රටට වන හානිය නොතකා
ජිනීවා ප්‍රශ්නයෙන් රජය දේශපාලන වාසි ගන්නවා

එජාපය නිවේදනය කරයි


ජීනිවා ප්‍රශ්නයෙන් දේශපාලන වාසි ලබාගන්නට උත්සාහ නොකරන්නැයි එක්‌සත් ජාතික පක්‍ෂය සහ මෙරටේ සැබෑ දේශප්‍රේමී බලවේග රජයෙන් කොතෙක්‌ ඉල්ලීම් කර සිටියද වත්මන්ර ජය රටට සිදුවන හානිය නොතකා සිය දේශපාලන න්‍යාය පත්‍රය පමණක්‌ පුළුල් කර ගැනීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව ඉතාම පැහැදිලි යෑයි එක්‌සත් ජාතික පක්‍ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එහි මෙසේ ද සඳහන් වේ.

මානව හිමිකම් ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකිරීම, අගවිනිසුරුවරියගේ දොaෂා භියෝගය, 17 වැනි සංශෝධනය අහෝසි කිරීම, ඒකාධිපතිත්වයට පාර කපන 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය, සමාජ ආර්ථික සහ දේශපාලනික යන සියලු අංශ මිලිටරීකරණයට ලක්‌ කිරීම, නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්‌ කිරීම වැනි සියලු කාරණා නිසා වත්මන් අර්බුදය නිර්මාණය වී ඇති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ ස්‌ථාවරයයි. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට වසර 5 ක්‌ ගතවී ඇතත් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට රජය අසමත්ව ඇති අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙතෙක්‌ පරීක්‍ෂණයක්‌වත් පවත්වා නැත. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිසියාකාර පරීක්‍ෂණයක්‌ පැවැත්වීම පවා ප්‍රතික්‌ෂේප කිරීමෙන් රජය පෙන්නුම් කරන්නේ මෙම සාහසික අපරාධ සියල්ල සිදුවූයේ රජයේ අනුදැනුම ඇතිව බවයි.

රජය විසින් මානව හිමිකම් ආරක්‍ෂා කළහොත් එය මෙරට ජනතාවගේ සුබ සිද්ධිය සඳහා හේතු වන අන්දම පිළිබඳ අපි ජනතාව දැනුවත් කර ඇත්තෙමු. රජය අද ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කුමන සටන් පාඨ පැවසුවත් 2009 වසරේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන්කී මූන් මහතා සමග ඒකාබද්ධ ප්‍රකාශනයක්‌ නිකුත් කරමින් යුද්ධයෙන් හානියට පත් සියලුම පාර්ශවලට සහන සැලසීමට සහ ස්‌ථිරසාර දේශපාලන විසඳුමක්‌ ලබා දීමට ප්‍රතිඥ දුන්නේ වෙන කිසිවෙකු නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. ඒ යටතේ ඔහු දෙමළ පක්‍ෂද ඇතුළුව සියලුම දේශපාලන පක්‍ෂ සමග පුළුල් සංවාදයක්‌ ගොඩනැඟීමටත්, 13 වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමටත් ඔහු පොරොන්දු වූයේය. එම පොරොන්දු සියල්ල කඩ කොට ජාත්‍යන්තරයේ විශ්වාසය කඩ කිරීමෙන් පසු දැන් අන්තර් ජාතික ප්‍රජාව තමන් ලුහුබඳින බව කියමින් අනුකම්පාව දිනා ගැනීමට රජය ප්‍රයත්න දරයි.

කවර ගැටලු මධ්‍යයේ වූවත් මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය රජයට සහය ලබාදී ඇත. නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙසත් යහපාලනය රට තුළ ස්‌ථාපිත කරන ලෙසත් අපි රජයෙන් ඉල්ලා ඇත්තෙමු. එහෙත් දිගින් දිගටම රජය එම ඉල්ලීම් ප්‍රතික්‌ෂේප කොට ඇත. ජිනීවා අර්බුදය පමණක්‌ නොව දේශීයව පවතින අර්බුද විසยน ගැනීමටත් මෙම රජයට කිසිදු වැඩපිළිවෙළක්‌ නැත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.