පාරුවේ පුවක්‌!
(පරණ කියමනකට නව අර්ථකථනයක්‌)

ජනතා විමුක්‌ති පෙරමුණේ ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී විජිත හේරත් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද වැදගත් හෙළිදරව්වක්‌ ගැන ඊයේ (4 දා) දිවයිනේ' පළවී තිබිණි. එනම් ශ්‍රී ලංකාව තුළ ඕනෑ තරම් පුවක්‌ තිබියදී ඇමැතිවරයකු විසින් රටේ නීතිරීතිවලට පටහැනිව යමින් කරුංකා කන්ටේනර් 15 ක්‌ ආනයනය කර තිබෙන බව ය. මෙහිදී ඉතා සුළු කාරණයක්‌ කිව යුතු ය. එනම් මන්ත්‍රීතුමා කියන තරම් පුවක්‌ තොගයක්‌ අපේ රට තුළ නැත. තිබෙන පුවක්‌ ගස්‌ ටිකත් කපා තොරණ බඳිනවා හැරෙන්නට දේශීය අවශ්‍යතාව වෙනුවෙන් පුවක්‌ නිෂ්පාදනය සඳහා පුවක්‌ වැවිල්ලක්‌ දැනට මේ රට තුළ නැත. එසේ පුවක්‌ වවනවා නම් බුලත් විටක්‌ රුපියල් 20 - 25 ත් අතර මිල වන්නේ නැත. එසේම පුවක්‌ ගෙඩියක්‌ රුපියල් 10 දක්‌වා මිල නගින්නේ ද නැත. පුවක්‌ යනු ශරීරයට ඉතාම අහිතකර ද්‍රව්‍යයක්‌ ය යන බවට තිබෙන විද්‍යාත්මක මතය ගැන මෙහිදී තර්ක කිරීමෙන් වළකිමු. මන්ද යත් මෙම සටහනෙහි අරමුණ පුවකෙහි ගුණාගුණ කීම නොව, ඇමැතිතුමා ගෙන්වු පුවක්‌ කන්ටේනර් 15 හි හරි වැරැද්ද බැලීම ද නොව, ශ්‍රී ලංකාවේ ආනයන ප්‍රතිපත්තිය ගැන විමසා බැලීම නිසා ය. Alibaba.com නමැති වෙළෙඳ වෙබ් අඩවියට අනුව පුවක්‌ කිලෝවක මිල රුපියල් 1350 කි. එය විදේශීය වෙළෙඳපොළෙහි මිල ගණනයි. දේශීය පුවක්‌ වෙළෙඳපොළෙහි මිල ද එයට වඩා වෙනස්‌ නැත. එහි තේරුම නම් ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු තරමට පුවක්‌ නිෂ්පාදනයක්‌ නැති බව ය. මෙරට පුවක්‌ කර්මාන්තය තුළ රට පුවක්‌ සහ ගොලෑ පුවක්‌ යනුවෙන් වර්ග දෙකක්‌ තිබේ. බුලත් විටට හුරු පුරුදු අපේ පැරැන්නා ගොලෑ පුවක්‌ නමැති කුඩා පුවක්‌ විශේෂය මිස රට පුවක්‌ නමැති ලොකු පුවක්‌ විශේෂය බුලත් විටට තැබීමට එතරම් මනාප නැත. පුවක්‌ නිෂ්පාදනය ඉතා අඩු නිසා අද රට තුළ පුවක්‌ වියළීම හෙවත් කරුංකා දැමිල්ලක්‌ හෝ මඩ පුවක්‌ දැමිල්ල හෙවත් කල්තබා ගනු පිණිස පුවක්‌ මඩෙහි තැන්පත් කර තැබීමක්‌ සිදුවීමක්‌ නැත. ඒ අනුවත් පැහැදිලි වන්නේ කියන තරම් පුවක්‌ තොග මෙරට නැති බව ය. 'පුවක්‌ පාඩම' මෙතැනින් අවසන් කරමු. මෙතැන් සිට කතාව 'ආනයනය' ගැන ය.

විවෘත ආර්ථික සමාජයක්‌ තුළ ආනයනයට සම්බාධක පැනවිය හැක්‌කේ කුඩු, ගංජා, අබිං යනාදිය ගෙන්වන්නේ නම් පමණි. අරක්‌කු සෑදීම සඳහා එතිල් ඇල්කහෝල් ගෙන්වීම පවා නීත්‍යනුකූලය. කෙසේ වුවද මේ ලිහිල පාවිච්චි කරන ව්‍යාපාරිකයෝ අවශ්‍ය අනවශ්‍ය හැම දෙයක්‌ ම ලංකාවට ගෙන්වති. සුපර් මාර්කට්‌වලට ගියවිට කුඩාවට කැපූ අමු කැරට්‌ පවා පිටරටින් ගෙන්වා කිලෝව රුපියල් 1100 ගණනේ විකුණනු දැකිය හැකි ය. රටේ යෝගට්‌ නිෂ්පාදනය ඉතා ඉහළ තැනක තිබුණත් පිටරටින් යෝගට්‌ ගෙන්වනු ලබයි. එමතුද නොව අයිස්‌ක්‍රීම් ද පිටරටින් ගෙනෙයි. කැවුම් සහ කොකිස්‌ හැර අනෙක්‌ සියලු රසකැවිලි රටින් ගෙන්වයි. දේශීය නිෂ්පාදකයා වැසී යන තරමට චොකලට්‌ සහ ටොෆි සුපර්මාර්කට්‌ රාක්‌කවල ඇත. එසේම මෙරට සෑදිය හැකි පුඩිං වර්ග පමණක්‌ නොව විස්‌කෝතු පිටිවල දවටන ලද අමු ඉස්‌සන් ද තායිලන්තයෙන් ආනයනය කෙරේ. කට්‌ලට්‌ සාදන පාන් කුඩු/ විස්‌කෝතු කුඩු තායිවානයෙන් ගෙන්වනු ලැබේ. පරණ පාන් වියළා කුඩු කර එම කාර්යයට යොදා ගත හැකි වුවද International Standerds අනුව කටයුතු කිරීමට ප්‍රිය කරන සිංහල රටවැසියා තායිවාන් පාන් කුඩු ම මිලට ගනිති. අඹ වාරයට අඹ කුණු වී වැටීම ඉතා සුලභ නමුදු පිටරටින් අඹ පල්ප් ගෙන්වා අඹ බීම සාදති. මේ තත්ත්වය තුළ පුවක්‌ නොව ගොටුකොළ හා සාරණ පිටරටින් ගෙනාවත් අපි පුදුම විය නොයුත්තෙමු. අපි ජාත්‍යන්තර මට්‌ටමේ ජාතියකි. අප වැඩ කළ යුත්තේ ඒ තත්ත්වයට අනුව ය!
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.