කරාපිටිය රෝහලේ කාලයක්‌ තිස්‌සේ සිදුවූ
ගෑස්‌ විකිණීමේ ජාවාරමක්‌ හෙළිවේ


ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය දාහක ඒකකය තුළ කාලයක්‌ තිස්‌සේ කරගෙන ගිය ගෑස්‌ විකිණීමේ ජාවාරමක්‌ අනාවරණය කර ගැනීමට හැකිවූ බැව් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

රෝහලේ සායනික අපද්‍රව්‍ය දහනය කරනු ලබන්නේ මෙම ඒකකය මගිනි. ඒ සඳහා ගෑස්‌ යොදාගනු ලැබේ. පසුගිය කාලයේ මෙහි සායනික අපද්‍රව්‍ය දහනය කිරීමේදී කළු දුමාරයක්‌ පිටවූ අතර මෙම තත්ත්වය නිසා රෝහල් කාර්ය මණ්‌ඩලය මෙන්ම අවට පදිංචිකරුවෝ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ.

ගෑස්‌ මගින් මෙම සායනික අපද්‍රව්‍ය දහනය කිරීමේදී කළු දුමාරයක්‌ පිට වීමට හේතුවක්‌ නොමැති අතර මේ පිළිබඳ රෝහල් අධ්‍යක්‍ෂවරයා දැඩි විමසිල්ලෙන් පසුවිය. පසුව රෝහල් අධ්‍යක්‍ෂවරයා උපක්‍රමශීලීව මෙම ඒකකයේ තිබූ ගෑස්‌ සිලින්ඩර දෙක සඳහා විශේෂ සලකුණක්‌ යෙදීමට කටයුතු කර තිබේ.

පසුව මේ ගැන පරීක්‍ෂා කිරීමේදී සායනික අපද්‍රව්‍ය දාහක ඒකකයක තුළ ඇති ගෑස්‌ සිලින්ඩර දෙක රෝහලේ ආපන ශාලාවේදී තිබී සොයාගෙන ඇති අතර දාහක ඒකකයට හිස්‌ ගෑස්‌ සිලින්ඩර දෙකක්‌ තබා ඇත.

මේ ගැන අදහස්‌ දක්‌වමින් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා මෙසේ කීවේය.

මේ ගෑස්‌ ජාවාරම කලක සිට කරගෙන ගොස්‌ ඇතැයි විශ්වාස කරනවා. මෙම ඒකකයේ සිටි පුද්ගලයා ගෑස්‌වලින් සායනික අපද්‍රව්‍ය දහනය කරලා නැහැ. ලබාගත් ගෑස්‌ රෝහලේ ආපන ශාලාවට අලෙවි කර තිබෙනවා.

මේ පිළිබඳ මා ගාල්ල පොලිසියට පැමිණිලි කළා. අදාළ සේවකයාගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.