වාර්ෂිකව අනුරපුරෙන් ලාදුරු රෝගීන්
සියයකට ආසන්නව වාර්තා වෙනවා

- වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය අශෝකා මුණසිංහ

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

1995 වර්ෂය වන විට ලාදුරු රෝගය මෙරටින් මුළුමනින්ම තුරන් කළ බව පැවසුවත් මේ වන විට රට තුළ ලාදුරු රෝගීන් දෙදහසක්‌ පමණ සිටින බව අනුරාධපුර දිස්‌ත්‍රික්‌ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය අශෝකා මුණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

මේ අනුව වාර්ෂිකව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් ලාදුරු රෝගීන් සියයකට ආසන්න පිරිසක්‌ වාර්තා වන බවද ඇය පැවසුවාය.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කැකිරාව, තලාව, ගලෙන්බිඳුණුවැව, අනුරාධපුර නැගෙනහිර සහ මධ්‍යම නුවර ගම් පළාත යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවලින් මේ වන විට ලාදුරු රෝගීන් බහුලව වාර්තා වන බවත් මුණසිංහ මහත්මිය පවසන්නීය.

2014 ලෝක ලාදුරු දිනය නිමිත්තෙන් එම රෝගය පිළිබඳව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට 26 දා අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.

මයිකෝ බැක්‌ටීරියම් ලේප්රේÊනමින් හැඳින්වෙන බැක්‌ටීරියාවක්‌ මගින් වැළඳෙන එම රෝගය තුරන් කිරීම සඳහා රජයේ රෝහල් මගින් ලාදුරු රෝගීන් හට වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ සැපයීම නොමිලේ සිදුකරනු ලබන බැවින් එම රෝගය සමාජ භීතිකාවක්‌ කර නොගත යුතු බවත් රෝගය වැළඳුණු අයකු වේ නම් වහාම රජයේ රෝහලකට ගොස්‌ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය උපදෙස්‌ ලබා ගන්නා ලෙසත් වෛද්‍ය අශෝකා මුණසිංහ මහත්මිය කීවාය.

වෛද්‍ය උපදෙස්‌ මත නොකඩවා හය මසක කාලයක්‌ ආහාර ගැනීමට පෙර ප්‍රතිකාර ලබා ගැනීමෙන් ආබාධිත තත්ත්වයට පත් නොවී ලාදුරු රෝගය නිට්‌ටාවට සුවකර ගැනීමට හැකියාව තිබෙන බවත්, මෙරට සෞඛ්‍ය නීතිය යටතේ ලාදුරු රෝගය දැනුම්දිය යුතු රෝගයක්‌ බවත්, එම රෝගීන්ට කිසිදු පෝලිමක නොසිට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක කොට තිබෙන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මෙම මාධ්‍ය හමුවට උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව් ඒ. සී. අබේසිංහ, අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්‌ඩාර, අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුත්සිරි සුමනදාස යන මහත්වරු සමග චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදාරාසිංහ මහත්මියද සහභාගි වූවාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.