අඩු මිල පිළිකා එන්නතට අනුමැතිය ප්‍රමාද වෙයි

ශිරාන් රණසිංහ

පිළිකා රෝගීන්ට ලබාදෙන ඇල්බියුමින් බවුන්ඩ් පැක්‌ලි ටැක්‌සල් එන්නත රුපියල් තිස්‌අටදහසකට සැපයීමට ඉදිරිපත්ව සිටින සමාගමෙන් එය මිලදී ගැනීමට විරෝධය හෝ අනුමැතිය පළ කිරීමට නොහැකිව ඇත්තේ අදාළ දත්ත වාර්තා නිසි පරි ලැබී නැති නිසා යෑයි ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් මණ්‌ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා " දිදිවයින"ට පැවැසීය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු කියාසිටියේ අදාළ සමාගම් සියලු දත්ත වාර්තා අදාළ අංශ වෙත යොමුකරවා තිබුණද ඖෂධ ඒකාධිකාරයේ අදිසි හස්‌ත එම දත්ත වාර්තා වෛද්‍යවරුන් වෙත යොමු නොකරන බවයි.

පියයුරු පිළිකා, පෙනහලු පිළිකා සහ ගැබ් ගෙළ පිළිකා රෝගීන්ට ලබාදෙන ඇල්බියුමින් බවුන්ඩ් පැක්‌ලි ටැක්‌සල් එන්නත් කුප්පි පන්සියයක්‌ පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන බවත් තාක්‍ෂණික කමිටුවේ නිර්දේශ ලැබුණ වහාම අදාළ එන්නත මිලදී ගැනීමට ක්‍රියා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මේ වන විට එම එන්නත සැපයීම වෙනුවෙන් සමාගම් දෙකක්‌ ඉදිරිපත්ව සිටින අතර ඇමරිකාවෙන් එන්නත සපයන සමාගමක්‌ එක්‌ කුප්පියක්‌ සඳහා රුපියල් 73,000 ක මිලක්‌ ඉදිරිපත් කර ඇත. අනෙක්‌ සමාගම එම එන්නතම රුපියල් 38,000 කට ඉන්දියාවෙන් ගෙන්වීමට මිල ගණන් ඉදිරිපත් කර ඇත. මේ හේතුවෙන් අදාළ ටෙන්ඩරය ලබාදීම පමාවී තිබේ.

රජයේ ටෙන්ඩර් පටිපාටියට අනුව අඩු මිල ගණන් ඉදිරිපත් කර ඇති සමාගමට ටෙන්ඩරය ලබාදෙයි.

ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිත එන්නත පිළිබඳ ප්‍රමිතියේ ප්‍රශ්න තිබේදැයි " දිවයින" කළ විමසීමේදී එම නිලධාරියා කියා සිටියේ තාක්‍ෂණික කමිටුව ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.