පෝෂන අවශ්‍යතාවට වැදගත් කිරි

නිරෝගී දරුවෙකු යනු රටක සමාජ හා ආdර්ථික සංවර්ධනය ඇති කිරීමේ මූලික අඩිතාලමයි. යහපත් මානසික හා කායික වර්ධනයකින් යුතු දරුවෙකු යනු තම දෙමව්පියන්ට මෙන්ම රටටද මහඟු දායාදයකි. පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාව ආර්ථික හා සාමාජයීය වශයෙන් කැපී පෙනෙන දියුණුවක්‌ ලබා තිබුණද දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඊට සමගාමීව වර්ධනය වී නොමැත. 2006/2007 වසරවල සිදු කළ සමීක්‌ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 29.9% ක්‌ රක්‌තහීනතාවෙන්ද, 29% ක්‌ විටමින් A ඌනතාවයෙන්ද පෙළෙති.

කුඩා දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතා, ආහාර රුචිය හා ගන්නා ආහාර ප්‍රමාණය එක්‌, එක්‌ වර්ධන අවධි තුළ වෙනස්‌ වෙයි. උදාහරණයක්‌ ලෙස පළමු මාස 6 තුළ ඉතාම සුදුසු ආහාරය මව්කිරිය. වයස අවුරුද්දක්‌ පමණ වන විට, එනම් නිවසේ සාමාන්‍ය ආහාර රටාවට දරුවා හුරුපුරුදු කිරීමේදී දරුවා ගන්නා ආහාර ප්‍රමාණය අඩුවන බවට බොහෝ දෙමව්පියෝ මැසිවිලි නගති. දරුවාගේ වේගවත් මානසික වර්ධනයත් සමග ආහාරයට අමතරව තවත් බොහෝ දෑ අත්දකින දරුවාට මෙය ස්‌වාභාවික වෙනසක්‌ වුවද, සමහර දරුවන්ට මෙම වෙනස ඉතා අහිතකර ලෙස බලපායි. එයට හේතුව කායික, මානසික වර්ධනය ඉහළ මට්‌ටමක පවතින මෙම අවධියේ නිසි පෝෂණය සැපයීමට දෙමව්පියන් අපොහොසත් වුවහොත්, එය දරුවාට දීර්ඝකාලීන බලපෑම් ඇතිකරන බැවිනි. දරුවෙකු දුවපැන ඇවිදීමේ සිට ඔහුගේ සියුම් චාලක හැකියාවන්, ගණිතමය හා තාර්කික ඥානය දියුණු කිරීම සඳහා ජීවිතයේ මුල් වසර කිහිපය, එනම් අවුරුදු 5 - 7 දක්‌වා කාලය ඉතා වැදගත් වේ. ඔබ මවක්‌ නම්, දරුවාගේ වෙනස්‌වීම් සමග ඔහුට මනා පෝෂණයක්‌ ලබාදිය යුත්තේ කෙසේ දැයි හොඳ අවබෝධයකින් සිටිය යුතුය.

දරුවා කුඩාය. වැඩිහිටියෙකු නොවේ. ඔහුගේ උදරයේ ප්‍රමාණයද ඉතා කුඩාය. ඔහුට මූලිකවම ආහාර, පරිසරය ආදිය හඳුන්වා දෙනු ලබන්නේ නිවසේදීය. සමහර දරුවන්ට කුසගින්නක්‌ නොමැති විටදීත් එකම වට්‌ටෝරුවකට සැකසූ ආහාර පිඟානක්‌ අතින් ගෙන නිවස වටා යමින් දරුවාට ආහාරය ද එපා කරවන ලෙස කවන මව්වරුන් ඔබ දැක ඇති. බත් කෑමට අල්ලසක්‌ ලෙස ටොµs, චොකලට්‌ දෙන බවට පොරොන්දු කරවාගෙන කවන අවස්‌ථාද තිබේ. එවැනි කරදරකාරී හා අයහපත් ආහාර පුරුදු දරුවාට මුලින්ම පුරුදු කරන්නේ කවුරුන්දැයි සිතා බලන්න. එබැවින් දරුවා මූලිකව ආහාරයේ රසට හුරුකරන මුල් වසර කිහිපය තුළදී ගුණවත් ආහාර රසවත් කර, විවිධත්වයකින් යුතුව දරුවාට කවන්න. එවිට ඒ රස ඔහුගේ දිවට හුරුවන අතර වයසින් වැඩෙත්ම ඔහුගේ ආහාර රුචියද ඒ අනුව සැකසෙනු ඇත.

සෑම විටම ඔබ උපමා කොට දරුවා ගැන සිතන්න. අධිකව මහන්සි වූ විට, නිදිමත වූ විට හා වෙනත් කිසියම් කටයුත්තක ඉතා අශාවෙන් නිරත වන විට අපට බඩගින්නක්‌ නොදැනේ. දරුවාටද එසේම ය. ඔහුට අවශ්‍ය පරිදි, අවශ්‍ය ප්‍රමාණයෙන් ආහාර ගැනීමට ඉඩ දෙන්න. දවසක්‌ තුළ ඔහු ගන්නා ආහාරය සමතුලිත වේ නම් ඔබ ඒ පිළිබඳ සතුටු වන්න.

සමතුලිත ආහාරයක්‌ යනුවෙන් අදහස්‌ වන්නේ දරුවාගේ වර්ධනයට හා ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන සෑම පෝෂ්‍ය පදාර්ථයක්‌ම, එනම් ප්‍රොaටීන, කාබෝහයිඩේ්‍රට, මේදය, විටමින් හා ඛණිජ ලවණ ප්‍රමාණවත් ලෙස අඩංගු වන ආහාර වේලකි.

සමතුලිත ආහාරයක්‌ මූලිකව සකස්‌ විය යුත්තේ සියලුම ආහාර කාණ්‌ඩ වල එකතුවක්‌ ලෙසය. ඔබේ දරුවාගේ දෛනික ආහාරවේලට එකතු කරගත යුතුම ආහාර කාණ්‌ඩ හිහිපයකි. ඒවා නම් බත්, පාන් වැනි ධාන්‍යමය ආහාර හා අල වර්ග අයත් පිෂ්ඨමය ආහාර කාණ්‌ඩය, එළවළු හා පළතුරු ආහාර කාණ්‌ඩය, මස්‌, මාළු, බිත්තර හා පියළි භෝග සහිත ආහාර කාණ්‌ඩය සහ කිරි හා කිරි ආහාරයි. මෙම ආහාර ගත යුතු ප්‍රමාණයන් පිළිබඳව යම් අදහසක්‌ ඔබට ආහාර පිරමීඩය දෙස බැලීමෙන් ලබාගත හැක.

කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන යනු දරුවන් සඳහා ඉතා වැදගත් ආහාර කාණ්‌ඩයක්‌ වන අතර දරුවාගේ ආහාර වේලෙන් බැහැර කළ හැකි හෝ බැහැර කළ යුතු ආහාරයක්‌ නොවේ. එයට හේතුව කිරි යනු දරුවාගේ වැඩෙන අස්‌ථි වලට කැල්සියම් හා අනෙකුත් ක්‌ෂුද්‍ර පෝෂකද, දරුවාගේ වර්ධනයට අවශ්‍ය ප්‍රොaටීන හා ශක්‌තියද ලබාදෙන පරිපූර්ණ ආහාරයක්‌ වන බැවිනි.

කිරි මගින් සැපයෙන එක්‌ ප්‍රධානතම පෝෂ්‍ය පදාර්ථයක්‌ වන්නේ කැල්සියම්ය. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකු (අවු. 19 ත් 50 ත් අතර) සඳහා දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 1000 කි. එහෙත් අවුරුදු 18 ට අඩු, එනම් වැඩිවියට පත්වන වයසේ දරුවන්ට එම ප්‍රමාණය දිනකට මිලිග්‍රෑම් 1300 ක්‌ වේ. දරුවෙකු වැඩෙන කාලය තුළ කැල්සියම් අවශ්‍ය පමණ ලබාදිය යුතුය. කැල්සියම් බහුල බැවින්ද, අනෙක්‌ බොහෝ ආහාරවලට සාපේක්‌ෂව කිරි කැල්සියම් ඉතා හොඳින් ශරීරයට අවශෝෂණය වන බැවින්ද, කිරි ප්‍රථම ස්‌ථානයේ සිටී.

කැල්සියම් වලට අමතරව කිරි යනු දිනකට අවශ්‍ය ප්‍රොaටීන සහ ශක්‌ති ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ සපයන ආහාරයකි. කිරිවල අඩංගු සීනි පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. එහි අඩංගු වන්නේ ලැක්‌ටෝස්‌ නමැති සීනි වර්ගයයි. එය අනෙක්‌ සීනි මෙන් නොව දත් දිරා යැමේ අවදානම අඩු කරන අතර කැල්සියම් අවශෝෂණයද පහසු කරයි.

අපගේ ස්‌නායු පද්ධතියට හා රුධිර සෛල වලට ඉතා අවශ්‍ය විටමින් ඊ12 හා අනෙකුත් ඊ විටමීන වර්ගද, මනා දෘෂඨිය සහ ප්‍රතිශක්‌තිය සදහා වැදගත් වන විටමින් A ද, කිරි මගින් සැපයෙන විටමීන වර්ග අතර ප්‍රධාන වේ. විශේෂයෙන් යෝගට්‌ වැනි මුහුන් යොදා සාදන සමහර කිරි ආහාර වල ආහාර මාර්ග පද්ධතියට හිතකර ප්‍රොaබයෝටික්‌ස්‌ (ඡරදඉසදඑසජි) අඩංගු ය. එය නිරෝගී ආහාර මාර්ගයක්‌ සඳහා බෙහෙවින් උපකාරී වේ. එබැවින් දරුවාගේ ආහාරයට කිරි, යෝගට්‌, මුදවපු කිරි එක්‌කර ගැනීමෙන් වැඩි පෝෂණයක්‌ හා ආරක්‌ෂාවක්‌ සළසා ගත හැකිය.

ඔබේ දරුවාගේ කෙටි ආහාරවේල් අතරට, ප්‍රධාන ආහාරයෙන් පසු අතුරුපසක්‌ ලෙස පමණක්‌ නොව උදෑසන ආහාරයක්‌ ලෙස ත්‍රිපෝෂ හා ධාන්‍යමය ආහාර පිළියෙල කිරීමේදී කිරි හා කිරි ආහාර එක්‌ කළ හැක. දරුවාට පැණි බීම, සෝඩා බීම දීම වෙනුවට කිරි වීදුරුවකට හුරු කිරීම ඉතා අගනේය. අවුරුදු 1 ත් 2 ත් දරුවෙකුට දිනකට කිsරි වේලක්‌ද, අවුරුදු 2 ට වැඩි දරුවෙකුට දිනකට කිරි වේල් 1-2 පමණද ලබාදීම සුදුසුය.

අද දරුවන්ට ආහාර ලබාදීමේදී බොහෝ විට නිවසේ පිළියෙළ කරනවා වෙනුවට සැකසූ ආහාර මිලදී ගැනීමට බොහෝ දෙමව්පියෝ පෙළඹී සිටිති. එහෙත් දරුවන්ට සැකසූ ආහාර වර්ග, පැණි බීම ආදිය ලබාදීම වෙනුවට කිරි ආහාරයක්‌, පළතුරක්‌ ලබා දෙන්නේ නම් ඉහත සඳහන් කළ පෝෂණ අවශ්‍යතා පහසුවෙන් දරුවාට ළඟා කර ගත හැක. දරුවෙකු ශාරීරිකව හා මානසිකව ඉතා නිරෝගිමත්ව වර්ධනය කර ගැනීමට මෙසේ ක්‍රමානුකූළව ආහාර සකසා දීම ඔබට මහත් පිටිවහලක්‌ වනු ඇත.

වෛද්‍ය අයි.දේවදාසන්
මූලික රෝහල ගම්පොල

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.