රජ වාසල කවටයා නොහොත් කයිවැල් අන්දරේ

එච්. ජිනදාස
පාතකඩ නිවිතිගල

අන්දරේ යනු ශ්‍රී ලංකාව තුළ බොහෝ දෙනෙක්‌ අතර ප්‍රචලිත නාමයකි. දශක කිහිපයකට එපිට පාසල් සිසුන්, අන්දරේ පිළිබඳ රස කතා බොහෝ සෙයින් අසා තිබිණ. ඒවා එදා පාසල් පොත්වල පවා ඇතුළත්ව තිබීම ඊට හේතුවයි. අන්දරේ සීනි කෑ හැටි, රජ වාසලට තිත්තයන් කත් ගෙන්වූ හැටි මේවා අතර වැදගත් තැනක්‌ ගනී,

එහෙත් අද පාසල්වලින් අන්දරේ පිළිබඳ මතකයන් මැකී යන ස්‌වභාවයක්‌ උදා වී ඇත. අන්දරේ, ගජමන් නෝනා වැනි රසවත්, වැදගත් චරිත පාසල් දරුවන් තුළ යළි ප්‍රචලිත කිරීමට කාලය එළඹ ඇත.

අන්දරේ ජීවත් වූයේ ක්‍රි. ව. 1747 සිට ක්‍රි. ව. 1780 දක්‌වා ලංකාවේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ ය. ඒ ලන්දේසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගෙන සිටි යුගයයි. අන්දරේ දකුණු ලක මාතර දික්‌වැල්ල ප්‍රදේශයේ දුරාව නම් කුලයට අයත් පවුලක උත්පත්තිය ලද අයෙක්‌ බව සිතීමට සාධක ඇත. මොහු උපතින් ම සහජ දක්‍ෂතා ඇති කවියෙක්‌ වූවා මිස උගතකු නොවන බව පැහැදිලිය. ඕනෑම සිදුවීමක්‌ ගැන හිටිවනම ඉතා රසවත් ලෙස කවි ගොතා ගායනය කිරීමට ඔහු තුළ වූයේ අපූරු දස්‌කමකි. එමෙන්ම ඕනෑම සිදුවීමක්‌ මුල්කරගෙන විනෝදය, උපහාසය දනවන අදහස්‌ පළ කිරීමට ද සමතෙක්‌ව සිටියේය.

එකල ශ්‍රී වර්ධනපුර රාජධානිය කොට විසූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මාලිගය අසල පොකුණක, රාත්‍රියට නිතරම මැඬියෙක්‌ කෑ ගැසීම නිසා රජතුමාගේ නින්දට බාධා පැමිණ ඇත. පොකුණ පුරාවට සෙවූ නමුත් කිසිවකුටත් දවල් දවසේ ඌ සොයා ගත නොහැකි විය. රාත්‍රියේ වුවද ඌ කෑ ගසන ශබ්දය විනා මැඬියා නම් සොයා ගත නොහැකි විය. මැඬියා මරාදැමූ අයකුට බොහෝ තෑගි බෝග දෙන බවට රජතුමා අණබෙර යෑවූහ. දක්‍ෂ දුනුවායෝ මැඬියා විද මැරීමට උත්සාහ කළහ. එහෙත් ඔවුන්ගේ ප්‍රයත්නය නිෂ්ඵල විය. අන්තිමේදී අන්දරේ අවුදින් මැඬියා විද මරා දැමුවේය. අන්දරේ කෙරෙහි බෙහෙවින් පැහැදුණු රජු අන්දරේට බොහෝ තෑගි බෝග දුන්නේය. මොහුගේ සමර්ථකම සිහිවීමට 'සද්ද විද්ද පළඟ පතිර' යන නම්බු නාමය ප්‍රදානය කළ බව මුඛ පරම්පරාගත කතා වලින් අසන්නට ලැබේ. සද්ද කළ මැඬියා මැරූ වීරයා යන්න මෙහි තේරුම විය හැකිය.

මොහුගේ කවට බසුත්, ස්‌ථානෝචිත ප්‍රඥාවත් ගැන පැහැදුණු රජතුමා'විගඩ කවි' නම් තනතුරක්‌ දී, දිනපතා රාජ්‍ය සේවයට පැමිණ තමා සතුටු කරන ලෙසට අන්දරේට දැන් වූ බව ද මුඛ පරම්පරාගත කතා වලින් හෙළි වේ. ඒ සඳහා අන්දරේට ගම්වරද තෑගි ලෙස දුන්නේලු. ප්‍රසිද්ධ ශාස්‌ත්‍රධාරියෙක්‌ වූ රජතුමා ද නොයෙක්‌ වර අන්දරේට විහිළු කළහ. දිනක්‌ අන්දරේ රජ වාසලට එන විට රජ මිදුලේ සීනි පැදුරක්‌ වනා ඇති බව ඈත තියාම දුටුවේය.

"දේවයන් වහන්ස, මොනවද මේ පැදුරෙ වනල තියෙන්නේ?" අන්දරේ විමසුවේ එහි ඇත්තේ සීනි බව නොදැන නොවේ.

"ආ· ඔය පස්‌ ටිකක්‌ වේලෙන්න දමල අන්දරේ¾ මේ රජ වාසල වැඩකට" රජතුමාගේ පිළිතුර විය.

අන්දරේ නොවළහා ගෙදර ගියේය. තම පුතාත් සමඟ නැවත පැමිණියේ බෙරිහන් දී හඬමිනි.

"මොකද අන්දරේ අඬන්නේ?" යෑයි රජතුමා විමසූ විට "අනේ දේවයන් වහන්ස මගේ මායියා අද උදේ අන්තරා වුණා" කියමින් අන්දරේ මහ හයියෙන් හැඬුවේය. කලින් දී තිබූ උපදෙස්‌ පරිදි කොලුවා ද හඬන්නට විය.

සීනි පැදුර ළඟට ගිය අන්දරේ "අනේ බුදු පුතේ අපට ඉඳල වැඩක්‌ නෑ. දැන් ඉතින් උඹේ කටෙත් පස්‌ මගේ කටෙත් පස්‌ තමයි" කියමින් පැදුරේ තිබූ සීනි වලින් වැඩි කොටසක්‌ දෙදෙනා එක්‌ව ගිල දැමූහ.

අන්දරේගේ හැටි දන්නා රජතුමා මුවින් නොබැන සිටියහ.

"උඹේ කටෙත් පස්‌ මගේ කටෙත් පස්‌" යන්න ජන වහරට එක්‌ වූයේ අන්දරේ නිසා ය.

අන්දරේ රජ බිසවට ද විහිළු කළ අවස්‌ථා ඇත. තිත්තයි මැල්ලුම් සහ ඇල් හාලේ බත් කෑමට රජ බිසවට දොළදුකක්‌ ඇති විය. සිද්ධිය රජතුමාට කීමට ද බිසව ලැඡ්ජා විය. මෙය අන්දරේ ලවා ඉටුකර ගැනීමට සිතූ රජ බිසව තම අවශ්‍යතාව ඔහුට සැල කළාය.

"බිසවට හොඳ විහිළුවක්‌ කරන්නෙමි" යි සිතූ අන්දරේ අසවල් දිනයේ රජ මාලිගයට තිත්තයින් කදක්‌ සහ ඇල් හාලේ කදක්‌ බැගින් ගෙන ආ යුතු බව රාජ නියෝගය යෑයි දන්නා හඳුනන පහළොවක්‌ විස්‌සකට පමණ කීවේය.

එදින රජ වාසලට තිත්තයින් පුරවාගත් කත් පෙරහැරකි. ඇල් හාල් කත් පෙරහැරකි. බිසව බෙහෙවින් ලැඡ්ජා වූවාය. හඬමින් සිද්ධිය රජතුමාට සැල කළාය. රජු බිසව සැනසුවේ අන්දරේගේ හැටි ඔහොම තමා" කියමිනි.

රජතුමා මහත් හරසරින් සිදු කරන වප් මඟුල් උළෙල ළංවිය. හීයට හරකුන්ට කියන්නට යෑයි නියම කළේ අන්දරේටය.

මෙයට ද විහිළුවක්‌ කිරීමට සිතාගත් අන්දරේ හරකුන් ළඟට ගොස්‌ උන්ගේ පිට අත ගාමින් රජතුමාගේ වප්මඟුලට කවුරුත් එන්න ඕනෑ" යෑයි කීවේය. පිට අතගාන විට ගවයෝ නගුට වැනූහ.

වප්මඟුල් දිනය උදා විය. උත්සවයට සියල්ල සූදානම්ය. නැකත් වේලාව ළඟා විය. එහෙත් සී සෑමට අවශ්‍ය ගවයන් රැගෙන කිසිවෙක්‌ නාවෝය.

රජතුමා අන්දරේගෙන් සිද්ධිය විමසූහ.

"දේවයන් වහන්ස, මම හරකුන්ට කීවා. උන් වලිග වනල එන්ට පොරොන්දු වුණා" යෑයි කීවේ ඇඟට පතට නොදැනීය.

තමාට වචනය වැරදුණු බව රජතුමාට සිහිවිය. තමා කීවේ හරකුන්ට කියන්නට යනුවෙන් මිස හරක්‌ අයිතිකාරයන්ට කියන්නට නොවේ යෑයි රජු සිතුවේය.

එහෙත් මහත් කෝපයට පත් රජතුමා උදේ සිට හවස්‌වන තෙක්‌ කුඹුර අයිනේ දණ ගසාගෙන සිටීමට අන්දරේට නියම කළහ. එසේ සිට දිනය පුරාවට කවි කිව යුතු බවට ද රාජ නියමය විය.

අන්දරේ දණ ගසාගෙන රජුට දුක හිතෙන ලෙස මේ කවිය කීවේය.

අප වැනි අයට කොච්චර දුක ද හිමි තුමා

මෙච්චර දුකට පිහිටක්‌ නූන කල කිමා

රිවි කුල රජුන් හට ඇත්තේ මේ පුදුමා

කවි කියවන්ට සැදු වේලාවක මහිමා



අන්දරේ ගැන දුක හිතුනු රජතුමා ඔහු දඬුවමෙන් නිදහස්‌ කළේලු.

අන්දරේ තම භාර්යාව ගැන නිතර වර්ණනා කරන හෙයින් ඇය දැක ගැනීමේ ආශාවක්‌ රජ බිසවට ඇතිවිය. තම බිරිඳ මාලිගාවට එක්‌කර ගෙනඑන්න යෑයි දිනක්‌ රජ බිසව අන්දරේට කීවාය.

"හැබැයි දේවීන් වහන්ස එයා එක්‌ක හයියෙන් කතා කරන්න වෙයි. එයාගෙ කන් ඇහෙන්නෙ නැහැ" අන්දරේ රජ බිසවට කීවේය.

බිසවුන් වහන්සේගේ කන් නො ඇසෙන නිසා එතුමිය සමඟ හයියෙන් කතා කළ යුතු බව තම බිරිඳට කීව අන්දරේ බිරිඳ ද කැටුව මාලිගයට ගියේය.

රජ බිසවත්, අන්දරේගේ බිරිඳත් අතර කතා බහ මහා ගාල ගෝට්‌ටියක්‌ බවට පත් විය. අන්දරේ පසෙක සිට සිනාසුණේය. සිද්ධිය තේරුම් ගත් රජතුමා 'අන්දරේගේ හැටි ඔහොම තමා" යෑයි රජ බිසවට කීවා හැරෙන්නට අන්දරේට දඬුවම් කළේ නැත.

මේ හතරබීරි කතාව පදනම් කරගෙන පසු කලෙක නොයෙකුත් ගීත, කතන්දර ආදිය නිර්මාණය විණි.

"දොම්පෙට යන පාර කොයිබදොa

ගමයෝ මට කියා දෙන්නකෝ

බතල හොඳට බැහැල තියෙනවා

හාරනකන් ටිකක්‌ ඉන්නවා"


මෙම විරිදුව රචනා කරන්නට ඇත්තේ මෙම හතර බීරි කතාව පදනම් කරගෙන යෑයි සිතිය හැක.

හතරබීරි කතාව ඇසුරෙන් නිපදවූ නාට්‍ය ගැන ද අසන්නට ඇත.

රජතුමාත් අන්දරේත් දෙදෙනාම තේරවිලි කවි කීමෙහි දක්‍ෂයෝ වූහ.

දිනක්‌ ඉබ්බෙක්‌ ගැන රජතුමා අන්දරේට කී තේරවිලි කවිය මෙසේය.

දාර දෙකයි එක නම මුල්කර තැනුවා

පාර තිහක්‌ ගැහුවට බයකුත් නැතුවා

කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා

තෝරාපන් ඊයේ මගදී දුටුවා


අන්දරේ එය තෝරා කී පිළිතුරු කවියයි මේ

දාර දෙකත් එක මැද එක ගැවසීය

වට පිට යන කලට කණු සතරෙන් යාය

ගෙට වැසි කලට කිසි බයකුත් නැතුවාය

මට දැනෙනා ලෙසට මහ රජ ඉබ්බාය


මෙම කවියෙහි සියුම් උපහාසයක්‌ ගැබ්ව ඇත.

"මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය. යන පදයෙහි රජතුමාට ඉබ්බා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමක්‌ හැඟවේ.

රජුට මෙය තේරුම් ගියත් අන්දරේට දඬුවම් කළේ නැත.

රඡ්ජුරුවෝ දිනක්‌ අන්දරේට කවටකමක්‌ කරන්නට සිතා ගඟට දමා කවියක්‌ කියන්නට අණ කළේය.

අන්දරේ ගඟට වැටෙන්නට ප්‍රථම එක්‌ පදයක්‌ද, දියෙන් මතුවන තුන් වරට ඉතිරි පද තුන ද කියා කවිය සම්පූර්ණ කළේය.

උඹට මන්ද උඹ ඉන්නා ගමයි බොලන්

ඉතා දුරු කතර ආවෙත් මමයි බොලන්

ඉතා දුක්‌ කියන්නට දූතයොත් ළඟයි බොලන්

ඉතින් මගේ තෙත මාවිලි ගඟයි බොලන්


කැකිරි ගමයා යනු අන්දරේ ජීවත් ව සිටි කාලයේ විසූ තවත් දක්‍ෂ කවියෙකි. දෙදෙනා අතර බොහෝ විට කවි සංවාද ඇති විය. ඒවායින් බොහොමයක්‌ තේරවිලි කවිය.

කැකිරි ගමයා ද නිතර රජතුමා බැහැ දැකීමට ගිය අයෙක්‌ බව ඔහුගේ කවිවලින් පැහැදිලිය.

අන්දරේ උක්‌ගස ගැන කැකිරි ගමයාට කී තේරවිලි කවියක්‌ මෙසේය.

එරටත් ඇත මෙරටත් ඇත මෙකී බඩු

දෙවටත් ඇති දිගටත් ඇත මෙකී බඩු

රසටත් ඇත ගැටටත් ඇත මෙකී බඩු

ඔබටත් හැකි ඇත තෝරන්ට මේ බඩු


කැකිරි ගමයා එය තෝරා කී පිළිතුරු කවිය මෙසේය.

යන්තරේ දමා රස පැණි ගැනීමා

ගන්තෙරේ අයින් වෙසසින් වැනීමා

ගින්දරේ නොයන කෑමක්‌ බොහෝමා

අන්දරේ කිව්වෙ උක්‌ දඬු ගැනීමා


කැකිරිගම කවියා බුලත් වැල ගැන කී කවියයි මේ.

පෙරත් ගෙනාවේ නාලොව සිට එව්වා

අගත් කඩා ගෙනැවිත් සිටවා වැව්වා

උගත් මහ රජුනි දැන් ඔය මා කිව්වා

දෙතොත් තෝරවා ඔය හපනා ලව්වා


අන්දරේ එය තෝරා කී පිළිතුරු කවිය මෙසේය.

ගැටත් කඳේ ඇත කඳ යයි කඳේ නී

ගිනිත් නොලා දයි කෑ කට රසේ නී

උනත් කැකිරිගම කී බස සැබෑවෙ නී

බුලත් දලු නොවෙද අප මහ රජාණෙ නී


මෙම කවි ගායනා කර ඇත්තේ රජු ඉදිරියේ රාජ

සභාවේදී බව ඉහත කවි දෙකේ ඇති පහත කවි පද දෙකෙන් පැහැදිලි වේ.

"උගත් මහ රජුනි දැන් ඔය මා කිව්වා

බුලත් දලු නොවෙද අප මහ රජාණෙ නී"


කවි කීමේදී මුල සහ අග එළිසමය යොදා කවි කීමට දෙදෙනාම සමත් බව ඉහත කවි වලින් සහ දෙදෙනා ගායනා කර ඇති තවත් බොහෝ කවි වලින් පැහැදිලි වේ.

සෘගාරාත්මක කවි කීමෙ හි, අන්දරේ මහත් දස්‌කම් දැක්‌වූ බව කෙකටිය උගුල්ලන ස්‌ත්‍රියක්‌ ගැන කියා ඇති පහත කවියෙන් පැහැදිලි වේ.

පතුල ගසා අල උගුලන කලට ලියේ

මකුල සේම වත සුළඟට යාය ලියේ

මුකුලු සිනා අප දැක කෝඩු කාරියේ

කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ


වස්‌ කවි සහ සෙත් කවි කීමට ද අන්දරේ දස්‌කම් දක්‌වා ඇත. තමාට බීමට රා ටිකක්‌ නොදුන් රා මදින්නකුට අන්දරේ කී වස්‌ කවියක්‌ මෙසේය.

තියන තියන අඩි ලිස්‌සා වැටීයන්

බඳින බඳින වැල හැරපොට කැඩීයන්

කපන කොටන මන්නේ ලේ ගැවීයන්

මට රා නොදුන් තෝ ගස මුල වැටීයන්




මෙයින් බියට පත් රා මදින්නා අන්දරේට ඇති තරම් රා බොන්නට දුන්නේ. හොඳටම රා බී වෙරි මතින් සිටි අන්දරේ රා මදින්නාට පහත සඳහන් සෙත් කවිය කීවේලු.

කළුවන් කළු රුවයි අපෙ ගම මදින්නා

එන එන කැකුළු මල නෑරම තලන්නා

මන්ඩි නැතුව රා සැමටම බෙදන්නා

දෙයියෝ රැක දෙන්ට අපෙ ගම මදින්නා




පර පුරුෂයෙක්‌ සමඟ හොරෙන් පැන ගිය ගැහැනියක්‌ ඇල්ලීම සඳහා අන්දරේ කවි හතක්‌ම කියා ඇත. ඉන් කවි තුනක්‌ මෙසේය.

අතේ වළළු දැතේ මුදු හුඟයි බොල

සිතේ තිබෙන අදහස සිදු නොවෙයි බල

මතේ හිතු මතේ රාගේ මතේ බල

කැතේ නැතුව යන හැටි පුදුමයි මෙකල



පොට්‌ටනියේ මොනවද ලිය උනාපන්

කොට්‌ට පැදුරු පළමුව බිම තියාපන්

හැට්‌ට අතට යට කළෙ කිම බලාපන්

පට්‌ට පඳුරු දහමන්දරි කියාපන්



හැන්ගිලා යන දුව දැකලා අල්ල ගෙනැවිත් දුන් කලා

රින්ගලා මට යන්ට බැරි ලෙස දුන්නෙ වැඩ පඬුරට බලා

හැන්ගිලා උන්නා වූ දෙවියෝ මේක හොඳ හැටි අහ බලා

තැම්බිලා මුන් යන්ට උවදුරු එවනු හෙට හැන්දැ වෙලා




ඉහත තෙවන කවියෙන් පැහැදිලි වන්නේ පැන යන දියණිය අල්ලා ගෙනැවිත් දුන් විට ඇයගේ මවුපියෝ අන්දරේට අඩන් තේට්‌ටම් කළ අයුරුත්, එයින් කිපුණු අන්දරේ ඔවුනට වින කරන ලෙස දෙවියන්ට කියා ඇති අයුරුත් ය.



අන්දරේගේ බොහෝ කවි සමුද්‍රඝෝෂ විරිතෙන් ගායනා කර ඇතත් මාත්‍රා විසිහයටම පදබැඳි මෙම කවියෙන් ඕනෑම විරිතකට කවි කීමට අන්දරේගේ තිබූ හැකියාව පැහැදිලිය.

අන්දරේ විසින් කියන ලද්දා වූ අදහස තේරුම් ගැනීමට අපහසු කවියකි මේ. එහෙත් යම් අදහසක්‌ ඇතිව අන්දරේ මෙම කවිය කියන්නට අත.

අන්දර කැලේ දර දණ්‌ඩේ කුරුමිණියා

තන්තිරි කමින් වට දුවලා ගිනිගිනියා

පෙම්බර මලේ තුඩ නෑරම රොන් ගනියා

මන්තිරි කමින් ලෙස අඬලයි කුරුමිණියා



පදු ස්‌ත්‍රියක්‌ දෙස රාග බැලුම් හෙලූ රජතුමා දැක, අන්දරේ කීව කවකි මේ.

කද්දී බතට වැඩියෙන් මාළුවම පතයි

වැද්දී මුවා දුටුවම හිමියා නොතකයි

සුද්දී එමට ඇති මුත් බිසවත් ගෙදරයි

පැද්දී නොබලතත් පද්දා හොඳට හිතයි


සිද්ධිය බිසවට සැල කරයි යන බියෙන් රජතුමා කිසිත් නොකියා සිටියේලු.

අන්දරේගේ භාර්යාව දිනක්‌ තමාට ද කවියක්‌ කියන ලෙස අන්දරේට ඇරයුම් කළාය.

ඇගේ රුව වර්ණනා කරමින් අන්දරේ කී කවිය මෙසේය.

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා

බඳ දෙස බැලමි රන් කඳ වැන්න ආරනා

තන දෙස බැලිමි රන් කුඹුq වැන්න එල්ලෙනා

ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා




මේ කවිය නිසා තම ආදරණීය බිරිඳට වස්‌ වැදී යෑයි අන්දරේ සිතුවේලු. බිරිඳගේ වස්‌ දොස්‌ දුරලන්නට සිතා අන්දරේ කී අනෙක්‌ කවියයි මේ.

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා

බඳ දෙස බැලිමි හෙරළිය වැන්න මෝරනා

තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා

ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළුකනා




මෙම කවි දෙකෙහි තුන්පලකම එළිවැට යොදා ඇත. 'දෙස්‌, 'බැලිමි' යන වචන කවිවල පද හතරමට මනරම් අයුරින් යොදා ඇත. හිටිවනම කවි කීමෙහි අන්දරේගේ ඇති දක්‍ෂතාව මෙයින් පැහැදිලියි.

මෙම කවි දෙක රාජ කු=මාරිකාවකට කියන ලද්දක්‌ බවටද මතයක්‌ ඇත.

තම භාර්යාවගේ මරණය ගැන අන්දරේ කීවා යෑයි සැලකෙන මෙම කවියෙන් ඔහුගේ ප්‍රතිභාව කදිමට පැහැදිලිය.

පටුවන් නළල දිලිසෙන සුරතල් දිගැසේ

බටුවන් සුරඟනන් පරදන මැණික යසේ

කෙටුවෙන් දුජන බල නැති ලෙස මගේ ඉසේ

දුටුවොත් මහ බඹා මම කොටමි උගෙ හිසේ




පටු නළලකින් හෙබි සුරතල් සුන්දර දිගැසිය, දෙව් ලොවින් බිමට බට සුරඟනන් පරයන මැණිකක්‌ වන් කදිම සොඳුරිය, මෙතරම් ඉක්‌මනින් මරණය කරා ගෙන ගිය ඇය, එම්බල දුර්ජන මහ බඹාණනි, කිසිදු පලක්‌ නැතිව තොප ඇයි ඇයව මගේ හිසේ කෙටුවේ? මහබඹා තා මට අසුවුවහොත් තගේ හිසට කොටා වනසමි" මෙහි තේරුමයි. චිත්තරූප මවමින් ව්‍යංගාර්ථ ගැබ් කොට ගොතා ඇති මෙම කවි කෙතරම් අපූරු දැයි විමසා බැලීම වටී.

රන්වන් කළයක්‌ උකුලේ තබාගෙන දියට ගොස්‌ එන රාජ කුමාරිකාවන් දැක අන්දරේ කී කවියකි මේ.



කට කැඩි කළේ දිය උකුළේ තබාගෙන

ලොට තන දෙකක්‌ ගෙරි සමකින් වසාගෙන

තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන

රොඩී කෙල්ල කොහි යනවද උදැසන


ඉන් කෝප වූ රාජ කුමාරිකාවන් සිද්ධිය රජතුමාට සැලකර ඇත. උදහස්‌ වූ රජතුමා අන්දරේ ගෙන්වා එම කවිය නැවත කියන ලෙසට කීවේලු. තමා කීවේ මෙලෙස යෑයි අන්දරේ එවිට පහත සඳහන් කවිය කීවේලු.

රන් කැටි කළේ දිය උකුලේ තබාගෙන

රන් කුඹු දෙකක්‌ සළු පටකින් වසාගෙන

රිදිත් රත්තරන් දෙවගේ පැළඳගෙන

මල් මද බිසව් කොයි යනවද උදැසන


ඉන් රජතුමාගේ කෝපය පහවිය. රජතුමා ප්‍රීතියෙන් සිනාසුනේලු.

අන්දරේගේ කාව්‍ය නිර්මාණ දෙස විමසිලිමත්ව බලන විට හිටිවනම කවි කීමෙහි ඔහු තුළ තිබූ ප්‍රතිභාව මනාව පැහැදිලි වේ. එදා සමාජය පිළිබඳව දැනුමක්‌ ද මෙම කවි වලින් වටහා ගත හැකිය. අන්දරේට කයිවැල් අන්දරේ යන නම ද එකල භාවිත කර තිබේ. නොනවත්වා එක වැලට කවි කීමට තිබූ දක්‍ෂතාව ඊට හේතු වන්නට ඇත. එකල කුලභේදය තදින්ම පැවතුණු බව අන්දරේගේ බොහෝ කවි වලින් ගම්‍ය වේ. රාජ සභාව පිනවීමට කවටයකු පත්කර ගෙන රජතුමා මහත් විනෝදකාමී ජීවිතයක්‌ ගත කළ බව ද පැහැදිලිය.

මෙම ලිපිය සැකසීමේදී මා දිගු කලක සිට අසා තිබුණු අන්දරේ පිළිබඳ විස්‌තර සහ කවිත්, ක්‍රි. ව. 1948 දී මාවලපල්ලේ ඩී. පී. වෙත්තසිංහ මහතා සම්පාදනය කළ කවට අන්දරේ හෙවත් කයිවැල් අන්දරේ නමැති, කැබලි කැබලිවලට ඉරී ගිය පොතක ඇතුළත්ව තිබූ කවි කිහිපයක්‌ ද උපයෝගි කර ගතිමි.අන්දරේටත් වෙත්තසිංහ මහතාටත් මෙය උපහාරයක්‌ම වේවා.

අන්දරේ තමාටම කියාගත් එක්‌ කවියකින් මෙම ලිපිය අවසන් කරමි.

යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට

මන්තරේ හොඳයි ඉඳ ජප කරන්නට

ගින්දරේ හොඳයි සීතට තපින්නට

අන්දරේ හොඳයි සීපද කියන්නට

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.