සංගීතයේ මාධූර්යය
සවණින් නොව මනසින් විඳි ගාන්ධර්වයා

ලූඩ්විග් වැන් බීතෝවන් !


මහෞෂධ පඬිතුමා මවු කුසයෙන් බිහිවෙද්දීම සඳුන් ගැටයක්‌ අතේ තබාගෙන පැමිණි බව අපගේ සාහිත්‍යයේ 'උම්මග්ග ජාතකය' නම් කථා වස්‌තුවේ සඳහන් වෙයි.

ඒ අයුරින්ම සංගීත සංවනිය, ස්‌වර ප්‍රස්‌තාර නිමැවුම් උපතින්ම උරුමකොට ගෙන පැමිණියාක්‌ මෙන් බටහිර ශාස්‌ත්‍රීය සංගීතයේ දීප්තිමත් තරු සලකුණක්‌ සදාකාලයටම සනිටුහන් කිරීමට ලුඩ්විග් වැන් බීතෝවන් නම් ගාන්ධර්වයා සමත්වූයේය.

1770 වසරේ එක්‌තරා දිනක ජර්මනියේ බොන් නුවර විසූ ජොහාන් වැන් බීතෝවන් සහ මාරියා මග්දලේනා කෙවේරිච් යුවළගේ පුත්‍රයකු ලෙස මෙලොව එළිය දුටු ලුඩ්විග් වැන් බීතෝවන් දරුවා ගේ පියා මෙන්ම මුත්තණුවන්ද සංගීතවේදීන් වීම නිසා පරම්පරා උරුමයක්‌ ලෙස සංගීතය තම රුධිරයට මුසුවී උපන්නෙකි. කිරි දරුවකුව සිටි කාලයේ සිටම සංගීත නාද රටාවන් ඔහුගේ දෙසවන පුරා රැව්දෙමින් මනසේ තැන්පත් වන්නට ඇත. 1770 දෙසැම්බර් 17 දින දිව්‍ය සත්ප්‍රසාදය ලත් බිලි¹ ගේ ප්‍රථම සංගීත ගුරුවරයා වූයේ තම පියාය.

දැඩි ගතිගුණ ඇති පියාවූ ජොහාන් බීතෝවන් තම කුඩා පුතුට සංගීතය ඉගැන්වීමට තම මිත්‍රයකු වූ ටෝබියස්‌ ෆෙයිසර් ද හවුල් කොට ගත්තෙන් බීමතින් රෑ මැදියමේ නිවසට පැමිණෙන ඔවුන් දෙදෙනාම එක්‌ව නිදි ඇඳේ සිටි ලුඩ්වික්‌ දරුවා ඇහැරවා එළිවන තුරා සංගීත වාදනය පුහුණු කරවූq බව පැවසේ.

කුඩා දරුවා සංගීතයට උපන් හපන් කම් ඇත්තකු බව පැටි වියේදීම ප්‍රකට කළේය. අටහැවිරිදි වියට පත්වන විට ලුඩ්විග් වැන් බීතෝවන් නම් කුඩා කොලුවා ඕර්ගනය, වයලීනය, වියෝලය හා පියානෝව හොඳින් වාදනය කිරීමට සමත් වූයේය.

රාජකීය වාදක මණ්‌ඩලයේ සාමාජිකයකුවූ ක්‍රිස්‌ටියන් හොට්‌ලොබ් නීෂේ නම් සංගීතඥයා කුඩා බීතෝවන් හට වඩාත් හොඳ ගුරුවරයකු වූයේය. ඔහුගේ මඟපෙන්වීම පරිදි අප කුඩා සංගීතවේදියා 1787 දී තම ප්‍රථම සංගීත නිර්මාණය ඉදිරිපත් කළේය.

වයස දහහත පිරි යෞවන වියේදී බීතෝවන් ඔස්‌ටි්‍රයාවේ වියානා නුවර බලා ගියේය. එහිදී දක්‍ෂ සංගීතඥයකු හා සංගීත රටා නිර්මාණකරුවකු ලෙස මහත්සේ ප්‍රසිද්ධව සිටි "වුල්යෑන්ග් මොසාට්‌" ඉදිරියේ වාදන කිරීමේ අවස්‌ථාවක්‌ බීතෝවන් ලද්දේය.

ඔබ කවදා හෝ සංගීත නිර්මාණයෙන් ලොවම මවිත කරවන පුද්ගලයකු වනවා නියතයි. එදා මොසාට්‌ නම් වූ ලෝපතල සංගීතඥයා බීතෝවන් හට අනාවැකියක්‌ පළකළේය. ඉන් උද්දාමයට පත්වූ ඔහු දුෂ්කර සංගීත ප්‍රස්‌ථාර නිර්මාණය කිරීමට බෙහෙවින් වෙහෙස වූයේය.

මේ අතර තුර බීතෝවන්ගේ මව ක්‍ෂයරෝගය වැළඳී අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති බවට දැනුම්දීම නිසා ඔහුට යළිත් තම ගම - රට බලා යැමට සිදුවිය. 1787 ජූලි 17 දින ඔහුගේ මව නොඑන ගමන් ගිය පසු, මත්පැන් නිසා නිතරම සිහිවිකල්ව සිටින පියාගෙන් පිළිසරණක්‌ නොලද, බාල සොහොයුරන් රැකබලා ගැනීමේ වගකීම දරන්නට ඔහුට ඉදිරිපත් වීමට සිදු විය. වසර කිහිපයක්‌ ගතවූ පසු යළිත් තම සංගීත දිවිය සොයා වියානා නුවරට යැමට බීතෝවන්ට හැකිවිය.

ශ්‍රෝෂ්ඨ සංගීතඥ මොසාර්ට්‌ වෙතින් ශිල්ප හැදැරීම බීතෝවන්ගේ අභිප්‍රාය වුවද එය ඉටුනොවූයේ ඊට වසරකට පමණ පෙරාතුව මොසාර්ට්‌ මියගොස්‌ සිටි බැවිනි.

එනිසා කලින් ඉගෙනුම ලබා ගත් ගුරුවරයා වන ජෝශප් හේඩ්න් (Jදියදච Haහාaබ) වෙතට යළිත් යැමට ඔහුට සිදුවිය. ඒ අතරම තවත් දක්‍ෂ සංගීතවේදීන් වූ "ජොහාන් ජෝර්ඡ් ඇල්බ්‍රෙඩ්බර්ගර්" හා "ඇන්ටෝනියෝ සැලේරි" වෙතින්ද බීතෝවන් නම් තරුණ සංගීතවේදියාට නොමසුරුව ගුරුහරුකම් ලැබිණි.

1793 වන විට ලුඩ්විග් වැන් බීතෝවන් නාමය වියානා හි ප්‍රමුඛපෙළේ පියානෝ වාදකයන් අතරට එක්‌වූ අතර නිදහස්‌ ලෙස රැකියාව කොට ආදායමක්‌ ඉපයීමටද ඔහුට හැකිවිය. නගරයේ ඉහළ පෙලැන්තියේ රදල සමාජයේ කුලීනයන් වෙතින් නිරන්තරයෙන්ම ඔහුගේ සංගීත සංවනි සඳහාද ප්‍රසංග සඳහාද ඉල්ලුමක්‌ තිබූ අතර සංගීතය ඉගැන්වීමටද බොහෝ කොට ආරාධනා ලැබුවෙන් බීතෝවන් වාර්ෂිකව විශාල දීමනාවක හිමිකරුවකු වූයේය.

සිය සංගීත දිවියේත් තාරුණ්‍යයේත් උච්චස්‌ථානයේ සිටි බීතෝවන් තරුණය 1796 පමණ වන විට මහත් අභාග්‍ය සම්පන්න ඉරණමක්‌ වෙත ගමන් කරමින් සිටියේය.

සංගීතය රසවිඳින්නට, තනු හා ස්‌වර රචනා නිර්මාණය කරන්නට, ඔහුට මෙතෙක්‌ කල් උදව් කළ දෙසවන තමන්හට පිටුපානා බව ඔහුට වැටහෙන්නට විය.

තම දෙසවන් තුළින් නැගෙන ශබ්දයක්‌ නිසා සංගීත නාදය ග්‍රහණය කිරීමට හෝ රසවිඳීමට බාධා ඇතිවන බව ඔහුට වැටහිණ. වෙනත් අය හා සාකච්ඡා කිරීමට තමාට අපහසු බවද ක්‍රමයෙන් තම කන්, තමන්ට අවශ්‍ය ලෙස යොදාගත නොහැකි බවද වටහා ගත් බීතෝවන් තම ජීවිතයේ එකම භාග්‍යය වූ සංගීත නාදය තමා කෙරෙන් දුරස්‌වීම පිළිබඳව මහත්සේ කම්පා විය.

කන් නෑසීමේ අභාග්‍යය මැඬපවත්වාගෙන කටයුතු කරන්නට වෙහෙසුණද එය අපහසු වූයේය.

"මා හමුවන්නට එන අය හඬ නඟා කථා කරන්නට කියා වෙහෙසෙන්නට මා කැමැති නැහැ. ඒ වගේම මගේ කන් නොඇසෙන බව කියා ඔවුන්ගේ අනුකම්පාව ලබන්නටත් මා කැමැති නැහැ. මා ඉදිරියේ කිසිවකු වාදනය කරන විට එහි මිහිර කන් ඇසෙන අය විඳින අතරේ මට කිසිවක්‌ නොඇසීම මහත් දුකක්‌"

වරෙක බීතෝවන් පැවසීය. මේ හේතුකොට ගෙන මානසික පීඩනයට පත් ඔහු වරක්‌ සිය දිවි නසා ගන්නටද උත්සාහ කළේය.

නමුත් ඔහු තම දුබලතාවට ඉඩදී පරාජය වීමට කැමති නොවූයෙන් යළිත් තම සිත තුළ ධෛර්යය වඩවා ගත්තේය. බොහෝ දැනහැඳුනුම්කම් ඇතියවුන්, හිත මිතුරන්, සේවා දායකයන්ගෙන් පිරුණු සොඳුරු පරිසරය අතහැර වියානා නුවරින් එපිට වූ හේලිජෙන්ස්‌ට්‌ (Heසකසටැබඒd) කුඩානගරය කරා ගිය බීතෝවන් හාස්‌කමක්‌ කිරීමට සිත හදා ගත්තේය.

තම සිත, ධෛර්යය වඩවා ගත් ආකාරය, ඔහු ලියූ තෙස්‌තමේන්තුව හෙවත් Heසකසටැබිඒd ඔesඒපදබඑ නම් වූ සටහන පැහැදිලි කරයි.

දෙසවනේ පිහිට නොමැතිව මොළයෙන් පමණක්‌ සංගීත ස්‌වර ග්‍රහණය කොට ගෙන අති විශිෂ්ට ස්‌වර රචනා කිරීමට ඔහු උත්සාහ කළේය. ඉතා නිසංසල ස්‌ථානයක දැහැන් ගතවී චිත්ත සමාධිය ඔස්‌සේ සංගීත සංවනි නිර්මාණය කළේය. මේ කාලය ඔහු ගත කළේ භාවනාවක යෙදෙන්නාක්‌ මෙනි. ඔහු සාකච්ඡා කළේ පොතපත සමගිනි. අද්විතීය ඉතිහාසගත වාර්තාවක්‌ තැබූ ඔහු තම නොඇසෙන දෙසවන අමතක කොට සදාතනික වටිනාකමකින් යුත් දහස්‌ ගණන් වූ සංගීත ප්‍රස්‌තාර හා සටහන් රැසක්‌ මෙලොවට දායාද කරමින් සංගීත මානවයාගේ ප්‍රවේගයක්‌ බවට පත් කළේය.

තමාට කිසිදා හිමිකර ගැනීමට නොහැකි වූ ජොසපින් වොන් බෲන්ස්‌වික්‌ (Jදිeචයසබැ ඩදබ ඊරමබිඅසජන) නම් කුලීන වැන්දඹු කාන්තාව හා 1805 දී ප්‍රේමයෙන් බැඳුණු බීතෝවන් 1807 වසරේදී එය අතහැර දැමූයේ දැඩි තීරණ ගැනීමේ සිය අපහසුතාව මෙන්ම ජොසපින්ගේ කුලීන පවුලේ අනුමැතිය නොලැබීමද හේතුකොට ගෙනය.

1812 දී ඔහු අමරණීය ප්‍රේමිය යනුවෙන් අමතා ඉතා දිගු පෙම්හසුනක්‌ ලියා ඇතත් එය කවරකු වෙනුවෙන් ලීවේදැයි නිශ්චිත නොවේ.

ප්‍රතිපත්ති ගරුක යහපත් පුද්ගලයකු වූ ඔහු ඉතා ඉක්‌මනින් කෝපවන, අන්‍යයන් වෙත කඩා පැන බැණ වදින පුද්ගලයකු වූ අතර එසැණින්ම කෝපය සහමුලින් නිවා දමා කාරුණික ප්‍රියමනාප බස්‌ දෙඩූ පුද්ගලයකු ද වූ බවට සාක්‍ෂි ඇත. බටහිර ශාස්‌ත්‍රීය, සංගීතයේ යෝධයකු ලෙස හැඳින්වෙන ලුඩ්විග් වැන් බීතෝවන් ගේ සංගීත දිවිය පූර්ව, මධ්‍යම හා අවසාන වශයෙන් නිර්මාණ අනුව බෙදේ.

සංගීත රචකයකු, ස්‌වර නිර්මාණකරුවකු මෙන්ම විශිෂ්ට පියානෝ වාදකයකු වශයෙන්ද අති මහත් කීර්තියක්‌ අත්කොටගත් බීතෝවන් බටහිර සංගීතයට ලබාදුන් විශිෂ්ට දායකත්වය අමරණීය වේ. 1827 මාර්තු 27 දින වයස අවු 56 සපුරා ඔහු මෙලොව හැරයද්දී සම්භාව්‍ය සංගීත මානව ප්‍රවේගයක්‌ බවට පත්කිරීමේ භාරදූර කාර්යය නිමාකොට සිටියේ සදාතනික වටිනාකම් රැසක්‌ මෙලොව රඳවා තබමිනි.

මල්කාන්ති ගුණතුංග

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.