සෞඛ්‍ය ඇමැතිගේ විද්වත් කමිටු වාර්තාව තවමත් නෑ
- රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

සූතිකා පුහුණුව සමස්‌ත හෙද කාර්ය මණ්‌ඩලයට ලබාදීම පිළිබඳව තීරණයක්‌ ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුව සිය වාර්තාව මෙතෙක්‌ භාරදී නැතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය කියයි.

හෙද කාර්ය මණ්‌ඩලයට සූතිකා පුහුණුව ලබාදීමට විරෝධය පළ කරමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ගෙන ගිය විරෝධතාව කෙරෙහි සැලකිලිමත් වෙමින් අදාළ කමිටුව ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

කමිටුවේ වාර්තාව සති දෙකකින් ලබාදෙන ලෙසට උපදෙස්‌ දී ඇතිමුත් ඉන් සති හයක්‌ ගෙවී ඇතත් තවමත් එය නැතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය පවසන්නීය.

පත් කළ විද්වත් කමිටුව සිය වාර්තාව සඳහා ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේද නීති ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ ද අදහස්‌ ලබාගෙන ඇති බවත් ඉදිරි සතියේ නීති ක්‍ෂේත්‍රයේ තවත් විද්වතුන් පිරිසක්‌ හමුවීමට තීරණයක්‌ ගෙන තිබෙන බවට තොරතුරු ඇති බවත් සභාපතිනිය පැවසුවාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.