සිසුන් කම්බස්‌ කරන මහියංගනයේ ලංගම බස්‌ !

මේ වන විට පාසල ද බෙහෙවින් කැළඹුණු හා කුපිත වූ ආයතනයක්‌ බවට පත්ව තිබේ. ඇතැම් පාසල් සිසු සිසුවියන්ගේ දිවි නසා ගැනීම් පිළිබඳ සෝබර පුවත් ඇසෙයි. පාසල් සිසුන්ගේ කන් පලන ප්‍රහාර එල්ල කරන ගුරුවරුන් පිළිබඳ පුවත් ද ඇසෙයි. ගුරුවරුන්ට පහර දෙන අමන සිසුන් පිළිබඳ පුවත් ද විරලව හෝ ඇසෙයි. ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරුන්ට හෝ එරෙහිව නැඟෙන නොයෙක්‌ ආකාරයේ විරෝධතාවන් ගැන ද ඇසෙයි.

මේ බොහෝ සිදුවීම් පසුපස අඩු වැඩි වශයෙන් දේශපාලන මළ පෙරේතයෝද සිටිති. තකතිරු ගුරුවරු හා මොළය තිබුණත් ඒ මත වාඩිවී සිටින දෙමවුපියෝ ද ආදි සිසුහු ද සිටිති. නොබෝදා ගම්පහ බණ්‌ඩාරනායක විදුහල යුද පිටියක්‌ බවට පත්වීම ද එවන් මුග්ධ මෙහෙයුමක අවිචාර ප්‍රතිචාරයක්‌ බව අපගේ අදහසය. එම විදුහලේ කීර්තිනාමය මත පැහැරූ ගුරුවරු ද දෙමවුපියෝ ද ආදි සිසුහු හා වත්මන් සිසුහු ද එහිලා තම තමන්ගේ කොටස්‌ බෙදා ගත යුතු වෙති. අපි ඊට වඩා ඒ ගැන නොකියමු.

අප අද කතා කරන්නේ එබඳු අමන ක්‍රියාකාරකමක්‌ ගැන නොව ඈත දුෂ්කර ප්‍රදේශයක පාසල් සිසු දරු දැරියන් මුහුණ දී සිටින අතිශය අමානුෂික වූද නීච වූද ක්‍රියාවක්‌ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කිරීමට ය.

අපගේ "දිවයින" පත්‍රය පේරේදා (5) "මහියංගනයේ ලංගම බස්‌ පාසල් සිසුන්ට පිටුපා යෑයි" යන හිසින් ඒ පුවත වාර්තා කර තිබිණි. එයින් කියෑවුණේ කිසියම් දුෂ්ට රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන් පිරිසක්‌ නිසා මහියංගනය හා ඒ අවට ප්‍රදේශ කීපයකම දරුවන්ට පාසල් නිම වී නිවෙස්‌ බලා යැමට නොහැකි වී තිබෙන බව ය. මහියංගනය, ගිරාඳුරුකෝට්‌ටේ, සිරිපුර, දෙහිඅත්තකණ්‌ඩිය වැනි ප්‍රදේශවලට යන සිසුන් බස්‌ රථවලට නංවා නොගැනීම ඊට හේතුව වී ඇති බවද සඳහන් විය.

මේ නොහොබිනා ක්‍රියාව මැඬලීම සඳහා මහියංගන ප්‍රජා පොලිසියේ ස්‌ථානාධිපති ආනන්ද විමලසිරි මහතා මැදිහත්ව පාසල් සිසුන් බස්‌වලට නැංවුවද, රියෑදුරන් මඳ දුරක්‌ ගොස්‌ ඒ සිසුන් බිමට බිස්‌සවා ගිය බව ද වාර්තා විය. එයින් පෙනෙන්නේ මේ බස්‌ ඒවා පදවන රියෑදුරන්ගේ හා ඒවා පාලනය කරන කොන්දොස්‌තර උතුමන්ගේ පෞද්ගලික දේපළක්‌ වී තිබෙන බවය.

මේ බස්‌ ආණ්‌ඩුවේ නැතහොත් මේ රටේ ප්‍රථම ජනසතු ව්‍යාපාරයක්‌ වූ ලංගමයට අයත් ඒවා මිස රියෑදුරන්ට හෝ කොන්දොස්‌තරවරුන්ට අයිති ඒවා නොවන බව ඔවුන්ට වටහා දීම ලංගමයේ වගකීමකි. ජනතා සන්තක පොදු දේපළ බොහෝ විට තමන්ගේ බූදල් බවට පත් කර ගත් දේශපාලනඥයෝ හා ඔවුන්ගේ අනුගාමිකයෝ ද සිටිති. එසේම නීතියද තමන්ගේ අභිමත යෑයි සිතන වෘෂභයෝ ද සිටිති.

ලංගමය මෙන්ම පෞද්ගලික බස්‌කාරයන් විසින් ද අද දවසේ ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳ අමුතු අටුවාටීකා වුවමනා නැත. මේ බස්‌කාරයන් දුවන්නේ සියලු සදාචාර ධර්මයන් ද සකලවිධ යුක්‌ති ධර්මයන්ද සමතලා කරමින් බවද නොරහසකි. ඇතැම් බස්‌ රථ මහපාරේ ඉගිලෙනු දුටු විට බණ අසා පුරුදු අයට නාලාගිරි හස්‌ති රාජයා මතක්‌ වීම ද ස්‌වාභාවිකය.

ඇත්ත එසේ වුවත් ඇති හැකි අයට මෙන් සුපිරි වාහන තබා තල්ලු ෙµdaඩ් කට්‌ටක්‌වත් නැති හුදී ජනයාට තිබෙන එකම ගමනාගමන ක්‍රමය ලංගමය හෝ පෞද්ගලික බසය පමණි. රියෑදුරු හා කොන්දොස්‌තර උතුමන්ගේ කරුණාව නොලැබුණහොත් ඒ පහසුවත් හබස්‌ ය.

අද මහියංගනයේ සිසු දරුවන්ට සිදු වී ඇත්තේ ද ඒ සන්තෑසියම ය. සමහර සිසුහු වේලාසනින් මුදල් ගෙවා වාර ප්‍රවේශපත්‍ර ලබා ගත්තෝ ද වෙති. මේ නිසා ඔවුහු වඩාත් අසරණ වෙති. සීසන් ටිකට්‌ එක සාක්‌කුවේ දාගෙන ප්‍රයිවට්‌ බසයකින් ගෙදර යැමට තවත් මුදලක්‌ ද වුවමනාය. එහෙත් කෝ සල්ලි ?

අනෙක්‌ අතට අද පාසල් සිසුවා යනු කිලෝ කීපයක පොත් මල්ලක්‌ ද පිටේ එල්ලා ගත් බර උසුලන්නෙකි. ජාතික අධ්‍යාපනය විසින් නියම කරන ලද පොත් බෑගය නිසා තුන්කුදු වී ගිය සිසුන්ට බස්‌ එනතුරු මහාපාරවල් අයිනේත් බස්‌ නැවතුම්පළවලත් රස්‌තියාදු වීමට සිදුවීම ද පවකි. මේ පව ගැඹුරු කලකිරීමක්‌ බවට පත්වී පුපුරා යන දවසක්‌ උදාවුවහොත් (එසේ නොවේවා) බස්‌ කම්බස්‌ වේදැයි සිසුන්ට කම්බස්‌ වීමට සිදු වේ දැයි අපට දැන්ම කිව නොහැක.

ඕනෑම දේකට මහපාරට බැස මාර්ග හරස්‌කර විරෝධතා දැක්‌වීමේ විලාසිතාව ජනප්‍රිය වී තිබෙන යුගයක මේ රියෑදුරු කොන්දොස්‌තර මාµsයාවට එරෙහිව එබඳු දෙයක්‌ සිදු වීමේ අනතුරක සම්භාවිතාව ද වැඩි බව නම් අපි දැන්ම ම දන්වා සිටිමු.

ලංගමය භාරව සිටින කුමාර වෙල්ගම ඇමැතිතුමා හෝ මැදිහත්ව මේ අගතියට පත්ව සිටින මහියංගන සිසු ප්‍රජාවට සහනයක්‌ සලසන්නේ නම් එය පිනකි. අකුරට යන අහිංසකයන්ට හතුරුකම් කරන කවර රියෑදුරෙකුට, කොන්දොස්‌තරවරයකුට වුවද හොඳක්‌ වෙන්නේ නැතැයි අපට ද කිව හැක. එහෙත් මේ හොඳ නරක ගැන හිතන කාලයක්‌a නොවන බව ද අපි දනිමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.