පළාත් සභා මැතිවරණය සහ ජිනීවා අර්බුදය

බස්‌නාහිර හා දකුණ පළාත් සභා දෙක සඳහා මහජන නියෝජිතයන් තෝරා ගැනීමට ලබන මාර්තු මස 29 වැනි දින පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්‌ඩුව විධි විධාන යොදා තිබේ. පළාත් සභා ක්‍රමය ජනිත වනුයේ ඉන්දු-ලංකා ගිවිසුම බලාත්මක කිරීම උදෙසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එක්‌ කළ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය බලාත්මක කිරීම මගිනි. උතුරු හා නැගෙනහිර පළාත් පදනම් කොටගෙන නිර්මාණය කෙරී ඇති ජනවාර්ගික ගැටලූවට විසඳුම් වශයෙන් අත්සන් කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම මූලාශ්‍ර කරගෙන 1988 දී ඇරඹුණු මෙම පළාත් සභා ක්‍රමයේ ගෙවී ගිය වසර 25 ක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී මෙය රටේ ආර්ථිකයට ශක්‌තියක්‌ වනවා වෙනුවට මහත් බරක්‌ වීමත්, පරිපාලනමය පහසුව ඇති කරනවා වෙනුවට එය අවුල් ජාලයක්‌ බවට පත් කිරීමටත්, ජාතික සම්පත් නොඑසේ නම් මහජන සම්පත් කාබාසිනියා කරන තෝතැන්නක්‌ බවට පත්වීමත්, ඥාති මිත්‍ර කොටස්‌වලට දේශපාලන පුහුණුව ලබා දෙන මෙවලමක්‌ හෝ වැඩවසම්වාදී වරිග සභා බවටත් මෙම පළාත් සභා පත්ව තිබෙන ආකාරය ප්‍රායෝගිකව දැකගත හැකිය. සුදු අලියා, වරිග සභා වැනි නාම විශේෂණ පද මෙයට පටබැඳී ඇත්තේ ද ගෙවී ගිය වසර 25 ක කාලය තුළ දී ජනතාව ඒ පිළිබඳව ලත් ප්‍රායෝගික අත්දැකීම් හා අවබෝධය පදනම් කොටගෙනය යන්න තර්කානුකූල සත්‍යයකි.

ඉන්දීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ නිර්මාණය කෙරී ඇති පළාත් ආණ්‌ඩු ක්‍රමය ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමයට වඩා සුළු වශයෙන් වැඩි බලතල ලබා ඇතත් එම පළාත් ආණ්‌ඩු පිහිටුවීමේ පරමාර්ථ ඒ ආකාරයෙන් ම ඉටු වී තිබීම බොහෝ දුරට දැකගත හැකිය. එය විශේෂයෙන් කැපී පෙනෙනුයේ එම පළාත් ආණ්‌ඩු රටේ සංවර්ධන ක්‍රියාවලිය වඩාත් වේගවත්, විධිමත් හා ශක්‌තිමත් කිරීමට බෙහෙවින් දායක වී ඇති ආකාරය දෙස බැලීමේ දීය. ඒ ඒ ප්‍රාන්ත තරගකාරීව භෞතික හා මානව සංවර්ධන ක්‍රියාවලිය සාක්‌ෂාත් කරගැනීමට දරණ වෑයම හරිම අපූරුය. තමිල්නාඩුව, ගුජරාටය, මහාරාෂ්ට්‍රය වැනි ප්‍රාන්ත වසර 20 කට පෙර පැවැති තත්ත්වය හා වත්මන් තත්ත්වය සැසඳීමේදී දැකගත හැක්‌කේ විශ්මයජනක ආර්ථික මෙන් ම සමාජයීය වර්ධනයකි.

නමුත් ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීම වසර 25 කට පසුව ද ඒවායේ නඩත්තු වියදම පවා දැරීමට තවමත් සිදු වී ඇත්තේ මධ්‍යම රජයට වීම කෙතරම් ඛේදවාචකයක්‌ දැයි සිතා බැලීම වටී.

මෙම විශ්ලේෂණය තුළින් අපේක්‌ෂා කරනුයේ පළාත් සභා ක්‍රමය අහෝසි කර මධ්‍යම රජයේ පාලනය ම පවත්වා ගත යුතුය යන මතයක්‌ නිර්මාණය කිරීම නම් නොවේ. පළාත් සභා ක්‍රමයට මෙවැනි ෙ€දජනක තත්ත්වයක්‌ අත්වීමට බලපා ඇති සාධක කවරේදැයි විමසා බැලීමත්, එහිදී රජයේත්, පළාත් සභාවන්හිත්, ජනතාවගේත් වගකීම්, යුතුකම් කවරේද යන්නත් විමසා බැලීම වැදගත්ය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට අත්ව තිබෙන ශෝචනීය ඉරණම දෙස බැලීමේදී පළාත් සභා ක්‍රමයට මෙබඳු තත්ත්වයක්‌ අත්ව තිබීම පිළිබඳව කිසිසේත් ම පුදුම විය යුතු දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. එහි සැබෑ ලෙස ම සත්‍යයක්‌ පවතී. විධායක ජනාධිපති ක්‍රමය මේ රටට හඳුන්වා දුන් ජූනියස්‌ රිචඩ් ජයවර්ධන මහතාගේ පාලන සමයේදී ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 'සිග්නල් කණු' නමැති නාම විශේෂණය පටබැඳුණු අයුරු ප්‍රකට කාරණයකි. එයට හේතු වූයේ 'මහජන නියෝජිත' සංකල්පය විකෘති කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති නියෝජිතයන් බවට ප්‍රායෝගිකව පත් කිරීමට විධායක ජනාධිපති ක්‍රමය සමත්වීම කරණකොටගෙනය.

ජනාධිපති ජයවර්ධන ඒ සඳහා බලය මෙන් ම මූල්‍යමය වරප්‍රසාද, වරදාන පවා දායක කරගත් ආකාරය ද ප්‍රකටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉහළ වැටුප්, විශ්‍රාම වැටුප්, වසරකට ලක්‌ෂ 50 ක විමධ්‍යගත මුදල්, මන්ත්‍රී නිල නිවාස, පෞද්ගලික කාර්ය මණ්‌ඩල, සුඛෝපභෝගී වාහන, ඉන්ධන, සුරාසැල් බලපත්‍ර, කොන්ත්‍රාත් ලබාගැනීමට අවස්‌ථාවන් ඇතුළු සකලවිධ වරප්‍රසාද, වරදාන රාශියක්‌ ද උපයෝගී කොට ගත්තේය. ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලවා ම මහජනතාව පීඩාවට පත් කෙරෙන අණපනත් ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මත සම්මත කරගැනීම උදෙසා අත් ඔසවා ගැනීමට කටයුතු කිරීම මත ඉහත කී 'සිග්නල් කණු' නමැති විශේෂණ පදය පාර්ලිමේන්තු මන්ත්‍රී නමැති ගෞරවණීය තනතුරට අත්කර දීමට ජනතාව පෙළඹුණි. ඒ, අත්දැකීම් මත පදනම් ව බව නොරහසකි.

ඉන් අනතුරුව 1988 දී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ඇරඹූ පළාත් සභාවත්, එහි පිහිටුවීමේ අරමුණු හෝ මහජන අවශ්‍යතා වෙනුවට ජනාධිපතිවරයාගේ අවශ්‍යතා ඉටු කරන බල ඒකකයක්‌ බවට පත් කරගැනීමට පෙළඹුණි. ඒ ආකාරයට එහි අනන්‍යතාවයත්, අරමුණුත් බිඳ දමා එය ද නිෂ්ක්‍රීය ආයතනයක්‌ බවට පත් කරගැනීමට මං පෙත් විවර කරගත්තේ ද එහි බලයත් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්‌ෂය වෙත ම නතු කරගැනීම මගිනි. ඒ අනුව පළාත් සභාවට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් හිමිව තිබුණු බලතල ලබා ගන්නවා වෙනුවට මධ්‍යම රජය හරහා ජනාධිපතිවරයාගෙන් ලැබෙන වරප්‍රසාද, වරදාන ලබාගැනීම මගින් සෑහීමකට පත්වීමට පළාත් සභා මන්ත්‍රීවරුන් ද පෙළඹුණි. ඒ අනුව ඔවුන් ද වරප්‍රසාදවලට පමණක්‌ සීමාවෙමින් ජනතාවගෙන් දුරස්‌ථ වූ පිරිසක්‌ බවටත්, රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක නොවන නාමමාත්‍රික පිරිසක්‌ බවටත් නිතැතින් ම පත්වූහ. බොහෝ මන්ත්‍රීවරුන් මැතිවරණ සමයෙන් පසුව දැකගැනීම පවා දුලබ දෙයක්‌ බවට පත්ව ඇති අයුරු ජනතාව වැඩි වශයෙන් අත්විඳින ප්‍රායෝගික යථාර්ථයයි.

බොහෝ අගහිඟකම් මැද ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ, මන්ත්‍රී ධුර ලබා කෙටි කාලයක්‌ තුළදී දසලක්‌ෂපතියන්, කෝටිපතියන් බවට පත්වන පාර්ලිමේන්තු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන් (ආණ්‌ඩු පක්‌ෂ) පිළිබඳ අත්දැකීම් මත ජනතාව පෙර පැවැති සේවා දේශපාලන වෙනුවට දේශපාලනය ව්‍යාපාරයක්‌ බවට පත් කරගත් පිරිසක්‌ වශයෙන් මොවුන්ව තේරුම් ගනිමින් සිටිති.

මැතිවරණ පැවැත්වීමේ ක්‍රමය දිස්‌ත්‍රික්‌ මනාප ක්‍රමය බවට පත් කිරීමත් සමග ම දිස්‌ත්‍රික්‌කයක්‌ ආවරණය කිරීමට විශාල මුදලක්‌ වැය කිරීමට සිදුවීම උගත්, බුද්ධිමත්, දේශපාලන අවබෝධය හා ප්‍රතිපත්තිගරුක සැබෑ මිනිසුන්ට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ දොරටු වැසී යාමට Rජුව ම දායක විය. කෙසේ හෝ මුදල් උපයා ගත්, සමාජ පිළිගැනුමකින් පවා තොර වූ අයට දේශපාලන බලය අත්පත් කරගැනීමේ අවස්‌ථාව උදාවීම කැපී පෙනෙන කාරණයකි. ඒ ආකාරයට දේශපාලන බලය අත්පත් කරගත් දේශපාලකයන් ජනතා සේවය පසෙකලා ජනතා පීඩනය එකම මඟ කරගැනීමට පෙළඹී සිටින ආකාරය පසුගිය කාලයේ කොතෙකුත් වාර්තා විය. දේශපාලන ක්‌ෂේත්‍රය ජනතා පිළිකුලට ලක්‌වීමටත්, වර්ධනය වීමටත් එම පසුබිම Rජුව ම දායක විණි. ප්‍රාදේශීය මට්‌ටමේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ව්‍යාපාර, කැලෑ කැපීම්, වැලි ගොඩ දැමීම්, ගංජා වගාව හා එතනෝල් ජාවාරම සේ ම සමාජශාලා ව්‍යාපාර එවැනි දේශපාලකයන්ගේ ප්‍රමුඛ ආදායම් මාර්ග බවටත් පත් විය. එම තත්ත්වය පාර්ලිමේන්තුවට පමණක්‌ සීමා නොවී වර්තමානය වන විට පළාත් සභාව හා ප්‍රාදේශීය සභාව දක්‌වා ම ව්‍යාප්ත වී තිබීම ශ්‍රී ලාංකීය සංස්‌කෘතිය, හර පද්ධති ඉතාමත් වේගයෙන් පරිහානියට පත්වීමට දායක වෙමින් පවතී. පළාත් සභා වරිග සභා බවට පත්වීම තත්ත්වය වඩාත් බියකරු කර ඇත.

මනාප මැතිවරණ ක්‍රමය පළාත් සභා පමණක්‌ නොව පළාත් පාලන මැතිවරණ පවා යුද්ධ බවට පත් කිරීමට පවත්නා මැතිවරණ ක්‍රමය බෙහෙවින් දායක වී තිබේ. එමනිසා මෙම මජර දේශපාලනය වෙනුවට පැරණි ක්‍රමයේ ජනතා සේවය පදනම් කරගත් මහත්මා දේශපාලනය නැවත රට තුළ ස්‌ථාපිත කරගැනීම උදෙසා අදාළ වගකිව යුත්තන්ගේ කඩිනම් අවධානය පමණක්‌ නොව ක්‍රියාමාර්ග ගැනීමත් අතිශයින් ම අත්‍යවශ්‍යය.

මෙවර බස්‌නාහිර හා දකුණු පළාත්වල පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කෙරෙමින් පවතිනුයේ මෙවැනි ෙ€දජනක පසුබිමක්‌ තුළය. සමස්‌ත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ම පුළුල් වෙනසක්‌ සිදු කිරීමකින් තොරව රට තුළ ස්‌ථාපිත වී ඇති මෙම මජර වූත්, ජරාජීර්ණ වූත් දේශපාලන ක්‍රමයට අර්ථවත් විසඳුමක්‌ ලබාදීමට කිසිසේත් ම නොහැකිය යන්න පරම සත්‍යයකි.

එහිදී මැතිවරණ ක්‍රමයේ පුළුල් ප්‍රතිසංශෝධනයක අවශ්‍යතාව ද ඉදිරියෙන් ම පවතී. එහෙත් වත්මන් මැතිවරණ සමයේදී එයට ඉඩකඩක්‌ නොලැබෙනවා සේ ම මෙවර පළාත් සභා මැතිවරණ තුළින් තත්ත්වය තව තවත් නරක්‌ විය හැකි දෙසට ගමන් කරනවා වෙනුවට හැකි ශක්‌ති ප්‍රමාණයෙන් අඩයක්‌ හෝ තැබීමට කටයුතු කිරීම මේ රටේ ඡන්දදායකයන්ගෙන් ඉටුවිය යුතුම වගකීමකි. යුතුකමකි. එහිදී ජනාධිපතිතුමා වෙනුවෙන් පක්‌ෂය වෙනුවෙන් ඡන්දය දෙනවාය යන සංකල්පය නිවැරදි නොවන බවත් තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. දූෂිතයන්, සමාජ විරෝධීන් යෑයි හඳුනා ගත් අයට මනාපය ප්‍රකාශ නොකර පක්‌ෂයට පමණක්‌ ඡන්දය පාවිච්චි කළ ද ප්‍රශ්නයට විසඳුමක්‌ නොලැබෙනුයේ එවැනි අපේක්‌ෂකයන් ලැයිස්‌තුවේ මුලට සිටියහොත් පක්‌ෂය ලත් ඡන්ද ප්‍රමාණය අනුව ලැයිස්‌තුවේ අනුපිළිවෙලින් මන්ත්‍රී ධුරයට තේරී පත්වන හෙයිනි.

එමනිසා මෙහිදී පක්‌ෂ දේශපාලනයට වඩා වැදගත් වනුයේ යහපත් පුද්ගලයන් තෝරා ගැනීමට ප්‍රමුඛත්වය දීමය. එහිදී පක්‌ෂය නොතකා කොයි පක්‌ෂය හෝ නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින යහපත් මහත්ම මහත්මීන් අතලොස්‌සට ප්‍රමුඛත්වය ලබාදීමට ඡන්දදායකයන් කටයුතු කිරීම මගින් සුළු හෝ යහපත් වෙනසකට මුල පිරීමේ මංපෙත් විවර කෙරෙනු ඇත.

පළාත් සභාවලදී ජාතික දේශපාලනයක්‌ කිරීමට උත්සාහ කිරීම ඵලදායී කටයුත්තක්‌ නොවේ. එමගින් උත්සුක විය යුත්තේ යහ පාලනයක්‌ තුළින් ජනතා මෙහෙවර හැකි උපරිම ආකාරයෙන් කරගැනීමට අවධානය යොමු කිරීමත්, ක්‍රියාකාරී වීමත්, කැපවීමත්ය.

මෙහිදී ජිනීවා ප්‍රශ්නය වැනි ජාතික තලයේ මාතෘකාවක්‌ තේමා කොටගෙන පළාත් සභා මැතිවරණයට ප්‍රවිෂ්ඨ වීමට ආණ්‌ඩුව පෙළඹීම බලය පිළිබඳ සංකල්පයේ දී සිදුවිය හැකිය. එහෙත් එමගින් පළාත් සභා තුළින් ජනතාවට ඉටු වී ඇති හා ඉටු නොවූ සේවාවන්, අපේක්‌ෂකයන්ගේ තත්ත්වය හෝ සුදුසු-නුසුදුසුතා සාකච්ඡාවට බඳුන් වීම මඟහැරීයා හැකිය. එමගින් පළාතටත්, පළාතේ වෙසෙන ජනතාවටත් අවැඩක්‌, අසාධාරණයක්‌, නොමඟ යැමක්‌ ම සිදුවීමට ඇති ඉඩකඩ ඉහළ අගයක්‌ ගනී.

එමනිසා ඡන්දදායකයන් හැඟීම්බර නොවී බුද්ධියට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම පළාත් සභා මැතිවරණවල දී අත්‍යවශ්‍යය. පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය කෙබඳු වූවත් එමගින් ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිල සැසිවාර තීරණයන්ට කිසිදු බලපෑමක්‌ සිදු කළ නොහැකිය යන්න පවත්නා යථාර්ථයයි. පසුගිය මැතිවරණ ප්‍රතිඵල හා ජිනීවා තීන්දු තීරණ දෙස බැලීමේදීත්, ඒ මැතිවරණ අතීතය මෙනෙහි කිරීමේදීත් ඉතාමත් මැනවින් අවබෝධ කරගත හැකිය.

මාතෘභූමිය තුළ අහිමි වෙමින් ඇති බවට පැවසෙන යහ පාලනය නැවත ගොඩනගා, ප්‍රජාතන්ත්‍රවාදය අර්ථසම්පන්න කරමින්, ජනතා පරමාධිපත්‍යය බලය යථාවත් කරමින් පවත්නා මජර දේශපාලනයට අඩයක්‌ හෝ තැබීමට කටයුතු කිරීම මගින් ජාතියේ අනාගත දරු පරපුර උදෙසා ඉටු කළ යුතු ඉහළ ම වගකීම ඉටු කළ බවට චිත්ත ප්‍රීතියක්‌ හද තුළ ජනිත කරගැනීමට මේ උතුම් අවස්‌ථාව උපයෝගී කරගත යුතුය. එය ජාතිය උදෙසාත්, මාතෘභූමිය උදෙසාත් ඉටු කරන මාහැඟි මෙහෙවරක්‌ ද වනු නියතය.

* රාජා කටුගම්පොළ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.