියයක්‌ වැය කරමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත.

මෙම ප්‍රතිකාර ඒකකවල සවිකරනු ලබන අධිතාක්‍ෂණික රේ‚ය ත්වරක ප්‍රතිකාර යන්ත්‍රය මගින් පිටවන විකිරණ පිටතට කාන්දුවීම වැළැක්‌වීම සඳහා මෙම ප්‍රතිකාර ඒකක ඒ ඒ රෝහල්වල පරිශ්‍රයේ පොළොව යට ඉදිකෙරේ.

ප්‍රතිකාර ලබන රෝගියාට පමණක්‌ යා හැකිවන පරිදි අඩි පහළොවක්‌ පමණ උස, අඩි 25 බැගින් දිග හා පළලින් යුක්‌ත වූ කාමරයක මෙම යන්ත්‍රය සවි කෙරෙන අතර විකිරණ කාන්දුවීම වැළැක්‌වීම සඳහා එම කාමරය අඩි හතක්‌ ඝනකම ඇති කොන්ක්‍රීට්‌ බිත්තියකින් සමන්විත වේ. ඊට අමතරව ඊට මැදින් අඟල් හයක ඝනකම ඇති තහඩුවක්‌ ද සවි කෙරෙන අතර ඊට අදාළ පරිගණක ඒකකය ද පොළොව යට වෙනමම ඉදිකෙරේ.

මෙම එක්‌ ප්‍රතිකාර යන්ත්‍රයක මිල රුපියල් කෝටි 35 ක්‌ වන අතර පොළොව යට ඉදිකරනු ලබන සම්පූර්ණ ඒකකය සඳහා රුපියල් කෝටි 70 ක්‌ වැය කෙරේ.

මෙවැනි ඒකක දහයක්‌ මහරගම, මඩකලපුව, යාපනය, අනුරාධපුරය, බදුල්ල, රත්නපුර, මහනුවර, හම්බන්තොට ඇතුළු රෝහල් දහයක පොළොව යට ඉදිකෙරෙන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින" ට කීවේය.

දැනට පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන්නේ කොබල්ට්‌ නමැති යන්ත්‍රය මගින් වන අතර එමගින් නිකුත් කෙරෙන විකිරණ මගින් පිළිකා සෛලය පමණක්‌ නොව ඒ අවට ඇති අනෙකුත් සෛලත් හානියට පත්වන බව කී ඇමැතිවරයා මෙම අති නවීන යන්ත්‍රය මගින් පිළිකා සෛලයට පමණක්‌ විකිරණ ප්‍රතිකාරය ලබාදිය හැකි බව කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.