පපුවේ කූරක්‌ ඇන ගත් දරුවා බේරාගත්තේ මෙහෙමයි
- විශ්මිත සැත්කම් කළ දොස්‌තර නම හෙළිනොකරයි

නදුන් තේජන බුලත්සිංහල තෙහැවිරිදි වියෙහි පසුවන දරුවෙකි. පදිංචිය මැදවච්චිය කටුවෙල ප්‍රදේශයේය. පුංචි දඟකාරයකු වුවද පුංචි නදුන් වඩාත් ඇළුම් කළේ සෙල්ලම් කාර්වලටය. නදුන් දවසෙන් වැඩි හරියක්‌ මිඩංගු කළේ සෙල්ලම් කාර් පැදවීම සඳහායි. පසුගිය හතර වැනිදාද පුංචි නදුන් සෙල්ලම් කාර් රථයක රෝද ගලවා යළි සවි කිරීමට සැරසුණේය. ඔහු අතින් එක්‌ රෝදයක්‌ කම්බි කූරත් සමග ඈතට විසිවී ගියේය.

නදුන් එම රෝදය අහුලා ගැනීම සඳහා පසුපසින් දිවගියේය. සිදුවූයේ නොසිතූ දෙයකි. පුංචි දෙපා පැටලී නදුන් ඇද වැටුණේ එම රෝදයේ කම්බිකූර මතටය. පුංචි නදුන් වේදනාව ඉවසාගත නොහැකිව මුළු පළාතම දෙවනත් වන සේ කෑගැසුවේය. තම පුතුගේ කෑගැසීමේ ශබ්දයට දුව ආ නදුන්ගේ මව දුටු දෙයින් තුෂ්ණිම්භූත විය. කම්බි කූර සහිත රෝදයක්‌ තම පුතුගේ පපුව තුළට කාවැදී තිබේ.

කලබල නොවූ ඇය කළේ කම්බි කූර ශරීරයෙන් ඉවත් නොකර වහාම නදුන්ව අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කිරීමය.

වහාම දරුවා පරීක්‍ෂා කළ අනුරාධපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පරීක්‍ෂණ පවත්වා මේ බව ඒ මොහොතේදීම කොළඹ ළමා රෝහලේ හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාට දන්වා තිබේ. ඒ අතර කම්බි කූර සහිත දරුවාගේ පපුවේ එක්‌ස්‌රේ ඡායාරූප විද්යුත් තැපෑලෙන් ගෙන්වා පරීක්‍ෂා කළ කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා එම ළදරුවාව වහාම කොළඹ එවන ලෙස අනුරාධපුර රෝහලේ වෛද්‍ය නිලධාරීන්ට දන්වා තිබේ.

ඒ අනුව වෛද්‍ය කණ්‌ඩායමක්‌ සහ හෙද නිලධාරීන් කණ්‌ඩායමක්‌ පස්‌වැනිදා අලුයම 1.30 පමණ වන විට එම දරුවාව කොළඹ ළමා රෝහල වෙත ගෙනවිත් තිබේ. ළමයාගේ තත්ත්වය විද්යුත් තැපෑල ඔස්‌සේ එවූ එක්‌ස්‌රේ මගින් දැනගත් නිසා එම දරුවා ගෙන ආ වහාම ශල්‍ය කර්මයකට ලක්‌ කිරීම සඳහා ළමා රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් සූදානම් වී තිබේ. පාන්දර 2.30 පමණ වෙද්දී එම දරුවාගේ ශල්‍ය කර්මය සිදු කරන ලදී. ඒ අනුව අවුරුදු තුනහමාරක්‌ වයසැති දරුවකුගේ පපුව හරහා සිරුර තුළට කාවැදුණු යකඩ කූරක්‌ කොළඹ ළමා රෝහලේ හෘද ශල්‍ය විශේෂඥ ඒකකයේ වෛද්‍යවරුන් විසින් සිදුකරන ලද සාර්ථක සැත්කමකින් පසු ඉවත් කරන ලදී.

මෙම ශල්‍ය කර්මය සිදුකළ කොළඹ ළමා රෝහලේ හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා තම නම පුවත්පතේ සඳහන් නොකරන්නැයි කාරුණිකව ඉල්ලමින් ඒ පිළිබඳව මෙසේ අදහස්‌ ප්‍රකාශ කළේය.

පාන්දර 2.30 පමණ වෙද්දී අපි දරුවාගේ ශල්‍යකර්මය සාර්ථකව සිදු කළා. මමත් ශල්‍ය හා නිර්වින්දන වෛද්‍යවරුත්, හෘද හා පෙනහළු නිවේෂක කණ්‌ඩායමත් සෑහෙන වෙහෙසක්‌ දරලා මේ දරුවාගේ පපුව තුළට ගොස්‌ තිබූ කම්බි කූර ඉවත් කළා. මේ යකඩ කූර සම්පූර්ණයෙන්ම තිබුණේ දරුවාගේ ශරීරය ඇතුළේ. දරුවා හරිම වාසනාවන්තයි. ශරීරයේ ඉතාම වැදගත් අවයව කිහිපයක්‌ අතරින් ගිහින් මහා ධමනිය සූරාගෙන තමයි කම්බිය මතුවී තිබුණේ. අපි ඉතාම ආරක්‌ෂා සහිතව දරුවාට ප්‍රශ්නයක්‌ නොවන ලෙස මෙය ඉවත් කළා. දරුවා දැන් සුවය ලබමින් සිටිනවා.

ඇත්තටම අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරයාත්, ඉතා බුද්ධිමත්ව කටයුතු කළා. අන්තර්ජාලයට දොස්‌ කියන මේ කාලයේ අපි මේ දරුවාගේ තොරතුරු හුවමාරු කරගත්තේ අන්තර්ජාලයෙන්.

කුමන හෝ දෙයක්‌ ශරීරයේ ඇණුනම මුලින්ම කළ යුත්තේ එය ගළවන්නේ නැතිව ළඟම තියෙන රෝහල වෙත ගෙන යැමයි. අවයවයක්‌ ශරීරයෙන් වෙන් වුණොත් අයිස්‌වල ඒ අවයව කොටස දමාගෙන පුළුවන් තරම් ඉක්‌මනින් රෝහලට ගෙන ආ යුතුයි. එමෙන්ම දෙමවුපියන් දරුවා කෙරෙහි දැඩි අවධානයකින් සිටිය යුතුයි. දරුවා සෙල්ලම් කරන්නේ මොනවා සමගද යන්න සොයා බැලිය යුතුයි.

ගයාන් සමරසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.