දිස්‌ත්‍රික්‌ක 10 ක ඩෙංගු හිස ඔසවයි

ලසිත දුමින්ද

කොළඹ ඇතුළු දිස්‌ත්‍රික්‌ක 10 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්‌ඨාස 30 ක යළි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක්‌ පවතින බැවින් හෙට (10 දා) සිට ජාතික සෞඛ්‍ය සතියක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

ලබන 16 වැනිදා දක්‌වා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ සඳහා අධ්‍යාපන, සෞඛ්‍ය, පරිසර, නීතිය හා සාමය, පළාත් පාලන යන අමාත්‍යාංශවල සහය ලබාගන්නා බව ද අමාත්‍යාංශය පවසයි.

ගත වූ මාස දෙක තුළ කොළඹ නගර සභා බලප්‍රදේශයේ පමණක්‌ ඩෙංගු රෝගීන් 600 ක්‌ පමණ හඳුනාගෙන ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, පුත්තලම, කෑගල්ල, යාපනය, මඩකලපුව සහ කුරුණෑගල යන දිස්‌ත්‍රික්‌ක 10 තුළ ද ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක්‌ පවතින බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉවතලන භාජනවලින් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව බව හෙළි වී ඇත. මේ නිසා කසළ බැහැර කිරීමේදී පළාත් පාලන ආයතනවලට මෙන්ම මහජනතාවට ද වගකීමක්‌ පැවරෙන බව ද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.