බුද්ධිමතුන්ගේ අගනගරයට අධිවේගයේ සම්ප්‍රාප්තිය

'කාලයත් මුදලත් ඉතිරි කර, ගමත් නගරයත් සම්බන්ධ කිරීමෙන් රටේ ශීඝ්‍ර දියුණුවක්‌ ඇති කිරීම මාර්ග සංවර්ධනයේ අවසාන අරමුණ වෙනු ඇත.' - මහින්ද චින්තනය - 2005

එදා වචනයෙන් දුන් පොරොන්දු අද ක්‍රියාවෙන් සනාථ කර අවසන්ය. ගාල්ල සිට ගොඩගම දක්‌වා වූ දක්‌ෂිණ අධිවේගයේ මෙම කොටසේ සම්පූර්ණ දිග කිලෝමීටර් 30 කි. මහා පරිමාණ පාලම් 08 ක්‌ සහ සාමාන්‍ය පාලම් 06 ක්‌ ඔස්‌සේ දිගට ඇදෙන මෙම කොටස්‌ හි අධිවේගයට ඇතුළු වීමටත්, පිටවීමටත් අන්තර් හුවමාරු මධ්‍යස්‌ථාන 03 ක්‌ ඇති අතර ඒ ඔස්‌සේ සිදුවන්නේ ගමත්, නගරයත් අතර වේගවත් අන්තර් සම්බන්ධතාවයක්‌ ගොඩනැඟීමය. රටට අවැසි දක්‌ෂිණ අධිවේගය වෙනුවෙන් වියදම් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 87.7 කි. එයින් බිලියන 18 ක්‌ පමණ වියදම් වී ඇත්තේ පින්නදූවේ සිට ගොඩගම දක්‌වා කොටස ගොඩනැගීම වෙනුවෙනි. මෙපමණ විශාල මුදලක්‌ වියදම් කර ආණ්‌ඩුවක්‌ විදියට මෙම පාරවල් ජනතාගත කරන්නේ එය අනාගත ආයෝජනයක්‌ නිසාවෙනි.

දක්‌ෂිණ අධිවේගයේ මාතර - ගාල්ල කොටස විවෘත වූයේ මෙම 15 වැනි සෙනසුරාදාය. සතියක්‌ ආපස්‌සට ගත් කල ගිය සෙනසුරාදා විවෘත වූයේ කොළඹ පිටත වටරවුමේ කොට්‌ටාවේ සිට කඩුවෙල දක්‌වා වූ කොටසය. රුපියල් බිලියන විස්‌සකට ආසන්න මුදලක්‌ වියදම් කර ගොඩනැගූ කොළඹ පිටත වටරවුමේ මාර්ගය නිසා අධිවේගයේ ප්‍රයෝජන කඩුවෙල, කැලණිය, බියගම ප්‍රදේශවල ජනතාවට ඉදිරියේදී ලැබෙනු ඇත. විශේෂයෙන්ම සඳහන් කළ යුතු තවත් කාරණාවක්‌ ඇත. එනම් මහරගම සිට මෙන්ම කඩුවෙල සිට ද මාතර දක්‌වා පොදු ප්‍රවාහන සේවයක්‌ ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා අවසන්ය.

දකුණත් බස්‌නාහිරත් යා කරමින් ඉදිවුණු දක්‌ෂිණ අධිවේගයේ පළමු කොටස විවෘත කළේ 2011 නොවැම්බර් මස 27 වැනිදාය. ඒ ඔස්‌සේ ප්‍රතිලාභීන් වුණු ජනතාව තවදුරටත් එම ප්‍රතිලාභවල කොටස්‌කරුවන් බවට මාතර සම්බන්ධ කරමින් ඉදිවන මෙම අධිවේගය නිසා පත් වනු ඇත. මෙය සැබැවින්ම විප්ලවයකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් සිදුවන ජනතා හිතකාමී මාර්ග විප්ලවයකි. අධිවේගයේ ගමන් මඟේ අවසානය මාතරින් නොවනු ඇත. මෙය ඉදිරියේදී මත්තල දක්‌වා විහිදී යනු ඇත. ඒ රටට අවශ්‍ය සංවර්ධනයේ සැබෑ මානයන් මොනවාද කියා දන්නා ආණ්‌ඩුවක්‌ විදියටය.

ඉස්‌සර මිනිස්‌සු කිව්වේ කොළඹට කිරි ගමට කැකිරි කියාය. එම න්‍යාය ගමෙන් බිහිවූ නායකයෙක්‌ නායකත්වය දෙන මේ ආණ්‌ඩුව වෙනස්‌ කර ඇත. අද කොළඹට මෙන්ම ගමට ද කිරිය. 1996 පැමිණි සුද්දන් මේ රට දමා ගියේ 1948 දීය. එදා පටන් අප තැනූ කිසිදු දුම්රිය මාර්ගයක්‌ නැත. ඒ හැමදේම වෙනස්‌ කළේ මේ ආණ්‌ඩුවය. අද ක්‍රම ක්‍රමයෙන් ගොඩනගන්නේ මාතර - කතරගම දුම්රිය මාර්ගයය. එහි පළමු අදියර මාතර - බෙලිඅත්ත (කිලෝමීටර් 35) සීමාවේ වැඩකටයුතු මේ වන විට ක්‍රියාත්මකය.

හෙට බිහිවන දරුවන්ගේ අවශ්‍යතා මොනවාද කියා හඳුනාගත් සංවර්ධනයක්‌ මේ මොහොතේ ලංකාවට ආදේශ වී ඇත. දකුණෙන් බිහිවූ සොඳුරු නායකත්වය රට සංවර්ධනයේ දිශානතියට යොමු කර අවසන්ය. මේ බිහිවන්නේ ඒ අලුත් ශ්‍රී ලංකාවයි.

නිර්මල කොතලාවල.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.