පවස නිවන වැසි දිය
රජරට වෙලාගත් වකුගඩු ලෙඩේටත් කදිම පිළිසරණක්‌


මෙවර මහ කන්නයේ වැසි නොලැබීමෙන් ජලාශ, වැව්, ගංගා, ඇළ දොළ පතුලටම සිඳී යමින් පවතී. හිරුගේ දැඩි සූර්යය තාපයෙන් මහපොළොව දැවෙන අතර, වැව් ජලාශවල ඇති ඉතිsරි ජලය ටිකද ශීඝ්‍රයෙන් වාෂ්පීකරණයට ලක්‌වේ. මෙවර මහ කන්නයේ වී ගොවිතැන දිස්‌ත්‍රික්‌ක ගණනාවකම බිඳවැටීමකට ලක්‌ව තිබේ. ගොවිතැන කෙසේ වෙතද, නෑමට මෙන්ම එදිනෙදා ගෙදර දොරේ භාවිතයට අවශ්‍ය ජලය ටිකද බීමට අත්‍යාවශ්‍ය පානීය ජලයද සොයා තැනින් තැන යැමට වියළි කලාපීය බොහෝ ප්‍රදේශවල ජනයාට අද සිදුව තිබේ. මෙම නියං තත්ත්වය මාස කිහිපයක්‌ තිස්‌සේ රටට බලපානු ඇති බවද මේ අතර කාලගුණ විද්‍යාඥයන් කියනු ඇසේ. එසේ නම් ජලය අරපිරිමැස්‌මෙන් භාවිතා කිරීමත්, අහසින් වැටෙන සෑම දියබිඳම ප්‍රයෝජනයට ගත හැකි ලෙස ගබඩා කරගැනීමත් අද දවසේ අත්‍යන්තයෙන්ම කළ යුතු කාර්යයක්‌ බවට පත්ව ඇතැයි කීම කිසිවකුටත් බැහැර කළ හැකි කතාවක්‌ නොවේ.

දකුණු ලක, තෙත්කලාපයේ දිවි ගෙවන බහුතරයකට ජලය එතරම් ප්‍රශ්නයක්‌ නොවේ. ඊට හේතුව නිරිත දිග මෝසම්, අන්තර් මෝසම් හා තවත් වැහි කුණාටුවල බලපෑම නිරන්තරයෙන් මෙම කලාපයට බලපාන නිසාය. එහෙයින්, විශේෂයෙන්ම පානීය ජලය සඳහා ළිං ජලය මෙන්ම රජයේ ජල සැපැයුම් සේවාවද පහසු ජල මුලාශ්‍ර බවට පත්වේ. එහෙත්, රටේ තුනෙන් දෙකකටත් වඩා භූමි ප්‍රමාණයක්‌ හිමි වියළි කලාපයට එසේ නොවේ. එම ප්‍රදේශයට ජලය ලැබෙන ප්‍රධාන මාර්ගය ඔක්‌තෝබර්, දෙසැම්බර් දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමයි. එම කාලයේදී වැව් ජලාශ පිරෙන්නට ජලය නොලැබුණ හොත් යළිත් එම ජලාශ පුරවාගන්නට වන්නේ ඊළඟ මහ කන්නයටය, නොහොත් ඊළඟ ඊසාන දිග මෝසම් සමයටය. එතෙක්‌ එම ප්‍රදේශවල ජනතාවට " වතුර" නම් දැඩි අර්බුදයේ ගිලී සිටින්නට සිදුවේ. රජය මගින් ජල සැපයුම් සේවාව සලසන්නටද ප්‍රදේශයේ ජල මූලාශ්‍රවල (ජලාශවල) ජලය තිබීම අත්‍යාවශ්‍ය වේ. එහෙයින් උතුරු නැගෙනහිර පළාත, උතුරු මැද පළාත වයඹ හා මධ්‍යම පළාත ඌව පළාත වැනි ප්‍රදේශ ගණනාවක ජනතාවට ජල අර්බුදය තම ජීවිතයේම කොටසක්‌ කරගෙන ජීවත්වීමට සිදුව තිබේ.

එහෙයින්, තමාගේ ජල ප්‍රශ්නය විස¹ ගැනීමට තමන්ටම කියා ජල මූලාශ්‍රයක්‌ ඇත්නම් මේ කොයි කාටත් මහඟු අවස්‌ථාවක්‌ මහඟු සම්පතක්‌ වනවා නොඅනුමානය. "ළිඳ" එවැනි මහඟු සම්පතකි. එහෙත්, වියළි කාලයේදී වියළි කලාපයේ බොහෝ ළිං ද සිඳීයන නිසා මෙන්ම ළිඳක්‌ තැනීම සඳහා සැලකිය යුතු වියදමක්‌ දැරීමට සිදුවන නිසා එයද අද අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත.

එසේම, විශේෂයෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය වැනි දිස්‌ත්‍රික්‌කවල ජනයාට ළිංවලින් එනම් භූගත ජලයෙන් ලබාගත හැකිව ඇත්තේ කිවුල් ජලයයි. මෙම කලාපයේ පොළොව අභ්‍යන්තරය හුණුගල් (කැල්සියම් කාබනේට්‌) වලින් සමන්විත වන හෙයින්, මෙම ප්‍රදේශයේ කොතැනක ගත්තත් ළිංවල ඇත්තේ කිවුල් ජලයයි. මේ හේතුව නිසා එම ප්‍රදේශවල ජනතාවගෙන් බහුතරය ආමාශගත වකුගඩු ආශ්‍රිත රෝගීන් බවට පත්ව ඇත. රජරට වකුගඩු රෝගය අදටත් නොවිසඳුණු මහා පාරිසරික, සමාජයීය හා සංස්‌කෘතික අර්බුදයක්‌ බවට පත්ව ඇත. රජරට භූගත ජලය දූෂණයට ලක්‌වීම මීට හේතුව යෑයි කියයි.

එසේ නම්, රජරට වැසියාට, වියළි කලාපීය ජනතාවට පිපාසයෙන් ගැලවීමට ඇති ඉක්‌මන් විකල්පය කුමක්‌දැයි සොයා යන ගමනේ පසුගියදා අපට ඉතා යහපත් විසඳුමක්‌ දැකගන්නට ලැබුණේ ශ්‍රී ලංකා වැසි දිය එක්‌රැස්‌ කරන්නන්ගේ

සංසදය Raසබ ආඑeර Haරඩැsඑසබට Fදරමප Sරස ඛ්බන් (RඅHS) සංවිධානය කළ සංචාරයකට එක්‌වීමේදීය. මෙම සංසදය තම ව්‍යාපෘති බල ප්‍රදේශය වන වව්නියාව දිස්‌ත්‍රික්‌කයේ තමන් විසින් දියත් කරන්නට යෙදුණු වැසිදිය එක්‌රැස්‌කරන්නන්ගේ නිවාස නිරීක්‍ෂණය සඳහා අපව රැගෙන ගිය අතර එහිදී යුද්ධයට ගොදුරුව අප්‍රමාණ ලෙස පීඩා විඳි සිංහල දෙමළ හා මුස්‌ලිම් ගම්මාන වෙත තම සංසදය හඳුන්වා දුන් වැසි දිය එක්‌ රැස්‌ කරන ජල ටැංකි (ඒකක) හා ඒවායේ ප්‍රයෝජනය ලබන ආකාරය එම ගම්වැසියන්ගේම හඬින් අසන්නට අපට සැලැස්‌වීය.

වව්නියාව දිස්‌ත්‍රික්‌කයේ දැනටමත් මෙවන් වැසිජල ටැංකි 750 ක්‌ ඉදිකර අවසන් බව "වැසි දිය එක්‌රැස්‌ කරන්නන්ගේ සංසදය" කියයි. එම එක ටැංකියක ධාරිතාව ලීටර් 8000 කි. වව්නියාව දිස්‌ත්‍රික්‌කයේ වෙන්ගල චෙට්‌ටිකුලම, වව්නියාව දකුණ, වව්නියාව උතුර (නැදුන්කර්නි) සහ වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හතරේ මෙසේ වැසිදිය එක්‌රැස්‌ කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟේ. වතුර නැති නියඟය දරුණු ලෙස බලපාන ගම්මාන තෝරා එක්‌ ගම්මානයක නිවාස (පවුල්) 50 ක්‌ බැගින් මේ සඳහා තෝරාගෙන ඇති අතර වැසිදිය එක්‌රැස්‌ කරන්නන්ගේ සංසදය මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නඟන්නේ ඹීAෂD සංවිධානයේද මූල්‍යාධාර ඇතිවය. ප්‍රජා දායකත්ව ව්‍යාපෘතියක්‌ වන මෙහිදී මෙම වැසි දිය එක්‌රැස්‌ කරන ජල ටැංකියක්‌ ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීම මෙන්ම ඊට ඉදිකිරීම් දායකත්වයෙන් කොටසක්‌ද නිවාස හිමියා විසින් දැරීම වැදගත් දායකත්වයක්‌ වේ. කෙසේ හෝ අඩු ආදායම් ලබන, නියඟය බලපාන වතුර සම්පත් හිඟ ප්‍රදේශවල ජනයාට මේ සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇත.

සංසදය වව්නියාවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ තවත් වැදගත් කරුණක්‌ද සැලකිල්ලට ගනිමිනි. එනම් ජාතීන් සියල්ල නියෝජනය වන පරිදි යුද්ධය නිසා

අවතැන්ව නැවත පදිංචි කළ ජනතාවට මෙම ව්‍යාපෘතියෙන් සහන සැලසීම අරමුණු කරගනිමිනිs.

මෙහි තත්ත්වය නිරීක්‍ෂණය සඳහා පළමුව අප සංචාරය කළේ වව්නියාව පදවිය මාර්ගයේ යුද්ධයට ගොදුරුවූ මාමඩුව, මහකච්චකොඩිය, කුඩා කච්චකොඩිය වැනි සිංහල ජනතාව බහුතරයක්‌ වෙසෙන ප්‍රදේශවලය. මෙම ප්‍රදේශ වකුගඩු ආබාධවලින් දැඩි සේ ආසාධිත පුද්ගලයන් වෙසෙන ගම්මාන බව ද මෙහිදී අපි හඳුනා ගත්තෙමු.

මෙම චාරිකාවේදී කුඩා කච්චකොඩිය ගම්මානයේ දිවි ගෙවන සිවිල් ආරක්‌ෂක බළකායේ රාජකාරී කරන ගෘහනියක්‌ වන එස්‌. වසන්තා කුමාරි මහත්මිය ගම්වැසියන් ඉදිරියේදී කරන ලද කතාව කාගේත් අවධානය යොමු කළ වැදගත් එකක්‌ විය.

"අවුරුද්දකට විතර පෙර අපේ ගමටත් වැසිදිය එකතුකරන සංවිධානයේ මහත්තුරු ආවා. ඒ වෙනකොට අපි බොන්න වතුර ගෙනාවේ කැබිතිගොල්ලෑව උලපනෙන්. ත්‍රීවිල්වලට මුදල් ගෙවලයි වතුර ගේන්න ගියේ. ළිඳේ වතුර බොන්න බැහැ කිවුල වැඩියි. නළ ළිඳෙන් ගත්තත් ඒ වගේමයි. උණු කරලා බිව්වත් කිවුල ගතිය යන්නේ නැහැ. මුට්‌ටි, කේතල්වල තට්‌ටු විදිහට කිවුල බැඳෙනවා.අපේ ගමේ ඉන්න සියයට පනහකට විතරම වකුගඩු, ආබාධය තිබෙනවා. ඉතින් වැහි වතුර රැස්‌කරන්න කියන මහත්වරුන්ගේ දැනුම් දීමට මමත් ටැංකියක්‌ ඉල්ලුවා. ටැංකිය මහන්සියෙන් හදාගත්තා. වතුරත් එකතුකර ගත්තා. ඒaත් බිව්වේ නැහැ. බීමට චකිතයක්‌ තිබ්බා.

ඔහොම ඉන්නකොට තමයි ගමේ ළිංවල වතුරවල තත්ත්වය මනින්න ජල සම්පාදනයෙන් ආවේ. ඒ වකුගඩු රෝගය නිසා. හැමෝම ළිංවලින් වතුර මේ පරීක්‍ෂණයට ගෙනගියත් මම හොරෙන්ම වගේ එතනට ගෙනිච්චෙ වැහි වතුර ටැංකියේ වතුර සාම්පලයක්‌. එදා පරීක්‍ෂණයෙන් තේරුණේ මගේ වතුර සාම්පලය විතරයි. ඒක වැහිවතුර සාම්පලයක්‌. එකේ ලවණතාවය තිබුණෙ හතළිහක්‌ කියන අගයේ අනිත් අයගේ (ළිංවල) ලවණතාවය තුන්හාර සියෙ ඉඳල දාහ දක්‌වා වගේ තිබුණා. සමහර ළිං වහල දාන්නත් නියෝග කරලයි තියෙන්නේ.

කොහොමහරි මගේ වතුර හොඳයි කියලා පරීක්‍ෂණයෙන් සමත් වුණා. එදා ඉඳලා මම මේ වතුර තමයි ගෙදර බොන්න ගත්තේ. මාස තුනෙන් තුනට µsල්ටරය සුද්ධ කරලා වැහිදාට වතුර එකතුකරගන්නවා. වතුර ප්‍රවේශමෙන් පාවිච්චි කරනවා. වතුර උණුකරන්න අලුත් භාජනයකුත් ගත්තා. ඒකේ මිදෙන්නෙත් නෑ. ළඟදි මම පිටින් ආපු කෙනෙකුට වැහිවතුරෙන් තේ හදල දුන්නා. පාටත් හොඳයි. හොඳ රසකුත් තිබෙනවා. ගෙදරට ආපු අය ඇහුවේ හොඳ තේ කොළ කොහෙන්ද ගන්නෙ කියලා. මම කිව්වා "තේ" නෙමේ රහස වතුර කියලා. උණුකරල ගත්තත් වතුර හොඳයි. මේ ක්‍රමය හඳුන්වා දුන්නට අපි මෙම ආයතනයට එහි නිලධාරීන්ට බොහොම ස්‌තුතියි කියලා මම කියනවා." ඒ වසන්තා කුමාරිගේ අවංක කතාන්දරයයි.

මහකච්චකොඩියේ ජී. සිරියලතා මහත්මියද කීවේ එවන් කතාවකි. ඇගේ ළිඳේ වතුරවල ලවණතාව 111 කි. නමුත් ඇය කියන පරිදි ඇගේ වැසිදිය ටැංකියේද ලවණතාව 40 කි. ඒ සමෘද්ධි පරීක්‍ෂණයකින් ලැබුණු පරීක්‍ෂණ වාර්තාව අනුවය. ඔවුන් සියල්ලක්‌ම පාහේ දැන් වැසි ජලය ගැන කතා කරන්නේ ඉතා විශ්වාසයෙනි. මෙම සෑම ගමකම පාහේ වැසි දිය ටැංකි පනහ බැගින් තනා නිමකර දී තිබේ.

ජී. සිරියලතා කියන පරිදි ගමේ හඳුනාගත් වකුගඩු රෝගීන් 30 ක්‌ පමණ සිටී. පවුලේ තිදෙනෙකුටම වකුගඩු රෝගය තිබේ. ඒ අම්මා, තාත්තා සහ තම සැමියාටය. තමන් මෙතෙක්‌ පානය කළ ජලය ළිඳෙන් ලබාගත් බවත්, එය තද කිවුල ගතියකින් යුක්‌තවූ බවත් ඇය කියන්නීය.

කෙසේ හෝ මෙසේ වැසි දිය ටැංකි ඉහත සංසදය හඳුන්වා දී ඇත්තේ මෙම ප්‍රදේශයේ පවතින ජල ගැටලුවට විසඳුමක්‌ සඳහා මිස වකුගඩු ආබාධයට විසඳුමක්‌ වශයෙන් නොවන බැව් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. එහෙත් ජල වාෂ්ප වී වැසි ජලය බවට පත්වී නැවත පොළොවට එනවිට එහි ලවණතාවය අඩු මට්‌ටමක පවතී, අද රජරට වකුගඩු රෝගයට කදිම පිළිතුරක්‌ බවට වැසි ජලය පත්ව ඇත්තේ අහම්බයක්‌ ලෙස නමුත් වාසනාවකට බවද සිහිපත් කිරීම වැදගත්ය.

වැසි දිය රැස්‌කරන්නන්ගේ සංසදයේ සාමාජිකයින් සමඟ මීළඟට අප නිරීක්‍ෂණය කළේ වව්නියාව ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයට අයත් තාලිකුලම්, පම්පමඩු ප්‍රදේශයි. පම්පමඩු රජයේ ආයුර්වේද රෝහලේ ජල අවශ්‍යතාව අද සම්පූර්ණයෙන්ම පාහේ සැපයෙන්නේ වැසි ජලය මගිනි. විශාල ගොඩනැගිලි දෙකක වහළයෙන් එකතුකරගන්නා වැසි ජලය භූගත ළිඳකට යොමු කෙරෙන අතර ඒවා නැවත පිරිපහදුකර රෝගීන්ගේ අවශ්‍යතා සඳහා යොදවා ගනී. එසේම ඖෂධ උද්‍යානය සඳහාද ජලය ලබාගන්නේ මෙම වැසි දිය ළිඳෙනි.

තාලිකුලම් යනු යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචිකරවන ලද දෙමළ වැසියන් වෙසෙන ගම්මානයකි. මෙහිද වැසි දිය ටැංකි 50 ක්‌ පිහිටුවා ඇත.

එස්‌. මාර්කන්ඩු සහ සින්නම්මා වැසි දිය භාවිතා කරන පවුලකි. සින්නම්මා දැනටමත් වකුගඩු රෝගයෙන් පෙළෙන්නියකි. පවුල් 350 ක්‌ ඇති මෙම ගමේද වකුගඩු හා උදර රෝග බහුලය. පොදු ළිං හා නළ ළිංවලින් බීමට ජලය ලබා ගන්නා මොවුන්ට එක්‌ අතකින් කිවුල් ජලය භාවිතා කිරීමට සිදුව ඇත. අනෙක්‌ අතින් ජුනි-ඔක්‌තෝබර් කාලයේදී ළිං සිඳී යන බැවින් වතුර සොයා ගැනීමද දුෂ්කර කටයුත්තකි. ඔවුහු දැන් අරපිරිමැස්‌මෙන් යුතුව හා විශ්වාසයෙන් යුතුව වැසි දිය භාවිතයට ගනිති. අප එහි යනවිට රැස්‌ව සිටි ගම්වැසියන් තමන්ටද එවන් වැසි දිය ටැංකි ලබාදෙන ලෙස සංසදයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

වව්නියාව-මන්නාරම් මාර්ගයේ සෙට්‌ටිකුලම් ආඬියාපුලියන්කුලම මහා විද්‍යාලයේ භාවිතයට සහ සෙට්‌ටිකුලම රජයේ රෝහලේ ජල ගැටලුව විසඳීම සඳහා ද ලබාදී ඇත්තේ දැවැන්ත වැසි දිය ටැංකි දෙකකි. මේ එකක්‌ ලීටර් 30,000 ක්‌ තරම් විශාලය. විශේෂයෙන්ම විශාල වහළ සහිත ගොඩනැඟිලි ඇති ස්‌ථාන මගින් වැඩි වැසි දිය ප්‍රමාණයක්‌ රැස්‌කරගත හැකිවිම මෙන්ම, ජලය භාවිතයට වැඩි පිරිසක්‌ සිටීමද මෙහි ඇති වාසි අතර වේ.

ආඬියාපුලියන්කුලම ද නැවත පදිංචි කළ මුස්‌ලිම් ගම්මානයකි. මෙම විදුහලේ දෙමළ හා මුස්‌ලිම් ළමුන් දෙවර්ගයම වේ. ගමේ ළිංවලද වතුර බීමට සුදුසු නොවේ. ලවනතාව අධිකය. එනම් කිවුලය. විකල්පයකට ඇත්තේ වැසි දිය භාවිතයයි. විදුහල්පති එස්‌. මොහොමඩ් ජාබීර් මහතා කියන පරිදි විදුහලේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා තමන් තෝරා ගත්තේ වැසි දිය රැස්‌කිරීමය. ලීටර් 30,000 ක ටැංකියෙන් අද විදුහලේ ජල අවශ්‍යතාවෙන් 50% ක්‌ සපුරා ගනී. ජනවාරි වැස්‌සෙන් එක්‌කරගත් 60% ක ජලධාරිතාවක්‌ තවමත් තම ටැංකියේ ඇත. ළමුන්ගේ බීමට හා ගෙවත්තේ වැඩවලට මෙයින් ජලය ලබා ගනී.

මෙහිදී විදුහලේ ජල ටැංකියෙන් වැසි දිය වීදුරුවක්‌ පානය කර එහි රස හා තත්ත්වය බලන්නට අපද අමතක කළේ නැත. සැබෑවි. එහි කිසිදු පාටක්‌, රසක්‌ නැති පිරිසිදු වතුර තිබුණේය.

ගම්වැසි කාන්තාවක්‌ වූ කේ. සරීµd මහත්මිය කියා සිටියේ ලීටර් 8000 ක ටැංකියේ වැහි වතුර ප්‍රවේශමෙන් තමන් භාවිත කරන බව හා වකුගඩු රෝගි තම ලේලිය මේ වතුර භාවිතය නිසා නිරෝගී වී ඇති බවකි. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැමිණ ටැංකියේ වතුර හා පාසලේ ටැංකියේ වතුර හොඳ බවට තහවුරු කළ බවද එහිදී අවධාරණය කෙරිණි.

සෙට්‌ටිකුලම රජයේ රෝහලේද ඉදිකර ඇත්තේ ලීටර් තිස්‌දහසක ටැංකියකි. ඒ සඳහා වියදම රුපියල් ලක්‍ෂ තුනහමාරක්‌ බව සංසදය කියයි. මෙම ටැංකිය තවමත් පුරවා නැති නමුත් මීළඟ වැස්‌සේදී එය පුරවා ප්‍රයෝජනයට ගන්නා බව රෝහල් කාර්ය මණ්‌ඩලය පවසයි.

මෙම නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව අප අවධානය යොමු කරන ලද්දේ මෙම වැසි දිය ටැංකි නිර්මාණය කිරීමේ ආයතනයේ එනම්, වැසි දිය එක්‌රැස්‌ කරන්නන්ගේ සංසදයේ අධ්‍යක්‍ෂ ආචාර්ය තනුජා ආරියනන්ද මහත්මියගේ අදහස්‌ වෙතය. එහිදී ඇය මෙසේ කීවාය.

වසන්තා කුමාරි

අපේ රටේ වැසි දිය රැස්‌කිරීම ඉතා සතුටුදායකයි
ආචාර්ය තනුජා ආරියනන්ද,
අධ්‍යක්‍ෂ, වැසිදිය රැස්‌කරන්නන්ගේ සංසදය


ශ්‍රී ලංකාවේ වැසිදිය එක්‌රැස්‌කිරීම හා භාවිතයට ගැනීම පිළිබඳව විද්වත් කතිකාවක්‌ ඇතිවුණේ 1996 වසරේදී. රජය, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය, ජනතා සංවිධෘන යනාදී අංශ ගණනාවක්‌ මේ සඳහා සහභාගි වුණා. ඒ අනුවයි 1997 දී වැසිදිය එක්‌රැස්‌කරන්නන්ගේ සංවිධානයක්‌ ලෙස ලියාපදිංචිය සිදුවුණේ.

කොහොමවුණත් විවිධ ප්‍රාථමික ක්‍රම උපයෝගී කරගනිමින් අපේ රටේ ජනයා මූලික අවශ්‍යතාවන් සඳහා සුළු වශයෙන් වැසිදිය එක්‌රැස්‌ කරගත් ක්‍රම තිබුණා. ඒ වගේම අපේ රටේ අදටත් වැඩි වශයෙන්ම ගොවිතැන් කටයුතු සඳහා භාවිත කරන්නේ වැහි වතුර. ඉතින් අපි සංවිධානයක්‌ හැටියට මූලිකවම සොයා බැලුවේ "ගෙවල්වල" අවශ්‍යතා සඳහා කොහොමද වැහිවතුර භාවිතයට ගන්නේ කියලයි. එහිදී පාරම්පරික වැසිදිය එකතු කරන ක්‍රම අපි හදාරා අලුත් තාක්‍ෂණය හඳුන්වාදී ජනතාව අතර වැසිදිය එකතු කිරීම ප්‍රචලිත කිරීම අපගේ අපේක්‍ෂාව වුණා.

මෙහිදී ජල අපහසුතාව ඇති ප්‍රදේශවල ජනතාවට වැසිදිය පානය කිරීම ප්‍රචලිත කිරීම අපගේ මූලික අරමුණක්‌ බවට පත්වුණා. ඉන්පසු ගෙවතු වගාව සඳහා ජලය සපයාගැනීම පිළිබඳවත් සොයා බැලුවා.

ශ්‍රී ලංකාව තමයි වැසිදිය රැස්‌කිරීමේ ප්‍රතිපත්තියක්‌ ලෝකෙන්ම පළමුව නිර්මාණය කළ රට 2005 වසරේදී ඒ කටයුත්ත සිදුවුණා. 2006 වසරේදී සාර්ක්‌ කලාපීය නියෝජිතයන්ගේ එකමුතුවකින් මහනුවර සමුළුව පැවැත්වූවා. 2007 වසරේදී වැසිජලය සම්බන්ධ නාගරික සංවර්ධන අධිකාරිය සමඟ වැසි ජලය පිළිබඳ වගන්ති සංශෝධනය කරනු ලැබුවා.

මෙවන් ගමනකින් පසු දැන් ශ්‍රී ලංකාවේ විවිධ ආයතන, සංවිධාන මගින් තැනූ වැසි දිය ටැංකි එනම් ඒකක 42,000 ක්‌ විතර රටපුරා තිබෙනවා. වැසි දිය රැස්‌ කරන්නන්ගේ සංසදය හදාපු ටැංකි 6000 ක්‌ ඒ අතර තියෙනවා. අපේ සංසදය පළමු පියවර වශයෙන් නියඟයට ගොදුරුවන නිකවැරටිය ප්‍රදේශයේ පානීය වැසි ජලය හා ගෙවතු වගා සඳහා ජලය ලබාගැනීමේ ව්‍යාපෘතියක්‌ සිදු කළා.

දෙවැනි පියවර වුණේ සුනාමියෙන් විනාශ වී ගිය ළිං වෙනුවට වැසිදිය ටැංකි හදා දීමයි දකුණේ 3200 ක්‌ සහ නැගෙනහිර ප්‍රදේශයේ 1000 ක්‌ මෙසේ ටැංකි හදා දුන්නා.

2011 - 2013 වසරවල 18 මාසයක ව්‍යාපෘතියක්‌ ලෙස ක්‍රියාත්මක වුණේ වව්නියාව දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කරගත් යුද්ධය නිසා අවතැන්වී නැවත පදිංචි කළ ජනතාව වෙනුවෙන් ලබාදුන් වැසි ජල ටැංකි ව්‍යාපෘතියයි. මේ අනුව ගෘහස්‌ථ ලීටර් 8000 බැගින් ටැංකි 750 ක්‌ පානීය ජලය සඳහා ලබාදී තිබෙනවා. පාසල් හා රෝහල් සඳහා ලීටර් 30,000 ක ටැංකි ඒකක නවයක්‌ ගෙවතු සංවර්ධනය සඳහා පැළ තවාන් 10 ක්‌ මෙන්ම පුහුණු සේවකයන් 10 ක්‌ මේ සඳහා භාවිතයට ගෙන තිබෙනවා. මේ අවතැන් ජනතාව සඳහා ලබාදෙන සේවාවේ පළමු අදියරයි. තවත් අදියර කිහිපයක්‌ ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. ජනතාවගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක්‌ මේ සඳහා තිබෙනවා. දැන් වැසි ජල ටැංකිවල ඉල්ලුම වැඩිවී තිබෙනවා.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.