කුණු ගොඩේ ගින්නෙන් අනුරපුර ගිලන් රථවලට හානි

අනුරාධපුර - පර්සි කුරුනේරු



අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාල භූමියේ ගාල් කර තිබූ භාවිතයෙන් ඉවත් කළ ගිලන් රථ 4 කට ඊයේ (11 දා) ගිනි ඇවිලීමෙන් පිළිස්‌සී ඇත.

ඉන් 3 ක්‌ මුළුමනින් ම දැවී ගොස්‌ ඇති අතර, එක්‌ ගිලන් රථයක ඉදිරිපස කොටස සුළු වශයෙන් දැවී ගොස්‌ තිබේ.

ඊයේ සවස 1.45 ට පමණ ඒවා මෙසේ ගිනිගෙන ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

සෞඛ්‍ය සතිය නිමිත්තෙන් ඩෙංගු මර්දන කටයුතු සඳහා එම භූමිය වල්බිහි වී තිබීම නිසා එහි කාර්ය මණ්‌ඩලය විසින් ඊයේ පෙරවරුවේ වල් ගස්‌ කපා ගොඩ ගසා ඒවාට ගිනි තබා ඇත.

එසේ ගිනි තැබීමෙන් පසුව ඔවුන් නැවත ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයට ගොස්‌ සිටි අවස්‌ථාවේ මෙසේ ගිලන් රථවලට ගිනි ඇවිලී ඇතැයි පැවසේ.

සිද්ධිය වූ අවස්‌ථාවේම අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ භට කණ්‌ඩායම් පැමිණ ගින්න නිවා දමා ඇති නමුත් ඒ වන විටත් ගිලන් රථ තුනක්‌ මුළුමනින් ම දැවී ගොස්‌ ඇත.

මේ පිළිබඳව අනුරාධපුර පොලිසිය, අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය වෙන වෙනම වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.