අති නවීන පහසුකම් සහිත ගිලන් රථ 86 ක්‌ රෝහල්වලට



ජාතික සෞඛ්‍ය සතියට සමගාමීව සෞඛ්‍ය පහසුකම් නැංවීම සහ රෝහල් සංවර්ධනය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජපාන අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙරටට ලබාදුන් ගිලන් රථ 86 ක්‌ පසුගියදා (11 දා) පළාත් 7 කට බෙදාහරිනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ගිලන් රථ ප්‍රදානය කළ අතර එම අවස්‌ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබෝහිතෝ හොබෝ, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරු ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

ජපාන අන්තර්ජාතික සබඳතා ඒජන්සිය මගින් රුපියල් කෝටි 886 ක වියදමින් මෙම ගිලන් රථ ලබාදී ඇත. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශවල රෝහල්වල රෝගීන් ප්‍රවාහනය කිරීමේ ක්‍රියා පිළිවෙත වඩා ක්‍රමවත්ව පවත්වාගෙන යැම සඳහා පළාත් 7 කට මෙම ගිලන් රථ බෙදා දෙනු ලැබීය. ජපාන අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සිය විසින් ශ්‍රී ලංකාවේ දියුණු වෙමින් පවතින ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් නැංවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 6000 ක වියදමින් ගල්ගමුව, වරකාපොල, කලවංචිකුඩි සහ තෙල්දෙණිය යන රෝහල් මේ වන විටත් වැඩිදියුණු කිරීම ආරම්භ කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.