බිග් මැච් එකෙන් ජනතාවට ගැසීම

බිග් මැච් එකක්‌ දෙ ආකාරයකට ගැසිය හැකි ය. පළමුව එය පිට්‌ටනියකදී ගැසිය හැකි ය. දෙවනුව එයින් ජනතාවට ගැසිය හැකි ය. දැනගන්නට ඇති පරිදි 1879 සිටම මේ රටේ බිග් මැච් ගසනු ලැබේ. ඒ අතර ප්‍රධාන බිග් මැච් 29 ක්‌ තිබේ. අප මෙහිදී 'ප්‍රධාන' යන්න යොදන්නේ එකී බිග් මැච් ලංකාවේ හොඳම බිග් මැච් බව කීමට නොවේ. එම තරගවලට පැහැදිලි ඉතිහාසයක්‌ තිබෙන නිසා ය. මේවාට අමතරව ගසන බිග් මැච් කිසිවක්‌ අඩු ලන්සුවෙන් මැනිය යුතු නැත. මන්ද, පාසල් දෙකක්‌ අතර ගසක හැම බිග් මැච් එකක්‌ම ඒ පාසල් දෙකට 'ප්‍රධාන' නිසා ය. කෙසේ වුවද බිග් මැච් එකක්‌ යනු සුවිශාල ශක්‌තීන් සමුදායයකි. ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නෝ ද එම ශක්‌තිය මුදා හරිති. ක්‍රීඩකයන් මේ ශක්‌තිය මුදා හල විට මැච් එක උණුසුම් ය. නරඹන්නන් මේ ශක්‌තිය ඕනෑවට වඩා මුදාහල විට ක්‍රීඩා පිට්‌ටනිය වාතයක්‌ වෙයි. ඔවුන් එය මුදාහරින්නේ මහ පාර මැද නම් ප්‍රසිද්ධියේ ගුටි කෑමට උවමනා සියලු සාධක ඒ මගින් නිර්මාණය වෙයි.

බිග් මැච් රස විඳීම සඳහා පාරට බැස විවිධ විකාර කරමින් ජනතාවගෙන් සල්ලි ඉල්ලන ශිෂ්‍යයන් කලහකාරී ලෙස පැමිණ කාන්තා විද්‍යාලවලට රිංගීමට ගොස්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වී මුදාහරින ලද බව ඊයේ (11 දා) "දිවයිනේ" සඳහන් ය. මෙසේ ටිකකට හිරේ ගොස්‌ නැවත ගෙදර ගිය පිරිස 100 ඉක්‌මවති. සිසු කැළ පාර දිගේ නට නටා යැම ඒ තරම් අභව්‍ය නොවුවත් ඔවුන් කාන්තා විදුහල්වලට රිංගන්නට යැම එතරම් හොඳ වැඩක්‌ නොවේ. මෙය නොදරුවන්ගේ චූටි අහිංසක වැඩක්‌ හෝ නව යෞවනයන්ගේ Fමබ ගැනිල්ලක්‌ ලෙස අර්ථ දැක්‌වීමට ඔවුන්ගේ දෙමාපියන් උත්සාහ කළ යුතු නැත. තරුණ පිරිමි ළමයින් කාන්තා විදුහල්වලට රිංගන්නේ හදිසි 'කක්‌කා බරකින්' නිදහස්‌ වීමට නොවෙන බව අප දන්නා නිසා ය. ඒ ගැන විමසුවොත් ඒ ලෙවල් විභාගයේ තර්ක ශාස්‌ත්‍ර ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්නාක්‌ මෙන් ඉතාම තර්කානුකූලව කතා කරන්නට ඒ ළමයින්ට පුළුවන.

කොළඹ ජනප්‍රිය පාසල්වල බිග් මැච් සිද්ධිවලට අත දැමීමට මෙයට අවුරුද්දකට පෙර සිටි පොලිසිය දක්‌වා ඉතිහාසයේ සිටි සියලු පොලිසි බිය වූහ. එයට හේතුව ඒ පාසල්වල දරුවන්ගේ දෙමාපියන් ඇමැතිතුමාගේ, බ්‍රිගේඩියර්ගේ, මැණික්‌ මුදලාලිගේ, කම්පනි ඩිරෙක්‌ටර්ගේ, රටේ ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන අහවල් ක්‍රිකටර්ගේ හෝ අහවල් බයිපාස්‌ දොස්‌තරගේ දරුවන් වීම ය. එවැනි දරුවකු අත්අඩංගුවට ගත්විට හිරේ යන්නට සිදුවන්නේ රාළහාමිට ය. මෙය නූතන ධනවාදයේ සහ බලවාදයේ අවස්‌ථාවකි. මැණික්‌ මුදලාලිලාටත් ඇමැතිතුමාටත් එක්‌වී ධනය සහ බලය යන සාධක දෙක ඒකරාශි කර එක්‌ බල ඒකකයක්‌ සෑදිය හැකිය. ඇමැතිතුමාට සල්ලි නැත. (සිනා නොවන්න· අද සිටින ඇමැතිවරුන් වැඩි දෙනාට අතේ සතේ නැත.) මුදලාලිට බලය නැත. එකට එක්‌වී පොලිසියෙන් පළි ගැනීමට මේ දෙදෙනාට පුළුවන. ඇතැම් බිග් මැච් අවසානයේ හටගන්නා කලහයන් ඉතාම ප්‍රචණ්‌ඩ ය. ත්‍රාසජනක ය. මැච් එක බැලීමට එන සමහර සුජාත පුත්‍රයෝ තාත්තාගේ පිස්‌තෝලයත් ක්‍රීඩාංගණයට

රැගෙන එති. මෙය පත්තු වූ විට පුත්‍රයාගේ සුජාතකමෙන් තවදුරටත් වැඩක්‌ නැතිවන අතර පුත්‍රයා පොලිස්‌ කූඩුවට ද තාත්තාගේ රෙද්ද ද යන්ටම යයි. මේ නිසා මේ බිග් මැච් කාලයේදී තම පිරිමි දරුවන්ට ප්‍රචණ්‌ඩත්වයේ වෛරය ශරීර ගතවන්නේ ද යන්න ගැන අම්මලා මෙන්ම තාත්තලා ද උනන්දු විය යුතු ය. මන්ද, ඔවුන් වෙනත් ප්‍රචණ්‌ඩකාරීන්ගෙන් ගුටි කා අත් පා කඩා ගතහොත් එහි දුක එම දෙමාපියන්ටම ය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.