කාසල් රෝහලේ වෛද්‍යවරියගේ කාමරයට පැමිණ අයුතු යෝජනාවක්‌ ගෙනා සුළු සේවකයාගේ වැඩ තහනම්

අජිත් අලහකෝන්

කාසල් වීදියේ කාන්තා රෝහලේ සේවය කරන තරුණ සීමාවාසික වෛද්‍යවරියක නැවතී සිටින කාමරයට පසුගිය 05 වැනිදා රාත්‍රි 11.00 ට පමණ ඇතුළු වී අයුතු බලපෑමක්‌ සිදුකළේ යෑයි කියන එම රෝහලේම සුළු සේවකයකුගේ වැඩ තහනම් කර ඇත.

අදාළ වෛද්‍යවරිය විසින් රෝහලේ අධ්‍යක්‍ෂවරයාට කළ පැමිණිල්ලක්‌ අනුව සිදුකළ විමර්ශනයේදී සුළු සේවකයා වරදක්‌ කර ඇති බව තහවුරු වීම නිසා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ උපදෙස්‌ මත ඔහුගේ වැඩ තහනම් කර තිබේ.

තරුණ වියේ පසුවන මෙම සීමාවාසික වෛද්‍යවරිය පසුගිය 05 වැනිදා සේවය අවසන් කර සිය නවාතැන්ගෙන සිටින කාමරය වෙත යන අතරතුරදී කෑම පාර්සලයක්‌ ගෙනැවිත් දෙන ලෙස පවසා සුළු සේවකයාට මුදල් දී ඇත. සුළු සේවක තරුණයා ද කෑම පාර්සලය රැගෙන වෛද්‍යවරියගේ කාමරය වෙත ගොස්‌ ඇති අතර "ඩොක්‌ටර් මේ කාමරයෙ තනියෙන්ද ඉන්නේ බයක්‌ නැද්දැයි" අසා ඇත. තමන් ඉන්නේ තනිවම බව වෛද්‍යවරිය ද සුළු සේවකයාට පවසා කෑම පාර්සලය රැගෙන ඔහු පිටත් කර ඇත.

ඉන්පසු රාත්‍රි 11.00 ට පමණ වෛද්‍යවරියගේ කාමරයේ දොරට කිසිවකු තට්‌ටු කරන හඬ ඇසී ඇය දොර ඇර ඇත. පැමිණ තිබෙන්නේ පෙර කී සුළු සේවක තරුණයාය.

"ඩොක්‌ටර් තනියම ඉන්න නිසායි මම ආවේ. මම ඇතුළට එන්නද?" සුළු සේවකයා අසා ඇත.

සුළු සේවකයා කාමරයට ඇතුළුවීමට පෙර දොර වසා දැමූ වෛද්‍යවරිය ඒ පිළිබඳ රෝහල් අධ්‍යක්‍ෂවරයාට පැමිණිලි කර තිබේ. රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට මේ ගැන දැනුම් දීමෙන් අනතුරුව වහා විමර්ශනයක්‌ සිදුකර ඇති අතර එක්‌ දිනයක්‌ තුළදී අදාළ විමර්ශන වාර්තාව ලබාදෙන ලෙස ද විමර්ශන අංශයට පවසා ඇත.

ඒ අනුව පෙරේදා සෞඛ්‍ය ලේකම්වරයාට අදාළ විමර්ශන වාර්තාව ලබාදී ඇති අතර සුළු සේවකයා වෛද්‍යවරියට අයුතු බලපෑමක්‌ සිදුකිරීමට උත්සාහ දරා ඇති බව එම වාර්තාවේ සඳහන්ව ඇත. ඒ අනුව සමස්‌ත සෞඛ්‍ය සේවාවේ විනය පවත්වාගෙන යැමට මූලිකත්වය ලබාදෙමින් එම සේවකයාගේ වැඩ තහනම් කිරීමේ ලිපිය එදිනම භාරදී ඇත.

මේ පිළිබඳ තවදුරටත් පරීක්‍ෂණ පවත්වා මෙම සුළු සේවකයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කීවේය.

රෝහල් සුළු සේවකයන් විසින් සිදුකරන ලිංගික අඩන්තේට්‌ටම් පිළිබඳ නිතර පැමිණිලි ලැබෙන නිසා ඒ සම්බන්ධ සියලු පරීක්‍ෂණ කාන්තා හා ළමාරක්‍ෂක අධිකාරියට පැවරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයට දැනුම් දී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.